7. සිරිකාලකණ්ණි ජාතකය (382)
‘කානු කාළෙන වණ්ණෙන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළ සේක. මේ සිටුතුමා සෝවාන් ඵලයෙහි පිහිටි තැන් පටන්, නොකඩවා පන්සිල් රකියි. එතුමාගේ බිරිය ද, දූ දරුවෝ ද, දාසයෝ ද, වැටුපට වැඩ කරන කම්කරුවෝ ද යන මේ සියලුදෙනා, අඛණ්ඩව පන්සිල් රැක්කෝය. එක් දවසක දම්සභාවට රැස්වූ, භික්ෂූහු ‘ඇවැත්නි, අනාථ පිණ්ඩික සිටුතුමා තමා පිරිසිදු චරිත ඇත්තෙක්ව, එබඳුම පිරිසක් පිරිවරාගෙන වෙසේ යැ’යි, ඒ ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කථා කරමින් හුන් කරුණු ගැන ඔවුගෙන්ම අසා දැන, ‘මහණෙනි, දැන් මෙකල පමණක් නොව, පෙර විසූ පඬිවරු පවා, තමනුත් පිරිසිදු චරිත ඇතිව, එවැනිම අය පිරිවර කොටගෙන විසූහ’යි වදාරා, ඒ භික්ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාපුවත ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සිටුවරයෙක්ව ඉපිද නිරතුරු දන් දෙයි. සිල් රකියි. පොහෝ කටයුතු කරයි. එතුමාගේ බිරිඳ ද, දූ දරුවෝ ද, දාස-කම්කරු පිරිස ද, පන්සිල් රකිති. පිරිසිදු ජීවිත ගත කරති. එබැවින් මේ සිටුවරයා ‘සුචි පරිවාර’ සිටුතුමා යැයි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක් ඒ සිටුතුමා ‘ඉදින් යම්කිසි පිරිසිදු චරිත ඇති, එවැනි අයම පිරිවර කොටගත් යම් කිසිවෙක් මා වෙතට පැමිණෙත් ද, කවරකු පැමිණියත් ඔහුට මම, මා හිඳින ආසනය හෝ නිදන ඇඳ හෝ, පරිත්‍යාග කිරීමට නුසුදුසුය. මක්නිසාද යත්, ඒවා මා පරිභෝග කළ භාණ්ඩ නිසාය. යමක් දිය යුතු නම්, නොඉඳුල් දෙයක් ම දීමට සුදුසුය. මෙසේ සිතූ එතුමා තමාගේ සමීපයෙහි එක් පැත්තකින්, පරිභෝග නොකරන ලද ආසනයක් ද, යහනාවක් ද, පනවන්නට සැලැස්වීය. මේ කාලයේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයෙහි ‘විරූපාක්ෂ’ මහරජතුමාට ‘කාලකණ්ණි’ නම් දියණියක් වූවාය. එම දෙව්ලොවම ධෘතරාෂ්ට්‍ර මහරජුට ‘සිරි’ නම් දියණියක් වූවාය. මේ දූ කුමාරිකාවෝ දෙදෙනා, බොහෝ සුවඳ වර්ග, මල්මාලා ගෙන ‘අනෝතත්ත විලෙහි දිය කෙළින්නෙමු’යි කියා, විලෙහි ඉවුරට පැමිණියහ. මේ අනෝතත්ත විලට තොටපළවල් කිහිපයක් විය. ඒවා අතුරෙන් බුදුවරුන්ගේ තොටුපළෙහි බුදුවරු පමණක්ම ස්නානය කරති. පසේ බුදුවරුන්ගේ තොටුපළෙහි පසේ බුදුවරු පමණක්ම නාති. භික්ෂූන්ගේ තොටුපළවල භික්ෂූන් පමණක් නාති. එහි තවුස් කොටසෙහි තවුසෝ පමණක් නාති. චාතුර්මහා රාජිකය මුල්කොට ඇති, දිව්‍ය ලෝක හයේම දිව්‍ය පුත්‍රයෝ ඔවුන්ට අයත් තොටෙහි ජල ස්නානය කෙරෙති. එකී දෙව්ලෝවල දෙව්දූවරු, ඒ අයටම වෙන්වුණු තොටුපළෙහි දිය නාති.
තම නාන තොටුපළට පැමිණි එකී දෙව් දූවරු දෙදෙනා, ‘මුලින් නාන්නේ මම යැ’යි කියමින් තොටුපළ වෙනුවෙන් කලහ කරන්නට පටන් ගත්හ. මෙහිදී කාලකණ්ණි කථා කරමින් ‘මම ලෝකය පාලනය කරමි. විචාරමි. එබැවින් මුලින් නාන්නට සුදුසුකම් ඇත්තේ මට යැ’යි කීවාය. සිරි දෙව්දුව ඊට පිළිතුරු දෙමින් ‘මම මහජනයාට ඉසුරු ලබා දෙන්නෙමි. යහපත් ප්රතිපදාවක පිහිටා කවදත් කටයුතු කරමි. එබැවින් මුලින් නෑමට සුදුසුකම් ඇත්තේ මට යැ’යි, කීවාය. මොවුන්ගේ මේ කෝලාහලය නිමාවට පත්කර ගැනීමට නොහුණු තැන’ අප දෙදෙනා අතුරෙන් මුලින් නෑමට සුදුසු තැනැත්තිය හෝ, නුසුදුසු තැනැත්තිය සතරවරම් රජවරු දනිති. එබැවින් ඔවුන් ළඟට ගොස් ‘අප දෙදෙනා අතුරෙන් පළමුව අනෝතත්ත විලට බැස දියනෑමට කවරියක් සුදුසුදැ’යි ඔවුන්ගෙන් විචාරා දැනගන්නෙමු’යි තීරණය කළ දෙව් දූවරු දෙදෙනා, පළමුකොට ධෘතරාෂ්ට්‍ර හා විරූපාක්ෂ යන සිය පිය රජවරුන් දෙදෙනාගෙන් ඉහත කී ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තු වූහ. ඒ රජවරු දෙදෙනාම ‘මෙය අප විසින් විනිශ්චය නොකළ යුතුයැ’යි තීරණය කොට, එය විසඳීම සඳහා වෛශ්‍රවණ-විරූඪ යන රජවරු දෙදෙනාට භාර කළහ. ඔවුහු දෙදෙනාද එය නො විසඳාම සක්රජුට භාර දුන්හ. සක්දෙව් රජු වෙත එළඹුණු දෙව් දූවරු දෙදෙනා, එතුමාට සිය නඩුව ඉදිරිපත් කළහ. ශක්‍රයා ඈලාගේ වචන අසා ‘මේ දෙදෙනා ම මා යටතේ කටයුතු කරන ප්‍රධානීන් දෙපලකගේ දියනිවරු වෙති. එබැවින් මෙය මා විසින් විසඳීමට නුසුදුසු නඩුවකි’යි, තීරණය කොට ‘දියණිවරුනි, බරණැස් නුවර ‘සුචිපරිවාර’ නම් සිටුවරයෙක් ඇත. ඔහුගේ ගෙදර පරිභෝග නොකළ ආසනයක් ද, යහනාවක් ද, පනවා ඇත. ඔබ දෙදෙනාගෙන් කවරියක් හෝ ඒ අසුනේ හිඳ ගැනීමටත්, යහනෙහි සැතපීමටත් අවස්ථාව ලබාද? ඇය අනෝතත්ත විලෙහි පළමුව දිය නෑමට අවසර ලබනු ඇතැ’යි කියා, ඒ දෙදෙනා පිටත්කොට හැරියේය. සක්දෙවිඳුගේ කථාව ඇසූ සැණින්, කාලකණ්ණි නම් දෙව්දුව නිල් වතක් හැඳ, නිල් පැහැති විලවුන් තවරාගෙන, නිල් මැණික් ඔබ්බන ලද පළඳනා පැළඳ, යන්ත්‍ර පාෂාණයක් මෙන්, වහා දෙව්ලොවින් බැස, මධ්‍යම රාත්‍රියට සමාන්තරව සිටුවරයාගේ ප්‍රාසාදයට පැමිණ, එතුමාගේ යහන්ගැබ දොරටුවෙහි, ඔහු නිදා සිටි ඇඳට නුදුරු තැනක සිට, නිල් පැහැති රශ්මිය විහිදුවමින් පොළොවට මඳක් ඉහළින්, අහසෙහි රැඳී සිටියාය. නින්දෙන් ඇහැරුණු සිටුවරයාට ඇය ඇස ගැසිණි. ඇයගේ දර්ශනයෙන්ම, සිටුවරයාට ඇය අප්‍රිය විය. කෙසේ වෙතත් ඇය සමග කථා කරමින්, සිටුවරයා මෙසේ කීය.
කානු කාළෙන වණ්ණෙන - නවාසි පියදස්සනා,
කා වා ත්වං තස්සවාධීතා - කථං ජානෙමු තං මයන්ති
කා වා ත්වං තස්සවාධීතා - කථං ජානෙමු තං මයන්ති
කළු පැහැය නිසා, දැකීම ප්‍රිය උපදවන්නේ නැත. ඔබ කවරියක්ද? කවරකුගේ දියණියක්ද? ඔබ ගැන අපි කෙසේ දනිමුද?
මෙහි ‘කාළෙන’ යු ‘නිල් (කළු) පැහැති යන අර්ථයි. ‘වණ්ණෙන’ යනු ‘සිරුරු පැහැයෙන්ද, ආභරණවල වර්ණයෙන් ද,’ යන අර්ථයි. ‘න චාසි පියදස්සනා’ යනු ‘මහණෙනි, සත්ත්වයෝ ධාතු වශයෙන් සැසඳෙති’යි කියන ලදි. මේ දෙව්දුව ද අනාචාරීය. දුශ්ශීලය. එබැවින් ඇය දර්ශන මාත්‍රයෙන් ම මට අප්‍රිය වූවාය. එනිසා මෙසේ කී ය’ යන අර්ථයි. ‘කාවාත්වං’ යනු ‘ඔබ කවරියක්ද?’ යන අර්ථයි. ‘කා ච ත්වං’ යනු ද පාඨයකි.
කාලකණ්ණියා ඊට පිළිතුරු දෙමින්, මෙසේ පැවසුවාය.
2. මම විරූපාක්ෂ මහරජුගේ දුව වෙමි. මම ‘චණ්ඩී’ නම් ද, ‘කාලී’ නම් ද වෙමි. ‘අලක්ෂමී’ යැ යි ද ‘කාලකණ්ණි’ යැයි ද මට කියති. ඉල්ලන මට අවසර දුන මැනවි. අපි ඔබ සමීපයෙහි වසමු.
මෙහි ‘චණ්ඩියා’ යනු ‘කිපෙනසුලු බැවින් ද, ක්‍රෝධ භාවය නිසාද, මට ‘චණ්ඩී’ යැයි, නම් කළහ’ යන අර්ථයි. ‘අලක්ඛියා’ යනු ‘පින් නැති’ යන අර්ථයි. ‘මං විදූ’ යන මේ අයුරින් මා ගැන චාතුර්මහා රාජික දෙව් ලෝ වැස්සෝ දනිති’ යන අර්ථයි. ‘වසෙමු’ යනු ‘අපි අද එක් රැයක් ඔබ සමීපයෙහි වසන්නෙමු, මට මේ නොඉඳුල් අසුනෙහි හා සයනයෙහි වසන්නට ඉඩදෙනු මැනවි’ යන අර්ථයි.
ඇයගේ කථාවෙන් පසු බෝසත්තුමා, මේ ප්‍රකාශය කෙළේය.
3. කිනම් සිල් ඇති, කිනම් සමාචාර ඇති පුරුෂයකු කෙරෙහි විසීමට ඔබ කැමතිද? කාලිය, විචාරණ ලද මට එය කියව. අපි එය ඒ වූ පරිද්දෙන් දනිමු.
මෙහි ‘නිවිසසෙ’ යනු ‘ඔබේ සිතේ වෙසෙහිද? පිහිටියෙහිද? යන අර්ථයි.
ඉක්බිති ඇය ඇසුරට කැමති අයගේ ලක්ෂණ ඉදිරිපත් කරමින් මෙසේ කීවාය.
4. ගුණමකු වූ, අනුන්ගේ දොස් දකින, එකටෙක කරන, ඊර්ෂ්‍යා ගති ඇති, මසුරු වූ, කපටි ගති ඇති, අනුන්ගේ දේපල විනාශ කරන යම් පුරුෂයෙක් වේ නම්, ඔහු මට ප්‍රිය ය.
යම් පුරුෂයෙක් තමාට කළ උපකාර අමතක කෙරේද? ගුණමකු වේද? තමාට කිසියම් කරුණක් කියූ කල්හි, ‘කිමෙක්ද? මම එය නො දනිමිදැ’යි තරගයට ඉදිරිපත් ව එකටෙක කියයිද? අනුන් විසින් කළ කිසිවක් දැක, ඊට ඉහළින් කරන්නට පෙළඹේද? අනුන්ට ලාභ ලැබෙන කල්හි, තුටු නොවේද? ‘මගේ ඉසුරුමත් බව අනුන්ට නොවේවා! මටම වේවා’යි, සිය සම්පත් සඟවා ගෙන, අනුන්ට තණ අගින් තෙල් බින්දුවක්වත් නොදෙයිද? කපටි ලක්ෂණවලින් යුතුව, තමා සතු දේ අනුන්ට නො දී, යම් යම් උපා යොදමින් අනුන්ගේ දේම, පරිභෝග කරයිද? යමකුගේ උපයාගත් ධන ධාන්‍ය විනාශ කෙරේද? ඒවාට හානි පමුණුවාද? ස්ත්‍රී-සුරා-සූදු යන මේවාට ලොල් වී, ලැබූ ලැබූ දේ විනාශ කෙරේද? ඉහත කී ලක්ෂණවලින් යුතු පුරුෂයා මට ප්‍රියය. මනාපය. ප්‍රීතිය ඇති කෙරේ. එවැනි අයගේ සිත්හි, මෙබඳු වූ මම වසමි යන අර්ථයි.
ඉක්බිති ඇය විසින් ම, මේ ගාථා ද කියන ලදි.
5. කිපෙනසුලු වූ, වෛරී වූ, කේලාම් කියන, අනුන් බිඳවන, සදොස් වචන කියන, පරුෂ වචන කියන එබඳු පුද්ගලයා, ඊටත් වඩා මට අතිශයින් ප්‍රියය.