8. කුක්කුට ජාතකය (383)
‘සුචිත්ත පත්තච්ඡදන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු සිත් ඇති එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණු බව සැබෑවක් දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, අබරණින් සැරසුණු එක් ස්ත්‍රියක දැක, ඈ කෙරෙහි ලොල් සිතක් ඇති වීමෙනි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් රැවටීමෙන්, නැලවීමෙන්, චාටුවෙන් පුරුෂයන් වසඟයට ගෙන, පසු කලෙක ‘ලෝබ බැළලිය මෙන්, ‘ඔවුන් විනාශයට පමුණුවන සත්ත්ව විශේෂයකි’යි, වදාළ බුදුරජාණන් වහන්සේ එතැනින් නිශ්ශබ්ද වූ නමුත්, ඒ භික්‍ෂුවගේම ඇරයුමෙන්, මේ අතීත කථා පුවත ද මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කැලයෙහි කුකුළු ජාතියෙහි ඉපිද, නොයෙක් සිය ගණන් කුකුළන්ට නායකව ඔවුන් පිරිවරාගෙන වාසය කරයි. බෝසත් කුකුළාගේ නවාතැනට නුදුරෙන් එක් බැළලියක් ද, වාසය කරයි. ඇය ඉතා කපටිය. බෝසතුන් හැර, සෙසු කුකුළන් හා කිකිළියන් උපායෙන් රවටාගත් ඈ, උන් සියලු දෙනාම මරා කෑවාය. බෝසත් කුකුළා ඇයගේ වසඟයට හසු නොවීය. එක්තරා දිනෙක ඒ කපටි බැළලිය, ‘මේ කුකුළා මහ කපටියෙකි. මගේ කපටි වැඩත්, උපායශීලී භාවයත්, ඔහු දැනගෙන ඇති බව පෙනේ. එබැවින් ‘කුකුළාණෙනි, මම ඔබට බිරිඳ වන්නෙමි’යි කියා, ඔහු නළවා මාගේ වසඟයට ගෙන, ඌ ද කා දමන්නෙමි’යි සිතා කුකුළා වසන ගසමුලට ගියාය. ගස මුල වාඩි වී කුකුළා දෙස බැලූ බැළලිය, වර්ණනා මුඛයෙන් කුකුළාට යදිමින් මෙසේ කීවාය.
සුචිත්ත පත්තච්ඡදන - තම්බචූළ විභංගම,
ඔරොහ දුම සාඛාය - මුධා සරියා භවාමි තෙ
විසිතුරු පියාපත්වලින් වැසුණු, රතු කරමලක් ඇති, අහසෙහි පියාසර කරන කුකුළාණෙනි, ගසේ අත්තෙන් බසිනු මැනවි. කිසිදු අපේක්‍ෂාවකින් තොරවම, මම ඔබට බිරිඳ වෙමි.
මෙහි ‘සුචිත්තපත්තච්ඡදන’ යනු ‘විසිතුරු පියාපත්වලින් වැසුණු’ යන අර්ථයි. ‘මුධා’ යනු මුදලකින් තොරව, කිසිවක් නොගෙන, මම ඔබට බිරිඳ වෙමි යන අර්ථයි.
ඇයගේ මේ කථාව ඇසූ කුකුළා, ‘මෑ විසින් මගේ සියලු නෑයෝ කන ලදහ. දැන් ඇය මා ද කනු කැමැත්තීය. එබැවින් ඇය මෙතැනින් පලවා හරින්නෙමි’යි සිතා, මෙසේ කීවේය.
2. සිත්කලු කල්‍යාණිය, තී සිව්පා ඇත්තියකි. මම දෙපාවෙක්මි. මෘගපක්‍ෂි දෙවගය නොගැලපේ. එබැවින් අන් සැමියකු සොයාගන්න.
මෙහි ‘මිගී’ යනු බැළලිය සඳහා කියන ලද්දකි. ‘අසංයුත්තා’ යනු ‘අඹු-සැමියන් වන්නට නුසුදුසුය. නොගැලපේ. ඔවුන්ගේ එබඳු සම්බන්ධයක් නැතැයි දක්වයි’ යන අර්ථයි.
ඉක්බිති බැළලිය ‘මූ මහා කපටියෙකි. ඒ නිසා කුමන හෝ උපායකින් රවටා, මූ ද කෑ යුතු යැ’යි, සිතා මෙසේ කීවාය.
3. මම ඔබට පිවිතුරු බිරිඳක් වන්නෙමි. මිහිරි වචන, ප්‍රිය වචන කියන්නක් වන්නෙමි. මගෙන් උසස් ආශ්වාදයක් ලබනු මැනවි. ඉදින් ඔබ කැමති නම්, සොයා බලා මා ගැන දැනගන්න.
මෙහි ‘කොමාරිකා’ යනු ‘මෙතුවක් කලකට මම අන් පුරුෂයකු ගැන නො දනිමි. එබැවින් ඔබට මම පිවිතුරු බිරිඳක් වන්නෙමියි කියයි’ යන අර්ථයි. ‘මඤ්ජුකා පියභාණිනී’ යනු ‘ඔබට මිහිරි කතා කියන්නියක්, ප්‍රිය වචන කියන්නියක්ම වන්නෙමි’ යන අර්ථයි. ‘වින්‍ද මං’ යනු ‘මා ලබාගන්න’ යන අර්ථයි. ‘අරියෙන වෙදෙන’ යනු ‘සුන්දර වූ ප්‍රතිලාභයකින් යන අර්ථයි. එනම් මම ද මීට පෙර පුරුෂයකුගේ පහසක් ගැන නො දනිමි. ඔබ ස්ත්‍රී පහසක් ගැන නො දනිහි, මෙසේ ස්වභාවයෙන් ම බ්‍රහ්මචාරී වූ ඔබ, නිකැලැල් බ්‍රහ්මචාරිණියක වන මා, ප්‍රතිලාභයක් ලෙසින් ලබාගන්න, යන අර්ථයි. ‘යදි මං ඉච්ඡසි’ යනු ‘තවද ඔබ මගේ වචන විශ්වාස නොකෙරේ නම්, බරණැස් නුවර දොළොස් යොදුනක් තැන් බෙර හසුරුවා ‘මැය මාගේ දාසිය යැ’යි ප්‍රසිද්ධ කොට, මා ඔබේ දාසිය ලෙස, බාර ගන්නැ’යි කියයි’ යන අර්ථයි.
ඉක්බිති බෝසත් කුකුළා ‘මැයට දැන් තර්ජනය කොට මෙතැනින් පලවා හරින්නට සුදුසු යැ’යි, සිතා මෙසේ පැවසීය.
4. මළකුණු කන, ලේ බොන, කුකුළන් මරන හෙර, තී උසස් ආශ්වාදය හේතු කොටගෙන, මා සැමියා ලෙස ගන්නට නො සිතව.
මෙහි ‘න ත්‍වං අරියෙන’ යනු ‘තී උතුම් වූ බඹසර විසීම නිසා, මා සැමියා කොට ගන්නට නොසිතව’ යන අර්ථයි.
මෙසේ පැවසූ බෝසත් කුකුළා ‘කිමෙක් ද? තී මා රවටා කන්නට කැමැත්තෙහිද? පව්කාරිය, තී භංග වේවා’යි කියා, බැළලිය එතැනින් පලවා හැරියේය. ඇය ද එතැනින් පලා ගියා, ගියා ම ය. නැවත කිසිදිනෙක ඇය කුකුළා සිටි දෙස බලන්නටවත් උත්සාහ නොකළාය. මෙහි පහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ඒවාය.
5. මෙසේ චතුර වූ ස්ත්‍රීහු උතුම් මිනිසකු දැක, කුකුළකු වසඟ කර ගන්නට උත්සාහ ගත් බැළලිය මෙන්, සිලිටි වචනවලින් වසඟයට පමුණුවති.
6. යමෙක් එළඹි කාරණය වහා අවබෝධ කොට නො ගනී ද? ඔහු සතුරන්ගේ වසඟයට පත් වේ. වූ දේ ගැන පසුව තැවේ.
7. යමෙක් එළඹි කාරණය වහා අවබෝධ කොට ගනීද? කුකුළා බැළලියගෙන් මිදුනාක් මෙන්, ඔහු සතුරු කරදරයෙන් මිදේ.
මෙහි ‘චතුරා’ යනු ‘දක්‍ෂබවින් යුතු’, යන අර්ථයි. ‘නාරී’ යනු ‘ස්ත්‍රීහු’ය. ‘නෙන්ති’ යනු තමාගේ වසඟයට පමුණුවති යන අර්ථයි. ‘බිළාරි විය’ යනු යම්සේ ඒ බැළලිය, ඒ කුකුළා ගෙන යන්නට වෑයම් කළාද? අන් ස්ත්‍රීහු ද, එපරිද්දෙන්ම කරති, යන අර්ථයි. ‘උප්පතිතං අත්‍ථං’ යනු එළඹි කිසියම් කාරණයක් යන අර්ථයි. ‘න අනුබුජ්ඣති’ යනු ඇති සැටියෙන් තේරුම් නොගනීද?’ යන අර්ථයි. ‘පච්ඡා ච මනුතප්පති’ යනු ‘පසුවද, ඒ ගැන තැවේ’ යන අර්ථයි. ‘කුක්කුටොව’ යනු ‘ඒ නුවණැති කුකුළා යනු ‘පසුවද, ඒ ගැන තැවේ’ යන අර්ථයි. ‘කුක්කුටොව’ යනු ඒ නුවණැති කුකුළා බැළලියගෙන්, යම් සේ මිදුනේද? එසේ සතුරු කරදරයෙන් මිදේ’ය, යන අර්ථයි.