5. ආසංක ජාතකය (380)
‘ආසාවතී නාම ලතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘ඉන්ද්රිය’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. ඒ අනුව ඒ භික්ෂුව තමන්වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එය සත්‍යයකි. ‘කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහිකල භාර්යාව නිසා ය.’ ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අවැඩ කරන්නීය. ඇය දැන් පමණක් නොව පෙර ද ඔබට එසේ කළාය. අතීතයෙහි ඔබ ඇය නිසා සිවුරඟ සෙනඟ අතහැර දමා හිමාල පෙදෙසෙහි ඉමහත් දුකක් විඳිමින් වසර තුනක් විසුවෙහි යැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කසී රටට අයත් ගමක බමුණු පවුලක ඉපිද, නිසිවියට පත්වූ පසු තක්ෂිලාවට ගොස්, ශිල්ප-ශාස්ත්‍ර ඉගෙන ජීවිතය ගැන කලකිරී සෘෂි පැවිද්දෙන් පැවිදි වී, වනමුල් පලවැල අහරකොට ගෙන අභිඥාවන් හා සමාපත්තිද උපදවාගෙන, හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. මෙකල එක් පින්වත් සත්ත්වයෙක් තවුතිසා දෙව්ලොවින් සැව අවුත්, එක් පියුම් විලෙක පියුමක ගැබ තුළ දැරියක්ව උපන්නාය. මේ විල පිහිටා තිබුණේ ඉහත කී බෝසත් තවුසාගේ අසපුව සමීපයේය. විලෙහි නෙලුම් මල් සිරිත් පරිදි පිපී පරව යයි. එහෙත් එක් මලක් බණ්ඩිය විශාල වෙමින් පිපීමකින් තොරවම පවතී. නෑම සඳහා එක් දිනක් විලට පැමිණි තවුසා, පියුම්විලෙහි වූ මේ පියුම දැක ‘මෙය කුමක් නිසා මෙසේ විශාලව පවතීදැ’යි, සැකකොට එය විමසා බැලිය යුතුයැ’යි සිතා, නානකඩක් හැඳ දියට බැස, ඒ පියුම වෙත ගොස් එය විවෘත කොට බලා, එහි හුන් කුඩා දැරිය දැක දරු සෙනෙහස ඇතිවී, ඇය පන්සලට ගෙන ගොස් පෝෂණය කෙළේය. පසුකලෙක එනම් සොළොස් වස් වනවිට දැරිය ඉතා සිත්කලු ස්වභාවයක් ඉසුලුවාය. උතුම් රූපශ්‍රීයෙන් යුක්ත මේ යුවතිය මිනිස් බව ඉක්මවූ දෙව්බවට ළඟා වූ සුරූපී බවක් දැරුවාය. ඇයගේ පියාණන් වන මේ බෝසත් තවුසාට උපස්ථාන කිරීම සක්දෙවිඳුන් සිරිතක් කොටගෙන තිබුණි. කලකට පසු අසපුවට පැමිණි සක්දෙවිඳු, ඉහත කී යුවතිය දැක, ‘ස්වාමීනි, මැය ලැබුණේ කෙසේදැ’යි තවුසාගෙන් පිළිවිසීය. තවුසා ඇය තමාට ලැබුණු ආකාරය මුළුමනින් ශක්‍රයාට විස්තර කෙළේය. ඒ අසා සතුටු වූ සක්දෙවිඳු, තවුසා අමතා ‘ස්වාමීනි, මා මෑ වෙනුවෙන් කුමන උපකාරයක් කළ යුතුදැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන තාපසතුමා ‘නිදුකාණෙනි, ඈට මෙහි වසන්නට සුදුසු නොවේ. එබැවින් පළිඟුමය මන්දිරයක් මවා, එහි දිවයහන්-දිවසළු සහ දිව්‍යමය ආභරණත්, දිව්‍යමය ආහාර-පානත් ඇයට ලැබුණොත් මැනවැ’යි කීය. ‘ස්වාමීනි, යහපතැ’යි කී ශක්‍රයා, ඒ සියල්ල අඩුවක් නැතිව මැවීය.
ඔහු විසින් මවන ලද ඒ පළිඟු පහය අමුතු එකෙකි. කුමරිය එයට ගො වනවිට, එය බිමට පහත් වේ. ගොඩ වූ පසු එය වනපෙතට ඉහළ අහසේ රැඳේ. ඇයට බිමට බැසීමට අවශ්‍ය වූ සෑමවිටම, එය කී පරිදි බිමට ළං වේ. සක්දෙවිඳු මෙය මෙසේ සකසන ලද්දේ සෑම අතින්ම ඇයට රැකවරණය සලසන අටියෙනි. මෙසේ ඇය දිනපතා සිය පියාණන් වන බෝසත් තවුසාට, වත්පිළිවෙත් දක්වමින් අනගි පහයෙහි වාසය කරයි. පියුම් විලෙක පිපි අමුතු පියුමක් දැක, සැක කොට පරීක්ෂා කර බලා, ඇය සොයාගත් බැවින්, පිය තවුසා විසින් ඇයට ‘ආසංකො’ යැයි නම් තබන ලදි. මෙහි ‘ආසංකො’ යනු සැක කිරීමයි. මේ ආසංකා කුමරිය සිය පහයෙහි හිඳිනා අවස්ථාවක කැලයෙහි සැරිසරන වැද්දෙක් වන පෙතට ඉහළින් පාවෙන මන්දිරයත් එහි සිටි කුමරියත් දුටුවේය. ඉන් අන්ද-මන්ද වූ වැද්දා, එතැනට අවුත් අසපුවේ සිටි තවුස්තුමා වෙත ගොස්, ස්වාමීනි, අර මන්දරයේ වෙසෙන කුමරිය ඔබතුමාගේ කවුදැ’යි ඇසුවේය. එසේ ප්‍රශ්නකොට ඇය තවුසාගේ දියණිය බව දැනගත් වැද්දා, වහා බරණැසට ගොස් රජතුමා බැහැදැක ‘දේවයන් වහන්ස, හිමාල පෙදෙසෙහි දී මා විසින් එක් තාපසකයකුගේ දියණියක් දක්නා ලද්දීය. ඇයගේ රූ සිරි කියා නිම කළ නොහැකි යැ’යි, රජු ඉදිරියෙහි හිඳ, ඇය ගැන වර්ණනා කෙළේය. රජතුමා ආසංකා කුමරිය ගැන, කණින් ඇසූ පමණකින්ම, ඇය කෙරෙහි තදින් බැඳී ඒ වැද්දාම මාර්ගෝපදේශකයා කොටගෙන, සිවුරඟ සෙනග පිරිවරා එතැනට ගොස්, එහි කඳවුරක් බැඳගෙන, අනතුරුව වැද්දා ද, ඇමති ගණයා ද, පිරිවරන ලදුව අසපුවට පිවිස බෝසත් තවුසාට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. ඊළඟට රජතුමා තවුසා අමතා ‘ස්වාමීනි, ස්ත්‍රීහු නම්, බඹසර රකින උදවියට කරදරයකි. එබැවින් ඔබතුමාගේ දියණිය මට පාවාදෙනු මැනවි. මම ඇය මැනවින් පෝෂණය කරන්නෙමි’යි පැවසීය. එවිට තවුස්තුමා ‘රජතුමනි, ඔබ, මට ඇයගේ නම කියා, ඇය කැටුව යනු මැනවැ’යි කීය. තවුසා මෙසේ රජුට ‘ඇය රැගෙන යනු මැනවැ’යි සෘජුව නොකියා ඉහත දැක්වූ ආකාරයේ ප්‍රකාශයක් කෙළේ, රජුගේ ඉවසීමත් ප්‍රඥාවත් විමසනු සඳහා ය. තවුසාගේ කථාව ඇසූ රජතුමා ‘ස්වාමීනි, ඇයගේ නම මම නො දනිමි. ඔබතුමාගෙන් අසා, එය දැනගන්නට රිසියෙමි’යි කීවේය. ‘දේවයිනි, මම එය ඔබට නොකියමි. ඔබ ඔබගේම ප්‍රඥා බලයෙන් ඇගේ නම සොයා දැන, ඇය කැටුව යන්නැ’යි තවුසා කීවේය. ඊට ‘යහපතැ’යි කියා පිළිගත් රජතුමා, එතැන් පටන් දිනපතා ඇමතිවරුන් සමග එකතු වී ‘ඇය කුමන නමක් ඇත්තියක් විය හැකිදැ’යි සාකච්ඡා කරමින් කල්ගත කරන්නට පටන් ගත්තේය. රජතුමා ද ඇමැති ගණයා ද, විවිධ දුර්ලභ නම් සහිත වට්ටෝරු තවුසාට ඉදිරිපත් කරමින් ‘ඇගේ නම මෙයදැ’යි, එක් එක් නම කියමින් අසන්නට පුරුදු වූහ. ඒ සෑම නමක්ම තවුසා වෙතින් ප්‍රතික්ෂේප විය.
මෙසේ නම් සෙවීමේ මෙම කාර්යයට ම වසරක් ගතවිය. ඒ අතර රජතුමාගේ රාජකීය පිරිසට අයත් ඇතුන්, අසුන්, මිනිසුන් යන මොවුන් අතුරෙන්, සමහරුන් කැලේ සිටි සිංහ ආදී වූ වන මෘගයන්ටත්, සර්පයන්ටත් ගොදුරු විණි. සමහරුන්ට ජීවිත හානි නොවුණත් වන සතුන්ගෙන්, සර්පයන්ගෙන් මැසි මදුරුවන්ගෙන් පීඩා ඇතිවිය. සමහර කෙනෙක් සීතලෙන් ම මියැදුණාහුය. මේ සියල්ලෙන් කෝපයට පත් රජතුමා, බෝසතුන් හමුවට ගොස් ‘මට ඇයගෙන් වැඩක් නැත. එබැවින් මම මෙහෙන් පිටත්ව යන්නෙමි’යි කියා ගමනට සූදානම් විය. රජු එසේ සූදානම් වනු ආසංකා කුමරිය සිය මැදුරේ ජනේලයකින් දුටුවාය. රජුගේ ගමන් මගට සෘජුව පෙනෙන සේ, විවෘත කළ ජනේලයක් ළඟට වී සිටි ඇය, සමීපයෙන් ගමන් ගන්නා රජුට මැනවින් දිස්වන සේ සිටියාය. ඇය දුටු රජතුමා ‘කුමරිය, මට ඔබේ නම දැනගන්නට නොහැකි විය. එබැවින් ඔබ මේ හිමාලයට ම වී සිටින්න. මම මෙහෙන් පිටත්ව යන්නෙමි’යි කීය. ‘මහරජතුමනි, ඔබතුමා කොතැනකට ගොස්, මා වැනි යුවතියක් ලබන්නෙහිද? මගේ වචනය අසනු මැනවැ’යි කී කුමරිය, ‘දේවයිනි, තවුතිසා දෙව්ලොව ‘චිත්‍රලතා’ නම් ප්‍රකට වනයක් ඇත. එහි ‘ආසාවතී’ නම් වැලක් ඇත. ඒ වැලේ හට ගන්නා ගෙඩි තුළ දිව්‍යමය පානයක් ඇත. එය එක්වරක් පානය කළහොත්, ඉන් ඇතිවන මත්වීම, සිවුමසක් පුරාවට පහව නොයයි. එය පානය කළ දෙවිවරු සිවුමසක් මුළුල්ලේ දිව යහන්වලට වී මතින් කල්ගෙවති. එහෙත් ඉහත කී වැලේ ගෙඩියක් හට ගන්නේ වසර දහසකට වරකි. තත්ත්වය එසේ වුවත් සොරාසොඬ දිව්‍ය පුත්‍රයෝ, වැලෙන් ගෙඩියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් යුතුව, දිව්‍යමය පානයට ඇති ආශාව ඉවසාගෙන, නිරතුරුව වැල ළඟට ගොස් ‘වැල නිරෝගීව පවතීදැ’යි සොයා බලති. ඉතින් රජතුමනි, ඔබතුමා මෙසේ එක් අවුරුද්දකින්ම කලකිරුණෙහිය. ආශාවක් පල දැරීම සැප ගෙන දෙන්නකි. එබැවින් නොම කලකිරෙණු මැනවැ’යි කී කුමරිය තවදුරටත් මෙසේ ද පැවසුවාය.