5. ගජකුම්භ ජාතකය (345)
‘වනං යදග්ගි දහති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අලස වූ එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. සැවැත් නුවර වැසි කුලපුත්රයකු වන ඔහු, සසුනට ශක්තියක් වෙමින් පැවිදිව, සිටි නමුත් ස්වභාවයෙන්ම අලසයෙකි. උද්දේස - පරිපුච්ඡා - යොනිසෝමනසිකාර ආදී වූ, විනයානුකූල අංග ද, වත්-පිළිවෙත් ආදියද, යන මෙකී දැයින් පරිබාහිර වූ ඔහු, නීවරණයන්ගෙන් මඩනා ලදුව, හිඳීම් සිටීම් ආදී වූ සිව් ඉරියව්හි පවා, මන්දගාමී ස්වභාවයක් දැරුවේය. ඔහුගේ මේ අලස භාවය දම්සභාවේ රැස්ව සිටි, භික්ෂු පිරිසට මාතෘකාවක් විය. දම්සභාවට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන්, ඉහත කී අලස භික්ෂු නමගේ, තොරතුරු හා හීන වීර්යය සහ කුසීතකම ගැන, සියල්ල අසා දැන, ‘මහණෙනි, මොහු අලසයෙක් වූයේ, දැන් පමණක් නොවේ. පෙර ද එසේ වී යැ’යි, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජතුමාගේ ඇමැතියෙක් ව සිටියේය. බරණැස් රජ ස්වභාවයෙන්ම අලසයෙකි. බෝසත් ඇමැතිතුමා රජුගේ කුසීතකම, රජුට අවබෝධ කරවීම සඳහා උපායක් සොයමින් සිටියේය. මෙසේ කල්ගත වෙද්දී, කිසියම් දිනක රජතුමා ඇමැති ගණයා පිරිවරාගෙන උයනට පිවිස එහි සැරිසරමින් සිටින විට, ‘ගජකුම්භ’ යන නම් ඇති, එක් අලස පුද්ගලයකු දුටුවේය. ඔහු දුටු රජතුමා බෝසතුන් අමතා ‘මිත්රය, මේ කවරෙක්දැ’යි ඇසීය. බෝසත් තෙමේ ඊට පිළිතුරු දෙමින් ‘මහරජතුමනි, මොහු නමින් ගජකුම්භ නම් වූ අලස පුද්ගලයෙකි. මෙවැනි උදවිය මුළු දවසටම අඟලකට දෙකකට වඩා, දුර ගමන් නොකරති’යි, ප්රකාශ කෙළේය. අනතුරුව ගජකුම්භයා වෙතට හැරුණු බෝසත් තෙමේ, ඔහු සමග කතා කරමින් ‘පින්වත් ගජකුම්භය, ඔබ මෙසේ මෝඩයකු සේ ගාටමින් යනවිට, මේ කැලයෙහි ලැව්ගින්නක් ඇති වුවහොත් කුමක් කෙරෙහිදැ’යි විචාරමින් මේ ගාථාව කීය.
වනං යදග්ගි දහති - පාවකො කණ්හ වත්තනී,
කථ කරොස පචලක - එවං දන්ධ පරක්කමො
කථ කරොස පචලක - එවං දන්ධ පරක්කමො
අලසය, යම්විටක ‘පාවක’ නම් වූ ද ‘කෘෂ්ණ වර්තිනී’ නම් වූ ද ගින්න මේ වනය දවයිද? එවිට ගාටමින් යන නුඹට කුමක් සිදුවේද?
මෙහි ‘යදග්ගි’ යනු ‘යම් විටෙක ගින්නක්’ යන අර්ථයි. ‘පාවකො කණ්හ වත්තනී’ යනු ‘ගින්නට කියන තවත් නම් දෙකකි. ‘පචලකො’ යනු ‘එනම් අලසයා ඇමතීමයි. ඔහු වැනි වැනී ගමන් කරයි. නිතර නිදිකිරා වැටෙයි. ඒ නිසා ඔහුට ‘පචලක’ යැයි කියනු ලැබේ. ‘දන්ධපරක්කමො’ යනු ‘මද වීර්යය ඇති’ යන අර්ථයි.
ඒ ඇසූ ගජකුම්භයා මෙසේ කීවේය.
2. බොහෝ රුක් සිදුරු හා පොළෝ විවර ඇත, ඒවා තුළට පැන ගන්නට බැරි වුවහොත්, අපට මැරෙන්නට සිදුවේ.
‘පඬිතුමනි, අපට මීට වඩා වේගයෙන් ගමන් කළ නොහැකිය. මේ කැලයෙහි රුක් සිදුරු ද, පොළෝ විවරද, බොහෝකොට ඇත. අපි ඒවාට පිවිසෙමු. එය නොහැකි වුවහොත් මැරෙන්නට සිදුවේ.’
මේ ප්රකාශය අසා සිටි, බෝසත් තෙමේ මේ ගාථා දෙක කීවේය.
යො දන්ධකාලෙ තරතී - තරණීයෙච දන්ධතී,
සුකච පණ්ණව අක්කම්ම - අත්ථං භඤ්ජති අත්තතෙ
සුකච පණ්ණව අක්කම්ම - අත්ථං භඤ්ජති අත්තතෙ
යමෙක් සෙමින් කළ යුත්තක්, වේගයෙන් කෙරේද? වගා කළ යුත්තක්, සෙමින් කෙරේද? ඔහු වියල් කොළයක් මඬින්නාක් මෙන්, තම යහපත සිඳ දමයි.
යො දන්ධකාලෙ දන්ධෙති තරණීයෙච තාරයී,
සසීව රත්තිං විභජං තස්සත්ථො පරිපූරතීති
සසීව රත්තිං විභජං තස්සත්ථො පරිපූරතීති
යමෙක් සෙමින් කළයුත්ත, සෙමින් කෙරේද, වහා කළ යුත්ත, වහා කෙරේද? ඔහු රාත්රිය බෙදා දක්වන, චන්ද්රයා වැනිය. ඔහුගේ කටයුතු සාර්ථක වේ.
මෙහි ‘දන්ධකාලෙ’ යනු ‘යම් යම් කටයුතු සෙමින් කිරීමට සුදුසු කල්හි, වහ වහා ඉතා වේගයෙන් කෙරේ යන අදහසයි. ‘සුක්ඛපණ්ණා’ යනු ‘යම්සේ සුළඟින් හා අව්වෙන් වියලුනු තල්පතක්, ශක්තිමත් පුරුෂයෙක් පාගා සිඳින්නේද? සුණුවිසුණු කරන්නේද? එපරිද්දෙන් ඔහු, තමාගේ යහපත දියුණුව විනාශ කරයි’, යන අර්ථයි. ‘දන්ධෙති’ යනු ‘පමා වෙයි, පමාවට හේතුවන දෑ ම කෙරෙයි’, යන අර්ථයි. ‘තාරයි’ ‘ඉක්මණින් කළයුතු දෑ, වහා සිදු කෙරේ’, යන අර්ථයි. ‘සසීව රත්තිං විභජං’ යනු ‘යම්සේ සඳ පුරපස දී, රාත්රිය බබුළුවා, අවපස පළමු රාත්රියේ සිට, ආලෝකය අඩු කරමින් ගොස්, නැවත දවසින් දවස වැඩි කෙරේද? එසේ ඒ පුරුෂයාගේ දියුණුව වර්ධනය වේයැයි කියන ලදි’ යන අර්ථයි.
රජතුමා බෝසතුන්ගේ වචන අසා සිට, එතැන් පටන් අනලස්ව ක්රියා කරන්නට පුරුදු විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරදක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ගජකුම්භයා නම්, මේ අලස භික්ෂුවයි. පණ්ඩිත වූ ඇමැතිවරයා වූ කල” ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
6. කේසව ජාතකය (346)
‘මනුස්සින්දං ජහිත්වාන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, විශ්වාස කටයුතු භෝජනයක් අරබයා වදාළ සේක. අනේපිඬු සිටුතුමාගේ නිවසෙහි නිරතුරුව පන්සියයක් තෙරුන්ට දානය සැපයේ. එම නිවස සැමදා භික්ෂූන්ට පැන් පොකුණක් වැනිය. කසාවතින් බැබලුනි. සිල් සුවඳින් පිරී ගියේය. කිසියම් දිනෙක රටේ රජතුමා නුවර පැදකුණු කරමින් ඇවිදින විට, අනේපිඬු සිටුතුමාගේ නිවසේ භික්ෂූන් දැක, ‘මහ සඟනට දන් දිය යුතුයැ’යි සිතා, එදිනම විහාරයට ගොස්, බුදුරදුන් දැක වැඳ, පන්සියයක් මහ සඟනට දිනපතා දන් පිරිනැමීමට, නියම කර ගත්තේය. එතැන් පටන් රජගෙදර දානය දිනපතා පැවැත්තේය. දානයට පිරිනැමෙන බත වූ කලී ප්රණීත වූද වසර තුනක් පැරණි වූද, සුවඳ හැල් සාලෙන් සකසන ලද්දකි. එහෙත් රජගෙදර විශ්වාසයෙන් සෙනෙහසින් සියතින් දන් බෙදන්නෙක්, දායකයෙක් නැත. රජුගේ අණින් සේවකයෝ දන් බෙදති. එබැවින් භික්ෂූහු එහි හිඳ වළඳන්නට කැමැති නොවෙති. රජමැදුරෙන් විවිධ රසයෙන් යුතු දානය පිළිගෙන, තමතමන්ගේ හිතවත් දායක ගෙවල්වලට ගොස්, ඒ බත දායක ගෙදර අයට දී, ඒ දායකයන් විසින් දෙන ලද ආහාරය, කටුක වුවත් ප්රණීත වුවත් වළඳති.