4. නේරු ජාතකය (379)
‘කාකෝළා කාකසංඝා ච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව බුදුරදුන් වෙතින් කමටහන් ගෙන, එක් පසල් ගමකට ගියේය. ඒ ගමේ මිනිස්සු තෙරුන්ගේ ඉරියව් කෙරෙහි පැහැදී, උන්වහන්සේට දානය පූජාකොට, එම ගමෙහි විසීමට උන්වහන්සේ පොරොන්දු කරවා ගත්හ. අනතුරුව එගම සමීපයෙහි වූ කැලයක පන්සලක් සෑදූ මිනිස්සු ඒ භික්ෂුව එහි නවත්වා ගත්හ. එපමණක් නොව මහත් සේ සත්කාර ද කළහ. එයින් ටික කලකට පස් ශාස්වතවාදී පිරිසක් ඒ ගමට පැමිණියහ. ගමේ මිනිස්සු ඔවුන්ගේ මතවාදය අසා, තෙරුන්ගේ දහම ප්රතික්ෂේප කොට, ශාස්වතවාදය වැළඳ ගත්හ. ඔවුන්ටම, ගමේ අය සත්කාර කරන්නට පටන් ගත්හ. තවත් කලකට පසු උච්ඡේදවාදී පිරිසක්, ඒ ගමට ම පැමිණියහ. එහිදී ද, මිනිස්සු පෙර පරිද්දෙන්ම පැරණි දහම ඉවත ලා, අලුත් දහම වැළඳ ගත්හ. ඉනුත් කලකට පසු අචේලක වාදයත්, එගමට පැමිණියේය. මිනිස්සු තිබූ දහම අතහැර, අචේලක වාදය පිළිගත්හ. මේ අතර ඉහත කී පන්සලේ වෙසෙන භික්ෂුව හොඳ-නරක තේරුම් ගැනීමට තරම් නුවණක් නොතිබූ ඒ මිනිසුන්ගේ සමීපයෙහි දුක සේ වස් කාලය ද, ගතකොට පවාරණයෙන් පසු බුදුරදුන් වෙත ගොස් උන්වහන්සේට නමස්කාර කොට, පිළිසඳර කතා නිමවා එකත්පසෙක වාඩිවිය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ වස් විසුවේ කොහිදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, මම ගුණාගුණ නො දන්නා මිනිසුන් වෙසෙන ගමක, දුකසේ වස් විසුවෙමැ’යි භික්ෂුව කීවේය. ‘මහණ, පැරණි පඬිවරු තිරිසන් ජාතියෙහි ඉපිද සිටියත්, ගුණාගුණ නොදන්නවුන් සමග එක් දවසක්වත් එකට නොවිසූහ’යි වදාළ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ තමාගේ ගුණ තේරුම් නොගන්නා පිරිසක් මැද, කුමට විසුවෙහිදැ’යි ප්රශ්නකොට, ඒ භික්ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථාව දේශනා කොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ස්වර්ණහංස ජාතියෙහි ඉපදුණේය. මේ හංස රාජයාට බාල සොයුරෙක් ද විය. ඔවුහු ‘චිත්රකූට’ පර්වතය වාසභූමිය කොටගෙන වසමින්, හිමාල පෙදෙසෙහි ස්වයං ජාත හැල් වී ඇති බැවින්, එහි ගොස් ඒවා අනුභව කරති. එක් දිනක් කෑම අනුභවයට හිමාල පෙදෙසට ගිය ඒ හංසයෝ දෙදෙනා එහි සැරිසරා ආහාරද අනුභව කොට පෙරළා චිත්රකූට පර්වතයට පැමිණෙන අතරමගදී, අහම්බෙන් මෙන් එක් සුවිශේෂී පර්වතයක් දැක, එහි ගොස් ඒ මත හිඳගත්හ. මෙය ‘නේරු’ නම් වූ දඹරන් පර්වතයකි. මේ පර්වතය අවට වනපෙතෙහි විවිධ වර්ණ සහිත නා නා ස්වරූපයෙන් යුතු කුරුල්ලෝ ද, සාවෝ ද, වෙනත් සිවුපා වර්ග ද වෙසෙති. එහෙත් ඒ සියලු සත්ත්වයෝ පර්වතයට පැමිණිවිට, පර්වතයේ දීප්තියෙන් හැමදෙනාම රන්වන් වෙති. මේ බව දුටු බෝසත් හංසයාගේ බාල සොයුරා, ‘ඒ වෙනස කෙසේ වූවක්දැ’යි තේරුම් නොගෙන ‘ඊට හේතුව කුමක් විය හැකිදැ’යි සිය සොයුරා සමග කථා කරමින් මෙසේ කීය.
කාකොලා කාක සංඝාච මයඤ්ච පතකං වරා,
සබ්බෙව සදිසා හොති ඉමං ආගම්ම පබ්බතං
සබ්බෙව සදිසා හොති ඉමං ආගම්ම පබ්බතං
වන කපුටෝ ද, කපුටු රංචු ද, පක්ෂීන්ට නායක වූ අපි ද, මේ පර්වතයට පැමිණ සියලු දෙනාම සමාන බවට පත් වෙමු.
2. මෙහිදී සිංහයෝ ද, ව්යාඝ්රයෝ ද, පහත් සතුන් වන සිවල්ලු යන සියලු දෙනා සමාන වෙති. මෙය කිනම් පර්වතයක්ද?
මෙහි ‘කාකෝළා’ යනු ‘වන කපුටෝ’ය. ‘කාකසංඝා’ යනු ‘ප්රකෘති කාක සමූහයා ය. ‘පත්තං වරං’ යන ‘පක්ෂීන් අතුරෙන් උතුම් වූ’ යන අර්ථයි. ‘සදිසා හොම’ යනු ‘සමාන පැහැ ඇත්තේ වෙමු’ යන අර්ථයි.
සිය සොයුරාගේ ප්රකාශය ඇසූ බෝසත් හංසයා, ඊට පිළිතුරු වශයෙන් මෙසේ කීය.
3. මිනිස්සු මේ උතුම් පර්වතය ‘නේරු’ (රන්) පර්වතය යැ යි කියා දනිති. මෙහි සියලු ප්රාණීහු වර්ණයෙන් පූර්ණත්වයට පැමිණ වසති.
මෙහි ‘ඉධ වණ්ණෙන’ යනු ‘මේ නේරු පර්වතයේ දිස්නයෙන්, වර්ණයෙහි පූර්ණත්වයට පැමිණ’ යන අර්ථයි.
ඒ අසා සිටි බෝසතුන්ගේ බාල සොයුරා වන හංසයා, නැවත මෙසේ කීය.
4. යම්තැනෙක සත්පුරුෂයන්ට අවමන් වන්නේ ද? බුහුමන් නොවන්නේ ද? හීනයන්ට සම්මාන ලැබෙන්නේද? එවැනි තැනක නො වසන්නේය.
5. යම්තැනෙක දක්ෂයා ද, අලසයා ද, වීරයා ද, බියසුල්ලා ද, පිදිය යුත්තෝ වෙත්ද? විශේෂයක් නැති, ඒ පර්වතයෙහි සත්පුරුෂයෝ නො වසති.
6. මේ රන් පර්වතය, උත්තම-මධ්යම-පහත් යන මේ අය විභාග නොකරයි. එසේ විශේෂයක් නොකරන රන් පර්වතය ඒකාන්තයෙන් හැර දමමු.
මෙහි සිව්වැනි ගාථාවෙහි අර්ථය මෙසේය. යම්තැනෙක සත් පුරුෂයන්ට, පණ්ඩිතයන්ට, සිල්වතුන්ට බුහුමන් කිරීමක් නැති නිසා ද, අවමන් කිරීමක් වන නිසා ද, හීන වූ දුස්සීලයන්ට සම්මාන ලැබෙන නිසාද, එතැන වාසය නොකරන්නේය, යනුයි. මෙහි ‘පූජියා’ යනු ‘මොවුහු මෙහි සමාන තත්ත්වයෙන් පූජනීය වෙති. සමාන සත්කාර ලබති’ යන අර්ථයි. ‘හීනමුක්කට්ඨමජ්ඣිමෙ’ යනු ‘ජාති-ගෝත්ර-කුල ප්රදේශ-ශීල-ආචාර-ඥාන ආදිය මුල්කොට, පහත්-මධ්යම-උසස් වශයෙන් මේ පර්වතය සත්ත්වයන් ගැන බෙදීමක් නොකරයි’ යන අර්ථයි. ‘හන්ද’ යනු ‘ඒකාන්ත අර්ථයෙහි නිපාතයකි. ‘ඡහාමසෙති’ යනු ‘අත්හරිමු’ යන අර්ථයි. මෙසේ කියා හංසයෝ දෙදෙනාම, එතැනින් අහසට නැග චිත්රකූට පර්වතය බලා පියාඹා ගියහ.