6. කේසව ජාතකය (346)
‘මනුස්සින්‍දං ජහිත්‍වාන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, විශ්වාස කටයුතු භෝජනයක් අරබයා වදාළ සේක. අනේපිඬු සිටුතුමාගේ නිවසෙහි නිරතුරුව පන්සියයක් තෙරුන්ට දානය සැපයේ. එම නිවස සැමදා භික්‍ෂූන්ට පැන් පොකුණක් වැනිය. කසාවතින් බැබලුනි. සිල් සුවඳින් පිරී ගියේය. කිසියම් දිනෙක රටේ රජතුමා නුවර පැදකුණු කරමින් ඇවිදින විට, අනේපිඬු සිටුතුමාගේ නිවසේ භික්‍ෂූන් දැක, ‘මහ සඟනට දන් දිය යුතුයැ’යි සිතා, එදිනම විහාරයට ගොස්, බුදුරදුන් දැක වැඳ, පන්සියයක් මහ සඟනට දිනපතා දන් පිරිනැමීමට, නියම කර ගත්තේය. එතැන් පටන් රජගෙදර දානය දිනපතා පැවැත්තේය. දානයට පිරිනැමෙන බත වූ කලී ප්‍රණීත වූද වසර තුනක් පැරණි වූද, සුවඳ හැල් සාලෙන් සකසන ලද්දකි. එහෙත් රජගෙදර විශ්වාසයෙන් සෙනෙහසින් සියතින් දන් බෙදන්නෙක්, දායකයෙක් නැත. රජුගේ අණින් සේවකයෝ දන් බෙදති. එබැවින් භික්‍ෂූහු එහි හිඳ වළඳන්නට කැමැති නොවෙති. රජමැදුරෙන් විවිධ රසයෙන් යුතු දානය පිළිගෙන, තමතමන්ගේ හිතවත් දායක ගෙවල්වලට ගොස්, ඒ බත දායක ගෙදර අයට දී, ඒ දායකයන් විසින් දෙන ලද ආහාරය, කටුක වුවත් ප්‍රණීත වුවත් වළඳති.
මේ අතර කිසියම් දිනක රජතුමාට බොහෝ පළතුරු තෑගි වශයෙන් ලැබුණි. සේවකයන් කැඳවූ රජතුමා ඒ පළතුරු, භික්‍ෂූන්ට පිළිගන්වන ලෙස නියෝග කෙළේය. දන්හලට ගිය සේවකයෝ, එහි එකද භික්‍ෂු කෙනකුන්වත් නොදැක ඒ බව රජුට දැන්වූහ. ඒ ඇසූ රජතුමා ‘දැන් දන් වළඳන වේලාව නේදැ’යි ඇසීය. එවිට සේවකයෝ ‘එසේය රජතුමනි, එහෙත් භික්‍ෂූහු මෙහෙන් දානය ලබාගෙන හිතවතුන්ගේ ගෙවල්වලට ගෙන ගොස් ඒවා ඔවුන්ට දී ඔවුන් දෙන කුමන හෝ ආහාරයක් වළඳති’යි කීහ. රජතුමා මේ පුවත අසා ‘අපේ දානය ඉතා ප්‍රණීතය. කුමන කරුණක් නිසා, එය නොවළඳා වෙනෙකක් වළඳත්ද? මේ ගැන බුදුරදුන්ගෙන් විමසන්නෙමි’යි තීරණය කොටගෙන, බුදුරදුන් හමුවට ගොස් වැඳ, උන්වහන්සේට සියලු විස්තර පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, භෝජනය නම්, විශ්වාසය පරමකොට ඇත්තකි. ඔබේ මැදුරෙහි විශ්වාසයෙන් යුතුව ළඟට පමුණුවා දන්දෙන, සෙනෙහසින් යුතු දායකයන් නොමැති නිසා, භික්‍ෂූහු මෙසේ කරති. එබැවින් රජතුමනි, විශ්වාසය හා සමාන අන් රසයක් නැත. අවිශ්වාසිකයකු විසින් දෙන ලද චතුමධුර වුවත්, විශ්වාසිකයකු විසින් දෙන ලද, මෝරු ටිකක් පමණවත් නොවටී. රජතුමනි, පෙර රජකු විසින් අසනීපයෙන් පීඩිත වූ පඬිවරයකුට වෛද්‍යවරුන් පස්දෙනකුන් ලවා, බෙහෙත් කරවන ලද නමුත් එයින් සුවයක් නොලද බැවින්, සිය විශ්වාසවන්තයින් ළඟට ගොස් ලුණු රහිත බොඬහමු - ඌරු හැල් යන මේවායින් තැනූ, කැඳ ද, දියෙන් තෙමන ලද ලුණු රහිත කොළ ටිකක් ද, අනුභව කොට ඔහු නිරෝගී බවට පත් වී යැ’යි වදාරා රජුගේ ඇරයුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කසීරට බමුණු කුලයක උපන්නේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘කප්ප කුමාර’ යැයි නම් තැබූහ. නිසිවියට පත් ඔහු, තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පසුකලෙක සෘෂි පැවිද්දෙන් පැවිදිව, තවුස්දම් රැක්කේය. මෙකල ‘කේසව’ නම් වූ තවුසෙක්, පන්සියයක් තවුසන් පිරිවරන ලදුව, එම පිරිසට නායකත්වය දෙමින් හිමාලයෙහි වාසය කරයි. බෝසත් තවුසා ද, ඔහු වෙතට ගොස් පන්සියයක් පිරිසෙහි ප්‍රධාන ශිෂ්‍යවරයා ව කටයුතු කෙළේය. ඔහු නායක තවුසාට හිතවත්ව, සෙනෙහසින් යුතුව, තවුස්දම් පිරුවේය. ඒ අනුව නායක තවුසාත් බෝසත් තවුසාත් යන දෙදෙනා ම, ඔවුනොවුන් කෙරෙහි ඉතා විශ්වාසයෙන් යුතුව විසූහ. පසුකලෙක සෙසු තවුසන් පිරිවරා ගත් කේසව තවුසා, ලුණු-ඇඹුල් සෙවීම සඳහා මිනිස් වාසයට පිටත්ව ගොස්, ක්‍රමයෙන් බරණැස් රජුගේ රාජකීය උයනට පිවිස, එදින එහි වැස, පසුදා පිඬු පිණිස නුවරට ඇතුළුව රජදොරටුව වෙතට පිවිසියේය. රජතුමා තවුස් පිරිස දැක, වහා ඔවුන් මාලිගාවට කැඳවා, එහිදී ඔවුන්ට දානය පිළිගන්වා නුවර වසන තාක් කල්, සිය උයනෙහි නවාතැන් ගන්නා බවට ඔවුන් පොරොන්දු කරවා ගත්තේය. වැසිකාලය නිමා වූ පසු, නායක තවුසා රජු හමු වී නැවත හිමවතට යන්නට අවසර පැතීය. එවිට රජතුමා ‘තාපසතුමනි’, ඔබ දැන් මහලුය. එබැවින් තරුණ තවුසන් පිටත්කොට යවා, ඔබතුමා අප සමග වසනු මැනවැ’යි, ඉල්ලා සිටියේය. කේසව තවුස්තුමා රජුගේ ඉල්ලීම පිළිගෙන, දෙටු අතවැසියා සමග, සෙසු අය හිමවතට පිටත්කොට යවා, තෙමේ නැවතුනේය. කප්ප නම් වූ බෝසත් තවුසා හිමවතට ගොස්, සෙසු අය සමග තවුස්දම් පුරන්නට පටන් ගත්තේය.