9. සන්‍ධිභේද ජාතකය (349)
‘නෙව ඉත්‍ථීසු සාමඤ්ඤං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, පිසුණාවාචා ශික්‍ෂාපදය අරබයා දේශනාකොට වදාළ සේක. එක්කලෙක බුදුරජාණන් වහන්සේ, ඡබ්බග්ගිය භික්‍ෂූන් කේලාම් කියමින් හැසිරෙන බව අසා, ඔවුන් කැඳවා ‘මහණෙනි, තෙපි භික්‍ෂූන්ගේ දබරයට හේතුවන, කලහයට හේතුවන, විවාදයට කරුණු වන කේලාම් කීමෙහි යෙදී සිටිවුද? මෙය සත්‍යයක්දැ’යි ඇසූ සේක. එවිට එය සත්‍යයක් බව, ඡබ්බග්ගිය භික්‍ෂූහු පිළිගත්හ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා, ‘මහණෙනි, කේලම් කීම වනාහි නොතිබුණු කලහයන් හටගැනීමටත්, ඇති දබරයන් වැඩි වීමටත්, හේතු වේ යැ’යි, වදාරා ඒ භික්‍ෂූන්ට ගරහා, ‘මහණෙනි, කේලම වූ කලී, තියුණු ආයුධයක් වැනිය. ඉතා දැඩි විශ්වාසවන්ත භාවයක් වුවත්, මොහොතකින් සිඳ දැමීමට කේලම සමත් වේ. එබඳු කේලාම් උපයෝගී කොටගෙන, අනුන්ගේ මිතුරු බව සිඳ දමන තැනැත්තා, සිංහයන් ගොනුන් වැනි යැ’යි, වදාරා මේ අතීත කථාව, දේශනාකොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එම රජුට පුත්ව ඉපිද නිසි වියට පත්ව, තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන, පියාගේ ඇවෑමෙන් රජකම ලැබී, දැහැමින් රාජ්‍යය කරවීය. එකල එක් ගොපල්ලෙක් කැලෑබද ගාල්වල හරකුන් ඇතිදැඩි කරයි. දිනක් ගාලේ සිට හරක් රැගෙන එන ඔහුට, එක් ගැබ්බර දෙනක් ගෙන ඒමට අමතක විය. කැලේ තනි වූ ඒ දෙන එක් සිංහ ධේනුවක් සමග මිතුරු වූවාය. මේ දෙදෙනා ම දැඩිසේ මිතුරුව, එකටම හැසිරෙති. පසුකලෙක සිංහධේනුව සිංහ පැටියකු ද, එළදෙන වසු පැටවකු ද වැළඳූහ. ඒ පැටව් දෙදෙනා ද මෑණිවරුන්ගෙන් ලැබූ ආබාෂයෙන් මිතුරුව එකටම විසූහ. දිනක් එක් වැද්දෙක් කැලයට පිවිස, ඉහත කී තිරිසන් සතුන්ගේ මිතුරුකම දැක, එය තම සිත්හි දරාගෙන කැලයෙන් සපයාගත් තම බඩු ද, රැගෙන බරණැස් නුවරට ගොස් තමා කැලයෙන් රැගෙන ආ දේවල්, රජුට පිරිනැමුවේය. රජතුමා වැද්දා කෙරෙහි සතුටුව ‘හිතවත, නුඹ කැලයේ ඇවිදිනවිට, දක්නා ලද අසිරිමත් දෙයක් ඇද්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, එක් සිංහයකු හා මිත්‍රව වෙසෙන ගොනකු දුටිමි. ඔවුන් ඔවුනොවුන් කෙරෙහි ඉතාම විශ්වාසයෙන් යුතුව, එකටම හැසිරෙනු දුටිමි. ඒ හැර වෙන අමුතු දෙයක් නැතැ’යි වැද්දා කීය. එවිට රජතුමා ‘මිත්‍රය, ඔබ කී සතුන් දෙදෙනා අතරට වෙනත් සතකු එක් වුවහොත්, ඔය මිතුරුකම වැඩිකල් නො පවතී. එවැනි අවස්ථාවක් දුටුවොත්, වහා මට කියව’යි වැද්දාට දැනුම් දුන්නේය. ‘දේවයිනි, එසේ යැ’යි කී වැද්දා, මාලිගාවෙන් පිටව ගියේය.
නොබෝ කලකට පසු කැලයට ගිය වැද්දාට ඉහත කී සිංහ-ගොං මිතුරන් දෙදෙනාට ළංව සිටි සිවලකු දක්නට ලැබුණි. ඒ දුටු වැද්දා ‘මෙය වහා රජතුමාට දැන්විය යුතුයැ’යි අදිටන් කොටගෙන, නුවර බලා නික්මුණි. මේ අතර මිතුරන් දෙදෙනාට සමීප වූ සිවලා, ‘මම සිංහ මස් ද, හරක් මස් ද, හැර සෙසු සියලු මස්, අනුභව කොට ඇත්තෙමි. දැන් මම මොවුන් භේදකොට, දෙදෙනාගේම මස් කන්නෙමි’යි ඉටා ගත්තේය. ඊළඟට ඔවුනොවුන් වෙත ගිය සිවලා, ‘ඔබට විරුද්ධව ඔබේ මිතුරා මෙසේ කීවේ යැ’යි යනාදි වශයෙන් කේලාම් කියා, ටික කලකින් ම සිංහයා හා ගොනා භේද කරවා, එකිනෙකා මරා ගන්නා තත්ත්වයට, පත් කෙළේය. මේ අතර රජු හමුවට පැමිණි, වැද්දා ‘දේවයන් වහන්ස, සිංහ-ගොං මිතුරන් දෙදෙනා අතරට තවත් සතෙක් එළඹ සිටී යැ’යි කීවේය. ‘ඒ කිනම් සතෙක් ද?’ ‘ස්වාමීනි, ඒ සිවලෙකි. ‘එසේ නම්, ඒකාන්තයෙන්ම ඌ සිංහ ගොං දෙදෙනා මරණයට පත් කරන්නේ යැ’යි කී රජතුමා ඔවුන් මළ පසු, මම එතැනට පැමිණෙන්නෙමි. එබැවින් ඒ බව සොයා බලා, මට දැනුම් දෙව’යි, වැද්දාට කීය. පසුදිනෙක වැද්දා පැමිණ මිතුරන් දෙදෙනා මළ බව, රජුට පවසා රජුත් කැටුව එතැනට ගියේය. එතැනට පැමිණි රජුට සිවලා, විටින්විට සිංහයාගේ මසුත්, ගව මසුත්, සතුටු සිතින් යුතුව කා දමනු දක්නට ලැබිණි. ඒ දුටු රජතුමා රථයෙහි සිටගෙන, රියැදුරා සමග කථා කරමින්, මෙසේ පැවසීය.
නෙව ඉත්‍ථීසු සාමඤ්ඤං නපි හක්චෙසු සාරථී,
අථස්ස සන්‍ධි භෙදස්ස පස්ස යාව සුචින්තිතං