3. දරීමුඛ ජාතකය (378)
‘පංචා ච කාමා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, මහා අභිනිෂ්ක්‍රමණය නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට ඉහතින් විස්තර කරන ලදි. එහි අතීත කථාව පහත පළවේ.
පෙර රජගහ නුවර ‘මගධ’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල අප බෝසත් තෙමේ, ඒ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්නේය. බෝසත් කුමරාට නම් තබන දිනයෙහිදී, ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි නම් තැබූහ. බෝසතුන් උපන් දවසේදීම, පුරෝහිතතුමාගේ බිරියට ද පුතෙක් උපන්නේය. ඔහුගේ මුහුණ අතිශයින් බබළයි. ඒ නිසාම ඒ කුමරුවාට ‘දරීමුඛ’ යැයි නම් කළහ. මේ කුමාරවරු දෙදෙනාම රජ මාලිගය තුළම ඇති දැඩි වෙති. මේ දෙදෙනාම ඔවුනොවුන්ට ප්‍රිය-මනාප වූහ. වයස සොළොස් වන වියේදී දෙමාපියන්ගේ අනුදැනුමෙන් තක්ෂිලාවට ගිය කුමාරවරු දෙදෙනා, එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන නිමාකොට ඉන් සෑහීමකට පත් නොවී ‘සියලු සමයයන් හා ඉගෙන නොගත් වෙනත් ශිල්පයන් සොයා ඉගෙන ගන්නෙමු’ එපමණක් නොව, අපේ දේශයට අයත් සියලු කුල චාරිත්‍ර විධි ද, උගත යුතුයැ’යි, තීරණය කොට, ගම්-නියම්ගම් ආදියෙහි සැරිසරන්නට පටන් ගත්හ. මෙසේ චාරිකාවෙහි යෙදුනු මේ කුමාරවරු දෙදෙනා, බරණැසට පැමිණ එදා කිසියම් දේවස්ථානයක වැස පසුදින, බරණැස් නුවර පිඬු පිණිස ඇවිද්දාහ. මේ අතර බරණැස් නුවර කිසියම් නිවෙසක ජීවත්වන උදවිය, ‘අපි බමුණන්ට ආරාධනාකොට මෙහි ගෙන්වා ඔවුන් ලවා වේද පාඨ සජ්ඣායනා කරවා, ඔවුන්ට පඬුරු දී කිරිබත් ද පූජා කරමු’යි කියා, ඊට සූදානම් වී කිරිබත් ද පිස, බමුණන් සඳහා අසුන් පනවා, බමුණන් එන මග බලා සිටියාහුය. එදිනම, ඉහත කී කුමාරවරු දෙදෙනා, පිඬු පිණිස චාරිකාවේ යෙදුණේ. කලින් කී නිවසේ සිටි මිනිස්සු, මේ කුමාරවරුන් දෙදෙනා පිඬු පිණිස පැමිණෙනු දුටු වහාම ‘බමුණු උතුමෝ පැමිණියාහු’ යැයි, ඉදිරියට ගොස් ඔවුන් පිළිගෙන ගේ ඇතුළට කැඳවාගෙන අවුත්, බෝසතුන් සඳහා සුදු වතක් එලූ ආසනයක් පනවා, දරීමුඛ කුමරුට රතු කම්බිලියක් එලන ලද ආසනයක් පිළිගැන්වූහ. එවිට දරීමුඛ කුමරා ඒ නිමිත්ත දැක, ‘අද මාගේ මිත්‍රයා මේ බරණැස් නුවර මහරජු බවට පත්වන්නේය. මමද එතුමාගේ සේනාපති වන්නේ යැ’යි ස්ථිරව දැන ගත්තේය. ඒ කෙසේ වෙතත් කුමාරවරු දෙදෙනා එහිදී දානය අනුභව කොට පූජා ද පිළිගෙන, නිවැසියන්ට සෙත් වඩා, එතැනින් නික්ම රාජකීය උද්‍යානයට ගියහ. එම උයනෙහි මඟුල් ගල් තලාවට පැමිණ බෝසත් කුමරා, එහි වැද හොත්තේය. වැදහොත් කුමරුගේ දෙපා පිරිමදිමින් දරීමුඛ කුමරු එහි හුන්නේය.
එදා බරණැස් රජතුමා මරණයට පත්වී, සත්වන දිනයයි. ඒ රජුගේ පුරෝහිත බමුණා, රජුගේ ආදාහන කටයුතු සියල්ල නිමාකොට රජුට දරුවන් නොමැති නිසා, අපුත්‍රක රාජ්‍යයට රජකු සොයාගැනීමට අවශ්‍ය බැවින්, මේ සත්වන දිනයෙහි, ‘රාජ රථය’ සරසා මුදා හැරියේය. මේ රාජ රථයෙන් (ඵුස්ස රථයෙන්) කෙරෙන රාජකාරිය, ‘මහා ජනක’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. නගරයෙන් නික්මුණු රාජ රථය සිව්රඟ සෙනග පිරිවරා නොයෙක් සිය ගණන් පසඟතුරු නාදය මැද, උයන් දොරටුවට පැමිණුනේය. පසඟතුරු නද ශ්‍රවණය කළ දරීමුඛ කුමරු ‘මාගේ මිත්‍රයා වෙනුවෙන් රාජ රථය පැමිණේ. ඔහු අදම මේ රටේ රජතුමා වී, මට සේනාපති තනතුර දෙන්නේය. මේ ගිහිගෙයි විසීමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේද? එබැවින් මම මෙතැනින් නික්ම පැවිදි වන්නෙමි’යි සිතා, බෝසතුන් නො පුබුදුවා එතුමාට නො දන්වාම, එක් පැත්තකින් පැන, මඟුල් ගල්තලාව අවට ආරක්ෂිත ස්ථානයක සැඟවී බලා සිටියේය. උයන් දොරටුව වෙතට රථය සමීප වූ වහාම, පුරෝහිතතුමා රථය එතැනින් නවත්වා, උයනට පිවිසියේය. මඟුල් ගල් තලාව මත වැදහෙව නිදන බෝසතුන් දුටු පුරෝහිත තුමා, බෝසතුන්ගේ පා ලකුණු පරීක්ෂා කොට බලා, ‘මහ පිනැති කුමරෙකි. දෙදහසක් දිවයින්වලින් පිරිවරන ලද සතර මහාද්වීපයන්ට රජකම් කිරීමට තරම් සමත් වූ, උත්තමයෙකි’යි සිතා ‘බෝසතුන්ගේ දෛර්යය සම්පන්නභාවය කෙබඳු දැ’යි පරීක්ෂා කිරීම සඳහා, සියලු තූර්යනාද පවත්වන්නට අණ කෙළේය. එයින් පිබිදුන බෝසත් කුමරා මුහුණ වසා තිබූ ආවරණ සළුව ඉවත්කොට, එහි රැස්ව සිටි මහජනකාය දෙස බලා, නැවත සළුවෙන් මුහුණ වසාගෙන මඳ වේලාවක් වැතිරී සිට සන්සුන් වූ පීඩා ඇතිව නැගිට ගල්තලාව මත පලක් බැඳ වැඩ හුන්නේය. එවිට පුරෝහිතයා දණින් හිඳ, ‘දේවයන් වහන්ස, ඔබතුමා වෙත රජකම පැමිණියේ යැ’යි පැවසීය. ‘කිමෙක්ද හිතවත? රජයට ඔටුන්න හිමි කුමරකු නැද්දැ’යි කුමරා ඇසීය. ‘එසේය දේවයන් වහන්ස,’ ‘එසේ වී නම් යහපතැ’යි කියා, කුමරා රජකම පිළිගත්තේය. එහි සිටි පුරෝහිත තුමා ඇතුළු රාජකීය පිරිස, කුමරා උයනෙහිදීම අභිෂේක කළහ. මෙසේ රජකමට පත් මේ අලුත් රජතුමාට සිය මහත් වූ යසඉසුරු නිසාම තම මිතුරා දරීමුඛ අමතක විය. මඟුල් රථයට නැගුණු රජතුමා මහජනයා පිරිවරාගෙන නුවරට පිවිස මුළු නුවර පැදකුණු කොට, රාජකීය දොරටුව සමීපයේදී ම ඇමතිවරුන්ගේ තනතුරු ගැන විචාරා, මාලිගාවට පිවිසුණේය.
මේ අතර දරීමුඛ කුමරා ‘දැන් උයන මිනිසුන්ගෙන් හිස්වී ඇතැ’යි සිතා, හුන් තැනින් නික්ම අවුත් මඟුල් ගල්තලාවේ හිඳ ගත්තේය. එවිටම ගසෙකින් ඉදී වැටුණු කොළයක් එතුමාගේ ඉදිරිපිට, බිම පතිත විය. කුමරා කහ පැහැති වූ ඒ කොළයෙහි වෙනස්වීම, විනාශය ගැන සිත යොමුකොට, තිලකුණු මෙනෙහි කොට පොළොව කම්පා කරමින් ‘පසේ බුදු’ බවට පත්විය. එකෙණෙහිම එතුමාගේ ගිහි ලක්ෂණ මුළුමනින්ම අතුරුදහන් විය. සෘද්ධිමය වූ පාසිවුරු අහසින් අවුත්, එතුමාගේ සිරුර හා සම්බන්ධ විය. එකෙණෙහිම අටපිරිකරින් සම්පූර්ණ වූ, ඉරියව්වලින් පරිපූර්ණ වූ එතුමා වස් සියයක මහතෙරුන් වහන්සේ නමක්ව, පෙනුණි. උන්වහන්සේ සෘද්ධියෙන් අහසට පැන නැග, හිමාල පෙදෙසෙහි ‘නන්දමූලක’ පර්වත ප්‍රාන්තයට වැඩි සේක. මේ අතර බෝසත් රජතුමා දැහැමින් රාජ්‍යය කරවීය. මහත් යසඉසුරු නිසා එයින්ම ප්‍රමාදයට පත්වී, අවුරුදු සතළිහක් තුරාවට රජුට දරීමුඛ නම් වූ සිය මිතුරා මතකයට නැගුණේ නැත. අභිෂේකයෙන් වසර හතළිහක් ඉක්ම ගියපසු රජුට අහම්බෙන් මෙන් අතීතය සිහි වීමෙන් තම සහායකයා මතක් විය. එවිට රජතුමා ‘මගේ මිතුරු දරීමුඛ කොහි වෙසේද? ඔහු දැකගන්නට ඇත්නම් යෙහෙකැ’යි සිතීය. එදා සිට රජතුමා මාලිගාව තුළ දීත් සභාව මැද දීත් ‘මගේ මිතුරු දරීමුඛ කොහිද? ඔහු වෙසෙන තැනක් සොයා බලා මට දැනුම් දෙවු. එසේ කරන්නකුට මහත් යසඉසුරු ලබා දෙන්නෙමි’යි නිතර නිතර කියයි. රජතුමා මෙසේ තම මිතුරා නිතර නිතර සිහි කරමින් පසුවෙද්දී තවත් වසර දහයක කාලයක් ඉකුත් විය.
දරීමුඛ පසේබුදුරජාණන් වහන්සේ ද, අවුරුදු පනහක් ඇවෑමෙන් තම මිතුරු රජුට තමන් වහන්සේ සිහිපත් වූ වග ආවර්ජනා කිරීමෙන් දැන, ‘දැන් මේ වනවිට ඔහු මහල්ලෙකි. ඔහුගේ දූ දරුවන් ද නිසි වියට පත් වී ඇතුවාට සැක නැත. එබැවින් ඔහු වෙත ගොස් දහම් දෙසා ඔහු පැවිදි කරවන්නෙමි’යි කල්පනා කොට සෘද්ධි බලය උපයෝගී කොටගෙන අහසට පැන නැගී, බරණැසට අවුත් රාජකීය උද්‍යානයට බැස, එහි මඟල් ගල් තලාවෙහි රන් පිළිමයක් මෙන් වැඩහුන් සේක. පසේ බුදුරදුන් දුටු උයන්පල්ලා උන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ කොහි සිට වැඩි සේක්දැ’යි විචාළේය. ‘ඇවැත්නි, නන්දමූලක පර්වත ප්‍රාන්තයේ සිට මෙහි පැමිණියෙමි. ස්වාමීනි, ඔබවහන්සේ කිනම් වන සේක්ද?’ ‘ඇවැත්නි, මම දරීමුඛ නම් වූ පසේ බුදුවරයා වෙමි.’ ‘ස්වාමීනි, ඔබවහන්සේ අපේ රජතුමා හඳුනන සේක්ද?’ ‘එසේය. ඔහු මාගේ ගිහි කළ මිතුරෙකි’, ‘ස්වාමීනි, අපේ රජතුමා ඔබවහන්සේ දකිනු රිසියෙන් නිතර ඒ ගැන කථා කරමින් සිටියේය. දැන් ඔබවහන්සේගේ පැමිණීම ගැන එතුමාට කියන්නදැ’යි උයන්පල්ලා ඇසීය. ‘යන්න, ඔබ ගොස් ඒ ගැන රජුට කියන්නැ’යි, පසේ බුදුරජාණන් වහන්සේ උයන්පල්ලාට අවසර දුන් සේක. ‘යහපතැ’යි පිළිගත් උයන්පල්ලා වහ වහා දිවැ ගොස් සියලු විස්තර රජුට දැන්වීය. ඉමහත් සන්තෝෂයට පත් රජතුමා ‘මගේ මිතුරා පැමිණියේය, එතුමා දැක ගන්නෙමි’යි, වහාම රථයට නැගී මහත් පිරිවර සහිතව උයනට ගොස්, පසේ බුදුරදුන් දැක, නමස්කාර කොට පිළිසඳර කථා නිමවා, එකත්පසෙක හිඳ ගත්තේය. ඉක්බිති රජු ඇමතූ පසේ බුදුරජාණන් වහන්සේ ‘බ්‍රහ්මදත්ත රජතුමනි, කිමෙක්ද? දැහැමින් රාජ්‍යය විචාරන්නෙහිද? සතර අගතියට නොගොස් පාලන කටයුතු කරන්නෙහිද? ධනය අපේක්ෂාවෙන් ලෝ වැස්සා නො පෙළන්නෙහිද? දානාදී පින්දහම්වල නිතර වන්නෙහි දැ’යි මෙසේ ප්‍රශ්නකොට, ඒ පිළිසඳර කථා නිමාවීමෙන් අනතුරුව, ‘රජතුමනි, ඔබ දැන් මහල්ලෙකි. දැන් මේ එළඹ ඇත්තේ කාම සම්පත් හැර දමා, පැවිදිවීමට සුදුසු කාලය යැ’යි, වදාරා රජුට දහම් දෙසමින් මෙසේ ද පැවසූ සේක.