6. මිගාලෝප ජාතකය (381)
‘න මෙ රුච්චි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අකීකරු වූ එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ අකීකරුය යනු ඇත්තක්දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ මෙසේ අකීකරු වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ අකීකරුකම නිසාම, පණ්ඩිතයන්ගේ වචනය අනුගමනය නොකිරීම හේතුවෙන් වේරම්භ වාතය අභිමුඛයෙහිදී විපතට පත් වූයේ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ගිජු ලිහිණි ජාතියෙහි ඉපිද ‘අපරණ්ණ’ නමින් ප්‍රකට විය. මේ අපරණ්ණ ගිජු ලිහිණියිා සෙසු ගිජු ලිහිණියන්ට නායක ව ඔවුන් පිරිවරා ගෙන ‘ගිජ්ඣකූට’ පර්වතයෙහි වාසය කෙළේය. මේ බෝසත් ගිජු ලිහිණියාගේ පුතා ‘මිගාලෝප’ නම් වූ තහඹු ගිජු ලිහිණියෙකි. ඔහුගේ තරුණකමට යෝග්‍ය වන පරිද්දෙන්ම, ඔහු ශක්තියෙන් ද, බලයෙන් ද, යුක්ත විය. ගිජුලිහිණියෝ ස්වභාවයෙන් ම අහසේ ඉතා දුරට පියාඹති. එහෙත් මිගාලෝප අනෙක් සියලු ගිජු ලිහිණියන්ගේ සීමාව ඉක්මවා, අහසේ ඉතාමත් ඈතට පියඹා යයි. මේ දුටු සෙසු ගිජු ලිහිණියෝ සිය නායකතුමා වෙතට පැමිණ, පුත්‍රයාගේ නොමනා හපන්කම් ගැන, ඔහු හමුවේ ප්‍රකාශ කළහ. ඒ ඇසූ ගිජුලිහිණි නායකයා තම පුතා, තමා වෙත කැඳවා ‘පුත, නුඹ අහසෙහි ඉතා උස්තැන් බලා පියාඹන්නෙහිද? සීමාව ඉක්මවා යන උදවිය ජීවිත හානියට පැමිණෙන්නාහු යැ’යි කියා, ඔහුට අවවාද වශයෙන් මෙසේ කරුණු දැක්වීය.
නමෙ රුච්චි මිගාලොප - යස්සතෙ තාදිසා ගති,
අතුච්චං තාත පතසි අභූතං තාත සෙවසි
පුත මිගාලෝප, ඔබ ඉතා ඉහළට යෙහිද? නොයා යුතු තැන් ඇසුරු කරෙහිද? ඔබේ එවැනි ගමන් මට රුචි නොවේ.
2. පුත, යම්කලෙක පොළොව සතරැස් කුඹුරක් මෙන් පෙනේ ද? එතැනින් නවතුව. ඉන් එයා නොයව.
3. පියාපත් යානා කොට ඇති, අහසේ ගමන් කරන, අන් පක්‍ෂීහු වෙති. වාත වේගයට යටත් නොවූ, ජීවිතය සදාකාලිකය යන හැඟීම් ඇති අය පවා නැසුනාහුය.
මෙහි ‘මිගාලෝප’ යනුවෙන් ‘නම කියා පුතාට අමතයි’. ‘අතුච්චං තාත පතසි’ යනු ‘පුත, ඔබ අන් ගිජු ලිහිණියන්ගේ සීමාව ඉක්මවා ඉතා ඉහළට යෙහිද?’ යන අර්ථයි. ‘චතුක්කණ්ණංව’ යන ‘මෙයින් ඔහුට සීමාව කියයි’ යන අර්ථයි. මින් කියන ලද අර්ථය මෙසේය. එනම්, පුත, ‘ඔබට මේ මහපොළොව සතරැස් කුඹුරක් මෙන් පෙනේද? එසේ කුඩාවට පෙනී යා ද? එවිට ඔබ ඒ මට්ටමින් නවතින්න. ඉන් ඔබ්බට නොයන්න.’ යන අර්ථයි. ‘සන්ති අඤ්ඤෙපි’ යනු ‘ඔබ පමණක් නොවේ, වෙනත් ගිජු ලිහිණියෝ ද එසේ කළහ යි’ දක්වයි. ‘අක්ඛිත්තා’ යනු ‘ඔවුහු ද, අපගේ සීමාව ඉක්මවා ගියාහුය. එහෙත් වාත වේගයට හසු වී, නැසුණාහුය, යන අර්ථයි. ‘සස්සතීසමා’ යනු ජීවිතය සදාකාලිකය යන හැඟීමෙන් එනම්, මහපොළොව පර්වත ආදියට තමා සමානකොට සිතා, වර්ෂ දහසක් පමණ වන තමාගේ ආයුෂ නොපුරාම, අතරමග දී විනාශ වූවාහුය’ යන අර්ථයි.
අවවාදයට අනුව වැඩ නොකරන්නකු වන මිගාලෝප, සිය පියාගේ වචන ගණන් නොගෙන අහසට පැන, පියා කී සීමාව දැක, එයද ඉක්මවා ‘කාලවාත’ ප්‍රදේශයට පැමිණියේය. එයින් නො නැවතුණු ඔහු, එයද විනිවිද ගොස් ‘වේරම්භ’ වාතයට අභිමුඛව පැන්නේය. වේරම්භ වාතයෙන් ඔහුට ගැලවීමක් නොවුණි. වේරම්භ වාතයට හසුවූ මිගාලෝප කඩ කඩව ගොස්, සුණු-විසුණු වී, අහසෙහි ම අතුරුදහන් විය.
4. ‘අපරණ්ණ’ නම් වූ මහලු පියාගේ අනුශාසනය අනුගමනය නොකොට (මිගාලෝප) කාලවාතය ඉක්මවා ගොස්, වේරම්භ වාතයේ වසඟයට ගියේය.
5. අවවාදයට අනුව ඒ පක්‍ෂියා කටයුතු නොකළ නිසා, ඔහුගේ දරුවෝ ද, අඹුවෝ ද, ඔහුගෙන් යැපෙන අන් අයද, යන සියලු දෙනා විපතට පැමිණියෝය.
6. මෙලොව යමෙක් වැඩිහිටියන්ගේ වචන තේරුම් නොගනීද? ඔහු අනුශාසනය ගණන් නොගෙන සීමාව ඉක්මවා හැසිරුණු ආඩම්බරකාර ගිජුලිහිණියා වැනිය. එපරිද්දෙන් බුද්ධානුශාසනය ක්‍රියාත්මක නොකරන සියලු දෙනා, විපතට පැමිණෙති.
ඉහත සඳහන් ගාථා (4.5.6) තුනම බුදුරදුන් විසින් වදාළ ඒවාය. ඒවා අභිසම්බුද්ධ ගාථා නමින් හැඳින්වේ.
මෙහි ‘අනුජීවිනො’ යනු ‘ඔහුගෙන් යැපෙන්නෝ’ය යන අර්ථයි. ‘අනොවාදකරෙ දිජෙ’ යනු ඒ මිගාලෝප නම් ගිජුලිහිණියා අවවාදයට අනුව ක්‍රියා නොකරන කල්හි, ඒ සියලුදෙනා ද ඔහුත් සමග සීමාව ඉක්මවා ගොස්, විපතට පැමිණියාහුය’ යන අර්ථයි. ‘එවම්පි’ යනු ‘මහණෙනි, ඒ ගිජුලිහිණියා යම්සේද? එසේ යම් වෙනත් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ බුදුවරුන්ගේ හිතානුකම්පී වචන නොපිළිගනී ද? ඔහුද, මේ සීමාව ඉක්මවා හැසුරුණු ආඩම්බරකාර, දර්පයෙන් යුතු, ගිජුලිහිණියා මෙන්, විපතට පැමිණේ’ යන අර්ථයි.