4. අම්බචෝර ජාතකය (344)
‘යො නීලියං මණ්ඩයති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අඹ උයනක් රක්නා වූ එක් තෙර කෙනකුන් අරබයා වදාළ සේක. මහලු වියේදී පැවිදි වූ ඉහත කී තැනැත්තා දෙව්රම අසල වූ අඹ වනයක, පන්සලක් තනාගෙන වාසය කරයි. අඹගස් රැකීම, තම කාර්යය කොටගත් ඔහු, ඉදී වැටුණු අඹ, තෙමේ ම අනුභව කරන අතර, ඉඳහිට හිතවත් අයටද දෙයි. ඇතැම් අවස්ථාවකදී, තෙරුන් පිඬුසිඟා ගිය විටෙක, උයනට පැන ගන්නා සොරු අඹ කඩා කා තවත් කොටසක් පැහැරගෙන ද යති. එවන් අවස්ථාවක ‘අචිරවතී’ නදියෙිහ දිය නෑමට ගිය සිටු දියණිවරු සතර දෙනෙක්, ස්නානයෙන් අනතුරුව, ඒ මේ අත ඇවිදිමින්, අනුක්රමයෙන් ඉහත කී අඹවනයට පැමිණියහ. ඒ අතර පිඬු පිණිස ගොස් ආපසු පැමිණි මහලු භික්ෂුව උයනට වූ හදිය දැක, සිටු දියණිවරුන් දෙස බලා ‘තොප විසින් මාගේ අඹ කුමක් නිසා, විනාශ කරන ලද දැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන සිටුදියණිවරු, ‘ස්වාමීනි, අපි මේ දැන් මෙහි පැමිණියෙමු. ඔබතුමාගේ අඹවලට වගකිය යුත්තෝ අපි නොවෙමු’යි, කීහ. ‘එසේ නම් තොපට ඒ ගැන දිව්රිය හැකිද?’ ‘එසේය ස්වාමීනි, අපි ඔබගේ අඹ, නොගත් බවට දිවුරන්නෙමු’යි ඈලා කීහ. අනතුරුව තරුණියන් ලවා දිව්ර වූ, තෙර නම ඈලා ලජ්ජාවට පත්කොට, ඔවුන් උයනින් නෙරපා දැමීය. භික්ෂුවගේ මේ ක්රියාව ගැන ඇසූ, සෙසු භික්ෂූහු දම්සභාවේදී, ඒ සිද්ධිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ඔහු මෙවැන්නක් සිදුකළ, පළමු අවස්ථාව මෙය නොවේ, පෙර ද මෙසේ කෙළේයැ’යි වදාරා, මේ අතීත කථා වස්තුව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ සක් රජව උපන්නේය. එකල එක් කපටි ජටිලයෙක්, බරණැස් නුවර සමීපයෙහි නදියක් අසල, අඹ වනයක අසපුවක් සාදාගෙන, අඹ වනය රකිමින් වාසය කරයි. වැටුණු අඹ තෙමේ ම කන අතර, ඉඳහිට හිතවතුන්ටද දෙමින් නොයෙක් වැරදි දිවි පැවතුමින් කල්ගත කරයි. මෙකල එක් දිනක් ශක්රයා ‘ලෝකයේ මව්පියන්ට උවටැන් කරන්නෝ, වැඩිහිටියන්ට සලකන්නෝ, දන් දෙන්නෝ, සිල් රකින්නෝ, පෙහෙවස් සමාදන් වන්නෝ, පැවිදිව මහණදම් රකින්නෝ කවරහුද? අනාචාරයේ යෙදෙන්නෝ, කවරහුදැ’යි, ලොව විමසා බලනුයේ අඹ උයන රකින අනාචාරී වූ ඉහත කී ජටිලයා දැක, ‘මේ කූට ජටිලයා ‘කසිණ පරිකර්ම’ ආදී වූ ස්වකීය ශ්රමණ ධර්මයන් අමතක කොට, අඹ වනයක් රකිමින් කල්ගත කරයි. එබැවින් මොහු සංවේගයට පත් කරන්නෙමි’යි සිතා, ජටිලයා පිඬු පිණිස පිටත්ව යනු බලා, තම ආනුභාවයෙන් ගස්වල අඹ බිම හෙළා, සොරුන් පැහැර ගත්තාක් මෙන්, කොට පිටත්ව ගියේය.
එදින බරණැසින් නික්මුණු, සිටු දියණිවරු සිව්දෙනෙක් ඒ අඹවනයට ඇතුල් වූහ. පසුව උයනට පැමිණි කූට ජටිලයා ඔවුන් දැක ‘තොප විසින් මාගේ අඹ, පැහැරගෙන කන ලදැ’යි ඔවුන්ට කරදර කෙළේය. ‘ස්වාමීනි, අප ආවේ දැන්ය. අපි ඔබේ අඹ නොකෑවෙමු’ ‘එසේ නම් ඒ ගැන දිවුරවු. එසේ කළහොත්, තොපට මෙහෙන් යා හැකිය. නැතහොත්, ආපසු යන්නට නොලැබේ යැ’යි, ජටිලයා තරුණියන්ට තරවටු කෙළේය. දිවුරන්නට එකඟ වූ ඒ තරුණියන් අතුරෙන් පළමුවැන්නිය ‘ස්වාමීනි, එසේ යැ’යි ජටිලයාට පිළිවදන් දී, දිවුරා මේ ගාථාව කීවාය.
යො නීලියං මණ්ඩයති සණ්ඩාසෙන විහඤ්ඤති,
තස්ස සා වසමන්වෙතු, යා තෙ අම්බෙ අවාහරීති
තස්ස සා වසමන්වෙතු, යා තෙ අම්බෙ අවාහරීති
යම් තැනැත්තියක් ඔබේ අඹ පැහැර ගත්තා නම්, ඇය පැසුණු කෙස් කළුකරන, සුදු කෙස් අඩුවෙන් ගලවන මහල්ලකුට අයත් වේවා!
යො යම් පුරුෂයෙක් පැසුණු කෙස් කළු කරනු සඳහා, නීල ඵල යන නම් ඇති ගෙඩි ආදිය යොදා සාදා ගත්, කළුපාටින් කෙස් සරසා ද, නීලියං මණ්ඩති කළු පැහැති කෙස් අතර ඇති, උඩට නැගුණු සුදුකෙස් අඬුවකින් ගලවා, ඉවත් කිරීමට වෙහෙසේද, සණ්ඩාසෙන විහඤ්ඤති කරදර වේද? තස්ස එබඳු වූ මහල්ලකුගේ වසඟයට සාවසමත්වෙති ඇය පත්වේවා! ඔබේ අඹ සොරා ගත් තැනැත්තියට, එවැනි සැමියකු ලභතු යා තෙ අම්බෙ අවාහරී ලැබේවා! යන අදහසයි.
තවුසා පළමුවැන්නිය පැත්තකට කොට, දෙවැන්නිය ලවා ශපථ කරවීය. ඇය දිවුරමින් මෙසේ කීවාය.
වීසං වා පඤ්ච වීසං වා - ඌනතිං සංව ජාතියා,
තාදිසා පතිමා ලද්ධා - යා තෙ අම්බෙ අවාහරී
තාදිසා පතිමා ලද්ධා - යා තෙ අම්බෙ අවාහරී
යම් තැනැත්තියක් ඔබේ අඹ සොරකම් කළා නම්, ඒ තැනැත්තියගේ උපතින් විසි වයස් හෝ, පන්විසි වයස් හෝ, තිහට අඩු හෝ සැමියකු ලබාවා!
ස්ත්රීහු නම්, පසළොස්-සොළොස් වියේදී පුරුෂයන්ට ප්රිය වෙති. යාව යම් තැනැත්තියක් ඔබේ අඹ අවාහරිං පැහැර ගත්තා නම්, ඇය එබඳු යොවුන් වියේදී සැමියකු නො ලබා, ජාතියා වීසංවා පඤ්චවීසංවා උපතින් වසර විස්සක් හෝ විසිපහක් හෝ ඌනතිංසංවා තිහට එකකින් දෙකකින් අඩු හෝ වයසට පත්වුවද, තාදිසා එනම් වයස් ගතවීත් පතිමා ලද්ධා සැමියකු නො ලබාවා! යන අර්ථයි.