8. අරඤ්ඤ ජාතකය (348)
‘අරඤ්ඤා ගාමමාගම්ම’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ථුල්ල කුමාරිකාවක විසින් කරන ලද පොළඹවා ගැනීමක් අරබයා, දේශනාකොට වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘චුල්ල නාරද කස්සප’ ජාතකයෙහි දැක්වේ. එහි අතීත කථා පුවත මෙසේය.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසි වියට එළැඹියේ තක්‍ෂිලාවට ගොස්, ශිල්ප උගෙන පෙරළා පැමිණ, විවාහ වී පුතකු ද ලැබ, යහතින් ජීවත්විය. නොකල්හි බිරිඳ මිය ගියාය. අනතුරුව බමුණා පුතා ද රැගෙන, පිටත්ව ගොස්, සෘෂි පැවිද්දෙන් පැවිදි වී, හිමාල වනයෙහි සුවසේ විසීය. ඔහු දිනපතා සිය පුතා අසපුවෙහි තබා පලවැල නෙලීමට යයි. දිනක සොරුන් කණ්ඩායමක් පසල්ගමක් කොල්ල කා මිනිසුන් ද, බලහත්කාරයෙන් ගෙන යන කල්හි, ඔවුන් අතර සිටි එක් තරුණියක් ඔවුන්ගෙන් පැන ගොස්, ඉහත කී අසපුවට වැද, එහි හුන් තවුස් කුමරා පොළඹවා ගෙන, ඔහු සීල භේදයට පත් කළාය. ඉන් නොනැවතුණු ඈ, අසපුව හැර දමා තමා සමග යන්නට එන ලෙස, කුමරුට ඇවිටිලි කළාය. සිය පියාට නොදන්වා, අසපුවෙන් පිටව යන්නට, කුමරු අකමැති විය. ‘එසේ නම් පියා පැමිණි පසු, ඔහුගෙන් අවසර ගෙන එනතෙක්, මම අතරමග රැඳී සිටින්නෙමි’යි කියූ ඇය කී ලෙසම, සැඟව සිටියාය. මේ අතර තවුස්තුමා අසපුවට පැමිණි බැවින්, ඔහු වෙත ගිය තවුස් කුමරා, සිය පියාට මෙසේ කීවේය.
අරඤ්ඤා ගාම මාගම්ම - කිං සීලං කිං වතං අහං,
පුරිසං තාත සෙවෙය්‍යං - තං මෙ අක්ඛාහි පුච්ඡිතො
පියාණෙනි, මම වනයෙන් නික්ම ගමට ගොස්, කෙබඳු ස්වභාවයෙන් යුතු, කෙබඳු පැවැත්මෙන් යුතු, තැනැත්තකු ඇසුරු කරන්නෙම්ද? විචාරණ ලද මට එය කියනු මැනවි.
මෙහි ‘අරඤ්ඤා ගාමමාගම්ම’ යනු ‘පියාණෙනි, මම මේ අරණින් පිටත්ව, වාසය සඳහා මිනිස් පියසකට ගියවිට, එනම් එම වාසභූමියට පැමිණ, කුමක් කරම්ද?’ යන අර්ථයි.
මීට පිළිතුරු දෙන පියා, ඔහුට අවවාද වශයෙන්, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
යො තං විස්සාසයෙ තාත - විස්සාසඤ්ච ඛමෙය්‍යතෙ,
සුස්සූසීව තිතික්ඛීව - තං භජෙහි ඉතො ගතො
පුත, යමෙක් ඔබ විශ්වාස කරන්නේද? ඔබේ ඇසුර කැමති වන්නේද? යමෙක් ඔබට ඇහුම්කන් දීමට කැමති වන්නේද? යමෙක් ඔබට වරදට සමාව දෙන්නේද? නුඹ මෙහෙන් ගියපසු, එබන්දකු ඇසුරු කරව.
යස්ස කායෙන වාචාය මනසානත්‍ථි දුක්කටං,
ධරසීව පතිට්ඨාය තං භජෙහි ඉතො ගතො
යමකුගේ කයින්, වචනයෙන්, මනසින්, නපුරක් සිදු නොවේද? මෙහෙන් ගියපසු, පියා වැනි වූ ඔහු කෙරෙහි පිහිටා, ඇසුරු කරව.
හළිද්දරාගං කපිචිත්තං පුරිසං රාග විරාගිනං,
තාදිසං තාත මා සෙවී නිම්මනුස්සම්පි චෙ සියා
පුත, පඬු පැහැය මෙන් වූ, අස්ථිර සිත් ඇති, වඳුරකුගේ මෙන් සසල වූ සිත් ඇති, විටින් විට ඇලෙන, නොඇලෙන සිත් ඇති එබන්දකු ඇසුරට මිනිසකු සොයාගත නොහැකි වන්නේ නමුදු, සේවනය නොකරන්න.
මෙහි ‘යො තං විස්සාසයෙ’ යනු ‘යම් පුරුෂයෙක් ඔබ අදහන්නේද? සැක නොකරන්නේද?’ යන අර්ථයි. ‘විස්සාසඤ්ච ඛමෙය්‍යතෙ’ යනු’යි. මෙකී ස්වකීය හැඟීමෙන් ඔබ කෙරෙහි විශ්වාසයට පැමිණ, සැක නොකරන්නේද? වරදට සමාව දෙන්නේද?’ යන අර්ථයි. ‘සුස්සූසී’ යනු ‘යමෙක් ඔබේ විශ්වාසවන්ත වචන ඇසීමට කැමති වේද?’ යන අර්ථයි. ‘තිතික්ඛි’ යනු ‘යමෙක් ඔබ විසින් කරන ලද වැරැද්ද ඉවසාද?’ යන අර්ථයි. ‘තං භජෙහි’ යනු ‘එබඳු පුරුෂයකු ඇසුරු කරන්නේය, භජනය කරන්නේය’, යන අර්ථයි. ‘ඔරසීව පතිට්ඨාය’ යනු ‘යම් සේ ඔහුගේ ළෙහි තබා වඩන ලද, තමාගේම පුතුට මෙන්, යමෙක් ඔබට කටයුතු කෙරේද? පියා වැනි වූ එබඳු පුරුෂයකු ඇසුරු කරන්න’, යන අර්ථයි.
‘හළිද්දරාගං’ යනු ‘පඬු පැහැය මෙන්, අස්ථිර සිත් ඇති’, යන අර්ථයි. ‘කපිචිත්තං’ යනු ‘වඳුරාගේ සිත මෙන් වහා වෙනස් වන සිත් ඇති’, යන අර්ථයි. ‘රාගවිරාගිනං’ යනු ‘මොහොතින් මොහොත ඇලෙන, නො ඇලෙන සිත් ඇති’ යන අර්ථයි. ‘නිම්මනුස්සම්පි චෙසියා’ යනු ‘මුළු දඹදිව් තලයෙහිම, කාය දුශ්චරිතාදියෙන් තොර, මිනිසකු සොයාගත නොහැකි වන්නේ නම්, එසේ වුවහොත්, ඉහත කී ආකාරයේ ලඝු සිත් ඇති අය, ඇසුරු නොකරව, මිනිස් පියසෙහි මුළුමනින් සොයා, යට කියන ලද ගුණයන්ගෙන් සපිරි මිනිසකු සොයා, ඔහු ඇසුරු කරන්නෙහි’ය, යන අර්ථයි.
මේ අසා තවුස් කුමාරයා ‘පියාණෙනි, මම මේ ගුණවලින් යුතු මිනිසෙකු, කොයින් ලබන්නෙම්ද? එබැවින් මම මෙහෙන් නොයමි. ඔබේ ළඟම වසන්නෙමි’යි, කියා නැවතුණි. ඉක්බිති තවුසා තම පුතාට, කසිණ භාවනාවට අවැසි දේ උගැන්වීය. පසුව මේ දෙදෙනා ධ්‍යානයෙන් නොපිරිහී ජීවත්ව සිට, දිවි කෙළවර බඹලොව උපන්හ.
බුදුරජාණන් වහන්සේ මේ දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා පුත්‍රයා ද, මෙදා අයමය. පිය තවුසා වූ කලී ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
9. සන්‍ධිභේද ජාතකය (349)
‘නෙව ඉත්‍ථීසු සාමඤ්ඤං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, පිසුණාවාචා ශික්‍ෂාපදය අරබයා දේශනාකොට වදාළ සේක. එක්කලෙක බුදුරජාණන් වහන්සේ, ඡබ්බග්ගිය භික්‍ෂූන් කේලාම් කියමින් හැසිරෙන බව අසා, ඔවුන් කැඳවා ‘මහණෙනි, තෙපි භික්‍ෂූන්ගේ දබරයට හේතුවන, කලහයට හේතුවන, විවාදයට කරුණු වන කේලාම් කීමෙහි යෙදී සිටිවුද? මෙය සත්‍යයක්දැ’යි ඇසූ සේක. එවිට එය සත්‍යයක් බව, ඡබ්බග්ගිය භික්‍ෂූහු පිළිගත්හ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා, ‘මහණෙනි, කේලම් කීම වනාහි නොතිබුණු කලහයන් හටගැනීමටත්, ඇති දබරයන් වැඩි වීමටත්, හේතු වේ යැ’යි, වදාරා ඒ භික්‍ෂූන්ට ගරහා, ‘මහණෙනි, කේලම වූ කලී, තියුණු ආයුධයක් වැනිය. ඉතා දැඩි විශ්වාසවන්ත භාවයක් වුවත්, මොහොතකින් සිඳ දැමීමට කේලම සමත් වේ. එබඳු කේලාම් උපයෝගී කොටගෙන, අනුන්ගේ මිතුරු බව සිඳ දමන තැනැත්තා, සිංහයන් ගොනුන් වැනි යැ’යි, වදාරා මේ අතීත කථාව, දේශනාකොට වදාළ සේක.