7. අයකූට ජාතකය (347)
‘සබ්බායසං කූටං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, ලෝවැඩ උදෙසා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘මහා කණ්හ’ ජාතකයෙහි දැක්වේ. මෙහි අතීත කථාව පහත පළ වේ.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද නිසිවියට පත් වූයේ, ශිල්ප සියල්ල ද උගෙන, සිය පියාගේ ඇවෑමෙන් රජකමට පත්ව, දැහැමින් රාජ්යය කරවීය. දේවාල උත්සව පවත්නා කිසියම් දිනෙක, මිනිස්සු එළු බැටළු ආදී සතුන් මරා දෙවියන්ට බිලිපූජා කෙරෙති. බෝසත්තුමා ‘පරපණ නොනැසිය යුතුයැ’යි, නියෝග කොට අණබෙර පතුරුවාලීය. එවිට බිලි පූජා කෙරෙහි ලොල් වූ, යක්කු ඒවා නොලැබීම නිසා, බෝසතුන් කෙරෙහි කිපී, හිමාලයෙහි සියලුදෙනා රැස්ව, බෝසත් රජු මැරීම සඳහා එක් යකකු යෙදවූහ. ඒ යක්ෂයා කොතක් පමණ වූ ගිනිගෙන දැවෙන මහත් වූ යකුළක් දරාගෙන විත්, බෝසතුන්ට පහර දී මැරීම සඳහා, මාන බලමින් රෑ මැදුම් යම, බෝසතුන්ගේ යහන මත සිටියේය. මෝ මොහොතේදී ශක්රයාගේ ආසනය උණුවිය. ඒ ‘කුමක් නිසා සිදුවූවක් දැ’යි, විමසා බලන සක්දෙවිඳුට සියල්ල තත් වූ පරිද්දෙන් වැටහී ගියේය. අනතුරුව වහා වජ්රායුධය දරාගත් සක්දෙවිඳු, රජුගේ යහන්ගැබට ඇතුළු වී, යකාට ඉහළින් අහසෙහි රැඳී සිටියේය. මේ අතර එතැනට පැමිණි රජතුමා යකා දැක, ‘කිමෙක්ද? මේ යක්ෂයා මෙහි රැඳී සිටිනුයේ, මා රැකීමටද? නැතහොත් මා මැරීමටදැ’යි, කල්පනා කොට යකා සමග සංවාදයේ යෙදෙමින්, මේ ගාථාව කීය.
සබ්බායසං කූට මතිප්පමාණං, පග්ගය්හි යො තිට්ඨසි අන්තලික්ඛෙ,
රක්ඛාය මං ත්වං විහිතොනු සජ්ජ, උදාහු මෙ වායමසෙ වධායාති
රක්ඛාය මං ත්වං විහිතොනු සජ්ජ, උදාහු මෙ වායමසෙ වධායාති
අති විශාල වූ, මුළුමනින්ම අයෝමය වූ කුළක් (යකුළක්) ඔසවාගෙන, ඒ ඔබ දැන් අහසෙහි සිටිනුයේ, මා රැක්මෙහි නියුතුවද? නැතහොත් ඔබ මා මැරීමට යත්න දරහිද?
මෙහි ‘විහිතො නුසජ්ජ’ යනු (විහිතොන+ආසි+අජ්ජ) ‘දැන් නියුතු වෙහිද?’ යන අර්ථයි.
මෙහිදී සිදුවූ විශේෂය නම්, බෝසතුන්ට යක්ෂයා දැකගත හැකිවූ නමුත්, ශක්රයා දැකගත නොහැකි වීමයි. මේ අතර ශක්රයාට බිය වූ යකා බෝසතුන්ට පහරදී ගත නොහැකිව, බලා සිටියේය. ඔහු බෝසතුන්ගේ කථාව අසා මහරජතුමනි, මම ඔබ රැකීමට නොසිටියෙමි. මා අත ඇති මේ යකුළෙන් පහර දී, ඔබ මරා දැමීමට මෙහි පැමිණියෙමි. එහෙත් මෙහි සිටින මේ සක්දෙවිඳුට ඇති බිය නිසා, ආ කාරිය කරගැනීමට අපොහොසත්ව, සිටියෙමි යි කියමින්, මේ ගාථාව ප්රකාශ කෙළේය.
2. රජතුමනි, රකුසන්ගේ දූතයා වන මම, ඔබ විනාශ කිරීම සඳහා එවන ලද්දේ වෙමි. දෙවියන්ට අධිපති වූ ඉන්දු නම් වූ ශක්රයා, ඔබ ආරක්ෂා කරයි. එබැවින් මම ඔබේ හිස නො පලමි.
මේ ඇසූ බෝසත් රජතුමා මේ ගාථා දෙක ප්රකාශ කෙළේය.
3. ඉදින් දෙවියන්ට ‘ඉන්ද්ර’ වූ හෙවත් ප්රධාන වූ, ‘මඝවා’ නම් වූ ද ‘සුජම්පති’ නම් වූ ද, ‘ශක්ර දිව්ය රාජයා මා රකී. ඒකාන්තයෙන් සියලු පිසාචයෝ හඬත්වා! රකුසු ප්රජාවට මම බිය නො වෙමි.
4. සියලු කුම්භාණ්ඩයෝ ද, පාංශු පිසාචයෝ ද, කැමැති සේ හඬත්වා! භීෂක පිරිස විශාල වුවත්, ඒ පිසාචයෝ මා හා යුධයට ප්රමාණවත් නොවෙති.
මෙහි ‘රක්ඛසියා පජාය’ යනු ‘රාක්ෂස ප්රජාවයි, රකුසු පරම්පරාව’, යන අර්ථයි. ‘කුම්භණ්ඩා’ යනු ‘කළගෙඩි තරම් වූ අණ්ඩකෝෂ හා උදර ඇති යක්ෂ විශේෂයකි. ‘පංසුපිසාචකා’ යනු ‘කසල ගොඩවල්හි වෙසෙන පිසාචයෝය. ‘නාලං’ යනු ‘පිසාචයෝ නම්, මා සමග යුද්ධයට අසමත් වෙති යන අර්ථයි. ‘මහතී සා විභිංසිකා’ යනු ‘ඒ යක්ෂයෝ රැස්ව, යම් බිහිසුණු ස්වභාවයක් දක්වත්ද? එය ඉතාමත් බිහිසුණුය. නමුත් එය මට දර්ශන මාත්රයක් පමණි. මම ඊට බිය නො වෙමි’ යන අර්ථයි.
ඉන්පසු ශක්රයා ඉදිරිපත් වී, යක්ෂයා පලවා හැර, බෝසතුන්ට අවවාද දී, තවදුරටත් ‘මහරජතුමනි, බිය නොවනු මැනවි’, මෙතැන් පටන් ඔබ රැකගැනීම, මට අයත් කාරියකි’යි කියා සිය භවනට පිටත්ව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ශක්රයා නම්, අනුරුද්ධ තෙරණුවෝය. බරණැස් රජ වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
8. අරඤ්ඤ ජාතකය (348)
‘අරඤ්ඤා ගාමමාගම්ම’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ථුල්ල කුමාරිකාවක විසින් කරන ලද පොළඹවා ගැනීමක් අරබයා, දේශනාකොට වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘චුල්ල නාරද කස්සප’ ජාතකයෙහි දැක්වේ. එහි අතීත කථා පුවත මෙසේය.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසි වියට එළැඹියේ තක්ෂිලාවට ගොස්, ශිල්ප උගෙන පෙරළා පැමිණ, විවාහ වී පුතකු ද ලැබ, යහතින් ජීවත්විය. නොකල්හි බිරිඳ මිය ගියාය. අනතුරුව බමුණා පුතා ද රැගෙන, පිටත්ව ගොස්, සෘෂි පැවිද්දෙන් පැවිදි වී, හිමාල වනයෙහි සුවසේ විසීය. ඔහු දිනපතා සිය පුතා අසපුවෙහි තබා පලවැල නෙලීමට යයි. දිනක සොරුන් කණ්ඩායමක් පසල්ගමක් කොල්ල කා මිනිසුන් ද, බලහත්කාරයෙන් ගෙන යන කල්හි, ඔවුන් අතර සිටි එක් තරුණියක් ඔවුන්ගෙන් පැන ගොස්, ඉහත කී අසපුවට වැද, එහි හුන් තවුස් කුමරා පොළඹවා ගෙන, ඔහු සීල භේදයට පත් කළාය. ඉන් නොනැවතුණු ඈ, අසපුව හැර දමා තමා සමග යන්නට එන ලෙස, කුමරුට ඇවිටිලි කළාය. සිය පියාට නොදන්වා, අසපුවෙන් පිටව යන්නට, කුමරු අකමැති විය. ‘එසේ නම් පියා පැමිණි පසු, ඔහුගෙන් අවසර ගෙන එනතෙක්, මම අතරමග රැඳී සිටින්නෙමි’යි කියූ ඇය කී ලෙසම, සැඟව සිටියාය. මේ අතර තවුස්තුමා අසපුවට පැමිණි බැවින්, ඔහු වෙත ගිය තවුස් කුමරා, සිය පියාට මෙසේ කීවේය.