10. දේවතාපඤ්හ ජාතකය (350)
‘හන්ති හත්‍ථෙහි පාදෙහි’ යන මේ ගාථා කොටසින් ඇරඹෙන දේවතා ප්‍රශ්න උම්මග්ග ජාතකයෙහි සවිස්තරව දැක්වෙයි.
පස්වැනි චූලකුණාල වර්ගය යි.
චතුක්ක නිපාත වර්ණනාව නිමියේ ය.
5. පඤ්චක නිපාතය
1. මණිකුණ්ඩල වර්‍ගය
1. මණිකුණ්ඩල ජාතකය (351)
‘ජිනො රථස්සමණිකුණ්ඩලෙ ච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි, කොසොල් රජුගේ අන්තඃපුරයෙහි සියලු කටයුතු භාර, දුෂ්ට ඇමැතියකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා පුවත මීට ඉහත දක්වන ලදි. මේ ජාතකයට අයත් බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද සිටියේය. ඉහත කී කොසොල් රජුගේ දුෂ්ට ඇමතියා කොසොල් රජු කැටුව කසීරටට අවුත්, එම රට බලහත්කාරයෙන් අල්වාගෙන, අනතුරුව බරණැස් රජු ද, අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාරයෙහි සිරකොට තබන්නට සැලැස්වීය. බන්‍ධනාගාරගත වූ බරණැස් රජතුමා එහිදී ධ්‍යාන වඩා, අහසෙහි පලක් බැඳ වාඩි වී, හුන්නේය. මේ දුටු සතුරු රජු වන කොසොල් රජුගේ සිරුර පුරා, දාහයක් ඇතිවිය. ඔහු වරණ රජු වෙත එළඹ මේ ගාථාව කීවේය.
ජිනො රථස්ස මණිකුණ්ඩලෙව, පුත්තෙව දාරෙව තථෙව ජිනො,
සබ්බෙසු භොගෙසු අසෙසිතෙසු, කස්මා න සන්තප්පසි සොක කාලෙති
රථය, අශ්වයන්, මිණිකොඬොල් අහිමි විය. එසේම දරුවන් ද අඹුවන් ද, අහිමි විය. සියලු සම්පත් ඉතිරි නොකොට හැර ගන්නා ලදි. (මේ හේතූන් නිසා) ශෝක කළයුතු කාලයෙහි, කුමක් නිසා සන්තාපයට පත් නොවෙහිද?
මෙහි ‘ජිනො රථස්ස මණිකුණ්ඩලෙ ච’ යනු ‘මහරජතුමනි, ඔබගෙන් (ඔබට අයත්) රථය, අසුන්, මිණිකොඬොල් යන මේවා පැහැර ගන්නා ලද යන අර්ථය. ‘රථෙ ච මණිකුණ්ඩලෙ ච’ යනුවෙන් ද, පාඨයක් ඇත යන අර්ථයි. ‘අසෙසිතෙසු’ යනු ‘ඉතිරි නොකොට’ යන අර්ථයි.
මේ ඇසූ බෝසත් රජතුමා මේ ගාථා දෙක, පිළිතුරු වශයෙන් පැවසීය.
2. සියල්ල කැමැත්තාණෙනි, සම්පත් පළමුකොට සත්ත්වයා හැර දමයි. ඊටත් පෙරාතුව සත්ත්වයා සම්පත් හැර දමයි. සම්පත් වූ කලී, සැමදා පවතින්නක් නොවෙයි. ඒ නිසා ශෝක කළයුතු කල්හි, මම ශෝක නො කරමි.
3. පසමිතුරාණෙනි, සඳ උදාවෙයි. ක්‍රමයෙන් පිරිපුන් වෙයි. පසුව ගෙවී යයි. හිරු පොළොව ආලෝකවත් කොට බැස යයි. මෙසේ මා විසින් ලෝකධර්මයෝ අවබෝධ කරන ලදහ. එබැවින් ශෝක කළයුතු කාලයෙහි මම ශෝක නො කරමි.
මෙහි ‘පුබ්බෙව මච්චං’ යනු ‘සම්පත් මුලදීම, එනම් පළමුකොටම සත්ත්වයා අත්හරී, සත්ත්වයා ද, ඒ සම්පත් ඊටත් කලින් අත්හරී යන අර්ථයි. ‘කාමකාමි’ යනු සතුරු රජු ඇමතීමයි. කාම වස්තූන්ට ආශා කරන්නා ‘කාමකාමි’ නම් වෙයි. වස්තුව නම්, ලොව සදාකල්හි පවතින්නක් නොවෙයි. පොහොසතුන් වස්තුව නැතිවූ කල්හි, ජීවත් වුවත්, දුප්පත්තු වෙති. විටෙක වස්තුව ඉතිරි කොට, මිනිස්සු පරලොව යති. එබැවින් සෙසු අයට, ශෝකය දනවන කාලයක් වුවත්, එම කාලයෙහි මම ‘ශෝක නො කරමි’, යන අර්ථයි. ‘විදිතා මයා සත්තක ලොකධම්මා’ යන මෙය සතුරු රජු අමතා කියන්නකි. පින්වත් පසමිතුරාණෙනි, ලාභ-අලාභ, අයස-යස ආදී ලෝකධර්මයෝ මා විසින් අවබෝධ කරගන්නා ලදහ. යම් සේ සඳ උදාවෙයිද? දිනෙන් දින පිරේද? නැවත දිනෙන් දින ගෙවී යා ද? යම් සේ හිරු, අඳුර දුරු කෙරෙමින් ලොව මහත් වූ ප්‍රදේශයක් ආලෝකවත් කොට, නැවත සවස් වනවිට, අස්තයට යා ද? එනම් නොපෙනී යා ද? එපරිද්දෙන් සම්පත් ඇතිවෙයි. නැතිවෙයි. ඒ ගැන ශෝක කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එබැවින් ශෝක නොකරමි’. යන අර්ථයි.