2. සේතකේතු ජාතකය (377)
‘මා තාත කුජ්ඣි නහි සාධු කොධො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් කුහක භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, ‘කුද්දාල’ ජාතකයේ දැක්වේ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැස් නුවර දිසාපාමොක් ආචාර්ය ව ඉපිද පන්සියයක් මානවකයන්ට වේදය උගන්වයි. ඒ මානවකයන් අතුරෙන් ජ්යෙෂ්ඨ ශිෂ්යයා උසස් බ්රාහ්මණ කුලයක උපන් ‘සේත කේතු’ නම් වූ තරුණ මානවකයෙකි. ඔහු තමාගේ කුලය හේතු කොටගෙන, මහත් අභිමානයකින් යුක්තව කටයුතු කරයි. එක් දවසක් අන් මානවකයින් සමග නගරයට යන සේතකේතු නගරයට පිවිසෙනවාත් සමගම, එක් චණ්ඩාලයකු දැක ‘නුඹ කවරෙක් දැ’යි ඔහුගෙන් විචාළේය. ‘මම චණ්ඩාලයෙක් මි’යි ඔහු උත්තර දුන්නේය. එවිට සේතකේතු තරුණයා, එම චණ්ඩාලයාගේ ඇඟේ වැදී එන සුළඟ තමාගේ සිරුර ස්පර්ශ කෙරේ යැයි බියෙන් ‘කාලකණ්ණි චණ්ඩාලය, තෝ නැසෙව. මෙතැනින් ඉවත්ව, යටි සුළඟෙන් ගමන් කරව’යි, කියා එම චණ්ඩාලයා සිටි දිසාවට උඩු පැත්තෙන් ගමන් කරන්නට පටන් ගත්තේය. එවිට චණ්ඩාලයා ද වහා දිවැ ගොස් සේතකේතුගේ ගමන් මගෙහි උඩු පැත්තෙන් ගමනට ඇරඹීය. ඉක්බිති ඒ දුටු සේතකේතු ‘වසල කාලකණ්ණිය, තෝ නැසෙව’යි පෙර ද වඩා වැඩියෙන්, ආක්රෝශ පරිභව කෙළේය. ඒ ඇසූ චණ්ඩාලයා ‘ඔබ කවරෙක් වෙහිදැ’යි ප්රශ්න කෙළේය. ‘මම වූ කලී බ්රාහ්මණයෙක් මි.’ ‘ඔබ බ්රාහ්මණයෙක් වී නම්, මා අසන ප්රශ්නයට පිළිතුරු දිය හැකිද?’ ‘එසේය. මම ඊට පිළිතුරු දෙන්නෙමි.’ ‘ඔබ එසේ කීවත්, යම් විදියකින් පිළිතුරු දීමට අපොහොසත් වුවහොත්, මාගේ දෙපා අතරින් දණ ගාගෙන යා යුතු යැ’යි චණ්ඩාලයා කීය. ඒ ප්රකාශය ගැන තර්ක කොට බලා, අභියෝගය බාර ගැනීමට සේතකේතු තීරණය කෙළේය.
අනතුරුව චණ්ඩාල පුත්රයා එතැන සිටි පිරිසට මේ සියල්ල පැහැදිලි කොට දී, වාදය මෙසේ ආරම්භ කෙළේය. ‘මානවකය, ලොව ‘දිසා’ නම් කවරේද? ‘චණ්ඩාලය, දිසා යනු පෙරදිග ආදිකොට ඇති, සිව් දිසාවන්ය.’ බමුණු තරුණයාගේ මේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ, චණ්ඩාලයා ‘තරුණය, මම ඔබගෙන් විචාළේ, ඔය කියන දිසාවන් ගැන නොවේ. මට පුදුම මෙපමණක්වත් නොදන්නා ඔබ, මාගේ ඇඟේ වැදී එන සුළඟත් පිළිකුල් කිරීම යැ’යි, කියා බමුණු තරුණයාගේ පිටට අත තබා, තමා සිටි දිශාවට නමා, තමාගේ පා අතරින් ගමන් කරන්නට සැලැස්වීය. මේ සියල්ල බලා සිටි සෙසු තරුණයෝ, එපුවත සිය ගුරුවරයා වෙත වාර්තා කළහ. ඒ ඇසූ ගුරුතුමා තම පිරිස සමග වහා එතැනට ගොස් සේතකේතු ශිෂ්යයා තමා වෙතට කැඳවා, ‘පුත, සේතකේතු, චණ්ඩාලයකු විසින් තමාගේ පා අතරින් ඔබ ගමන් කරවන ලද්දෙහිය, යනු සැබෑවක්දැ’යි ප්රශ්න කෙළේය. ‘එසේය, ඇදුරුතුමනි, ඔහු මට ‘දිසාවක්වත් නොදන්නා චණ්ඩාල දාසියකගේ පුතා යැ’යි, බැන ඔහුගේ පා අතරින් මා යැවීය. එබැවින් මම දැන් ඔහුට කළ යුතු දේ දනිමි’යි කියූ සේතකේතු මහත් සේ කිපී, ඉහත කී චණ්ඩාල පුත්රයාට තම ගුරුවරයා ඉදිරිපටදීම, ආක්රෝශ පරිභව කරන්නට පටන් ගත්තේය. එවිට ඇදුරුතුමා ‘පුත සේතකේතු, ඔහුට නො කිපෙව. ඔය චණ්ඩාල පුත්රයා පණ්ඩිතයෙකි. ඔහු ඔබෙන් විචාළේ ඔබ කියන දිසාවන් ගැන නොවේ. ඔහු අපේක්ෂා කෙළේ වෙනත් දිසාවකි. ඔබ විසින් දක්නා ලද, අසන ලද, අවබෝධ කොට ගන්නා ලද දේට වඩා, නොදුටු නො ඇසූ නොදත් දේ බොහෝ යැ’යි, තම ගෝලයාට අවවාද කරමින් මෙසේ ප්රකාශ කෙළේය.
මා තාත කුජ්ඣි න භි සාධු කො ධො, බහුම්පි තෙ අදිට්ඨං අස්සුතඤ්ච,
මා තා පිතා දිසතා සෙත කෙතු, ආචරියමාහු දිසතං පසිත්ථා
මා තා පිතා දිසතා සෙත කෙතු, ආචරියමාහු දිසතං පසිත්ථා
දරුව සේතකේතු, නො කිපෙව. ක්රෝධ කිරීම යහපත් නොවේ. ඔබ නොදුටු, නොඇසූ දේ බොහෝය. මව්පියන් එක් දිසාවකියි ද, ගුරුවරුන් තවත් දිසාවකියි ද උතුමෝ කියති.
අගාරිනො අනන ද පාණවත්ථදා, අව්හායිකා තම්පි දිසං වදන්ති,
එසා දිසා පරමා සෙත කෙතු, යා පත්වා දුක්ඛි සුඛිනො භවන්තී ති
එසා දිසා පරමා සෙත කෙතු, යා පත්වා දුක්ඛි සුඛිනො භවන්තී ති
සේතකේතු, ආහාර-පාන-වස්ත්ර දන් දෙන ගෘහපතිවරු යම් කෙනකු කැඳවා දන් දෙත්ද? ඒ (මහණ බමුණු) උදවිය ද දිසා යැ යි කියති. දුකට පත් අය යමක් වෙත පැමිණ සැප ඇත්තෝ වෙත්ද? එය (නිවන) උතුම් ම දිශාව යැයි කියති.
මෙහි ‘නහී සාධු කොධො’ යනු ‘ක්රෝධය හටගත් විට හොඳ වචන - නරක වචන, යහපත-අයහපත, හිත-අහිත නො වැටහේ. එබැවින් ක්රෝධය යහපත් එකක් නොවේ’ යන අර්ථයි. ‘බහුම්පි තෙ අදිට්ඨං’ යනු ‘නුඹ විසින් ඇසින් නො දුටු කණින් නො ඇසූ දේ ඉතා බොහෝ ය’ යන අර්ථයි. ‘දිසතා’ යනු දිශාවන්ය. මවුපියවරුන් දරුවන්ට කලින් ලොව පහළ වූ අය බැවින් පූර්ව ‘දිශාව’ නම් වන බව කියයි’ යන අර්ථයි. ‘ආචරියමාහු දිසතං පසත්ථා’ යනු ‘ගුරුවරුන් දක්ෂිණාර්භ බැවින් ප්රශස්ත වූ බුද්ධාදී ආර්යයෝ ඔවුන් දකුණු දිශාව යැයි කියති. දක්වති.’ යන අර්ථයි.
‘අගාරිනො’ යනු ‘ගෘහස්ථයෝ’ය. ‘අන්නදපාණවත්ථදා’ යනු ‘ආහාර-පාන-වස්ත්ර පූජා කරන අය’යි. ‘අව්හායිකා’ යනු ‘එනු මැනවි. මේ දාන වස්තු පිළිගනු මැනවැ’යි කැඳවන අය’යි’. ‘තම්පි දිසං වදන්ති’ යනු ‘බුද්ධාදී ආර්යයෝ ඒ අයද දිශාවෙකැයි කියති’ යන අර්ථයි. මේ සිව්පසය සපයන ගෘහස්ථයේ සිව්පසය සකස් කළ කල්හි, ඒ බව දැනුම් දුන් විට, දැහැමි මහණ බමුණන් විසින් එතැනට එළඹිය යුතු බැවින්, ඒ මහණ බමුණන් එක් දිශාවකැයි දක්වයි. තවද අදහසකි. එනම් ආහාර-පාන-වස්ත්ර ලබාදෙන යම් ඒ ගිහියෝ වෙත්ද? ඔවුන්ට සදිව්ය ලෝක සම්පත් ලබාගැනීම සඳහා නැවත නැවත කැඳවන බැවින්, ඒ කැඳවීම් ලබන මහණ බමුණෝ දිශා නාමය ලබති. එබැවින් බුද්ධාදී ආර්යයෝ, ඔවුන් උඩ දිශාව යැයි කියති’ යන අර්ථයි. මෙසේ ද කියා ඇත.