3. කුන්තිනී ජාතකය (343)
‘අවසිම්හා තවාගාරෙ’ යන මේ ගාථා කොටස අයත් මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, කොසොල් රජතුමාගේ මාලිගාවේ විසූ කොස්වාලිහිණි කිරිල්ලක අරබයා වදාළ සේක. රජතුමාගේ දූත මෙහෙවරෙහි යෙදුණු මේ කිරිල්ලට, පැටවු දෙදෙනෙක්ද වූහ. දිනක් රජතුමා ඇය කිසියම් දූත ගමනක පිටත්කොට යැවීය. ඇය මැදුරෙන් නික්මුණු කල්හි, රාජ කුමාරවරු කුරුලු පැටවුන් සමග සෙල්ලම් කොට, අත්වලින් මිරිකනු ලැබීමෙන් උන් දෙදෙනා මරණයට පත් කළහ. ආපසු පැමිණි කිරිල්ල, මළ පැටවුන් දැක ‘මාගේ පුතුන් මැරුවේ කවුදැ’යි ඇසුවාය. එහි සිටි අය ඇයට සියලු විස්තර කීහ. මේ රජමැදුරෙහි කණුවෙක බැඳ ඇතිදැඩි කරන ඉතා දරුණු බිහිසුණු ව්‍යාඝ්‍රයෙක් සිටියේය. කිසියම් දිනෙක කුඩා රාජ කුමාරවරු, ඉහත කී ව්‍යාඝ්‍රයා බැලීම සඳහා ඌ වෙත ගියහ. ඒ දුටු කිරිල්ල ‘මාගේ දරුවන් මැරූ පලිය මම මොවුන්ගෙන්, ඒ අයුරෙන්ම ගන්නෙමැ’යි තරව අදිටන් කොටගෙන, රාජ කුමාරවරුන් ව්යාඝ්රයාගේ පාමුලටම කැඳවාගෙන ගියාය. ව්‍යාඝ්‍රයා තමා වෙත පැමිණි දරුවන් ලේ පෙරමින් කා දැමුවේය. එය බලා සිටි කිරිල්ල, සිය අදහස ඉටුවීමෙන් මහත් සතුටට පත්ව, වහා හිමවතට පලා ගියාය. මේ කාරණය දැනගත් භික්ෂූහු, ඒ ගැන දම් සභාවේදී සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ එම තොරතුරු භික්ෂූන්ගෙන් විමසා දැන, ‘මහණෙනි, මේ කිරිල්ල දැන් පමණක් නොවි පෙරද, මේ වැනි දෑ කළා යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර, අප බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද, දැහැමින් සෙමෙන් රාජ්‍යය කෙළේය. මේ රජතුමාට ද දූත මෙහෙවර කරන කොස්වාලිහිණි කිරිල්ලක් වූවාය. ඉතිරි සියලු විස්තර වර්තමාන කථා පුවතට සමානය. මේ අතීත කථාවේ ඇති විශේෂත්වය නම්, රාජ කුමාරවරුන් ව්‍යාඝ්‍රයා ලවා මැරවූ කිරිල්ල ‘රාජ කුමාරවරුන් මරණයට පත්කළ පසු මට තවදුරටත් මෙහි වාසය කරන්නට නොහැකිය. එබැවින් රජුටද නොදන්වා, හොර රහසේම මාලිගයෙන් පිට වන්නෙමි’යි, තීරණය කළාය. නැවත සිය අදහස වෙනස් කොටගෙන, රජතුමා වෙත එළඹ, එකත්පසෙක හිඳගත්, කිරිල්ල ‘ස්වාමීනි, ඔබතුමාගේ නොසැලකිල්ල නිසා, රාජකුමාරවරු මාගේ දරුවන් විනාශ කළහ. එයින් කෝපයට පත් මම, පලිගැනීම එම පිළියම ලෙස සිතා, ඔබේ දරුවන් මරණයට පත් කළෙමි. දැන් මට තවදුරටත් මෙහි වසන්නට සිත් නොදේ යැ’යි, මේ ගාථාව කීවාය.
අවසිම්හා නවාගාරෙ - නිච්චං සක්කත පූජිතා,
ත්වමෙවදානිමකරි - හන්ද රාජ වජාමහංනති
ත්වමෙවදානිමකරි - හන්ද රාජ වජාමහංනති
රජතුමනි, අපි ඔබතුමාගේ රජ මැදුරෙහි, නිරතුරු පූජා සත්කාර ලබා විසුවෙමු. එහෙත් මම දැන්, මින් පිටත්ව යමි. මේ තත්ත්වය ඇති කෙළේ ඔබමය.
මෙහි ‘ත්වමෙවදානිමකරි’ යනු ‘හසුනක් දී මා පිටත් කොට යවා, සිය පමාව නිසා, මාගේ දරුවන් රැකදීමට නොහැකි වීමෙන්, දැන් මාගේ මේ ගමනට මග පෑදුවේ, ඔබමය’, යන අර්ථයි. ‘හන්ද’ යනු ‘ඒකාන්ත අර්ථයේ නිපාතයකි. ‘රාජා’ යනු බෝසතුන් ඇමතීමයි. ‘වජාමහං’ යනු ‘මම හිමවතට යමි’ යන අර්ථයි.
ඇයගේ ඒ අදහස අසා සිටි, රජතුමා මේ ගාථාව කීය.
2. යමෙක් ඒකාන්තයෙන් තමාට කළ නපුරට, පෙරළා නපුරක් කළ කල්හි, මෙසේ ඒ වෛරය සංසිඳේ. (එබැවින්) කිරිල්ල, නුඹ නො යව, (මෙහිම) වසව.
යො යම් පුද්ගලයෙක් අනුන් කළ නපුර, කතකිබ්බිසෙ එනම් සිය දරුවන් මැරීම ආදී වූ දරුණු ක්‍රියා කළ පසු, නැවත තමා විසින් ඒ පුද්ගලයාට පෙරළා, පටිකිතෙපටිකිබ්බසෙ එවැනිම නපුරක් කළ කල්හි, ‘මා විසින් පලිගන්නා ලදැ’යි, ඔහු දනී. එවන්තං සම්මති වෙරං එවිට ඒ වෛරය සංසිඳේ. මෙපමණකින්ම ඒ වෛරය සංසිඳුනා වේ. වසකුන්තිනි මාගමා එබැවින් කිරිල්ල, නුඹ නොයනු, මෙහිම වසව, යන අදහසයි.
ඒ අසා කිරිල්ල, මේ තෙවැනි ගාථාව කීවාය.
න කතස්සච කත්තාච - මෙත්ති සන්ධීයතෙපුන,
හදයං නානා ජානාති - ගච්ඡඤ්ඤෙව රථෙසභා
හදයං නානා ජානාති - ගච්ඡඤ්ඤෙව රථෙසභා
රජතුමනි, නපුර කළ තැනැත්තාගේත්, ඊට පළිගත් තැනැත්තාගේත් නැවත මෛත්‍රියක් ඇති නොවේ, හදවත ද ඊට ඉඩ නොදේ, එබැවින් ස්ථිරවම යමි.
මෙහි ‘න කතස්ස ච කත්තා ච’ යනු ‘අවැඩ කළ, යහපත මැඩ පැවැත්වූ, පීඩා කළ පුද්ගලයාගේ ද, යන අදහස මෙහිදී විභක්තියෙන් අර්ථවත් කොට, යමෙක් පෙරළා පළිගත්තේද? ඒ ඔහුගේ ද යන මේ පුද්ගලයන් දෙදෙනාගේ, නැවත මිත්රභාවයක් නම් ඇති නොවේ. නො පෑහේ යන අර්ථයි. ‘හදයං නානුජානාති’ යනු ‘ඒ කාරණය නිසා මෙහි විසීමට මාගේ හදවත ඉඩ නො දේ’ යන අර්ථයි. ‘ගච්ඡඤ්ඤෙව රථෙසභ’ යනු ‘රජතුමනි, එම නිසා මම, ස්ථිරවම යන්නෙමි’ යන අර්ථයි.
කිරිල්ලගේ තීරණය ඇසූ රජතුමා, මේ ගාථාව කීයේය.
කතස්ස චෙව කත්තාව - මෙත්ති සන්ධීයතෙපුන,
ධීරානං නො ච බාලානං - වස කුන්තිනි මාගමා
ධීරානං නො ච බාලානං - වස කුන්තිනි මාගමා
යමක් කළ තැනැත්තාගේ ද, ඊට පෙරළා කටයුතු කළ තැනැත්තාගේ ද, මෛත්‍රිය (බිඳුනත්) නැවත පෑහේ. ඒ උතුමන් අතරේ මිස, බාලයන් අතර නොවේ. එබැවින් කිරිල්ල, නොයනු, (මෙහිම) වසව.
කතස්සංචව යමක් කළ තැනැත්තාගේද, ඊට විරුද්ධව වැඩ කළ තැනැත්තාගේද, මෙත්ති සන්ධීයතෙ පුන මෛත්‍රිය නැවත වැඩේ. පෑහේ. ධීරානං නොච බාලානං ඒ උතුමන් අතරේ මිස, බාලයන් අතරේ නොවේ. උතුමන්ගේ මිතුරු බව බිඳුනත් නැවත පෑහේ. බාලයන් අතර එක් වරක් බිඳුණු මිතුරුදම බිඳුණාම වේ. වස කුන්තිනි මාගමා එබැවින් කිරිල්ල, නොයනු, මෙහිම වසව යන තේරුමයි.
රජතුමාගේ ඉල්ලීමට පිළිතුරු දෙන කිරිල්ල ‘රජතුමනි, ඔබ කී දේ සත්‍යය වුවත්, මට මෙහි විසීමට සිත් නොදේ යැ’යි, කියා රජුට නමස්කාර කොට, අහසට පැන හිමාලය වෙත පියඹා ගියාය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාරා, එකල ලිහිණි කිරිල්ල නම්, මෙකල ලිහිණි කිරිල්ල ම බවත්, බරණැස් රජතුමා වූ කලී, ‘මම ම වීමි’යි ද වදාළ සේක.
4. අම්බචෝර ජාතකය (344)
‘යො නීලියං මණ්ඩයති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අඹ උයනක් රක්නා වූ එක් තෙර කෙනකුන් අරබයා වදාළ සේක. මහලු වියේදී පැවිදි වූ ඉහත කී තැනැත්තා දෙව්රම අසල වූ අඹ වනයක, පන්සලක් තනාගෙන වාසය කරයි. අඹගස් රැකීම, තම කාර්යය කොටගත් ඔහු, ඉදී වැටුණු අඹ, තෙමේ ම අනුභව කරන අතර, ඉඳහිට හිතවත් අයටද දෙයි. ඇතැම් අවස්ථාවකදී, තෙරුන් පිඬුසිඟා ගිය විටෙක, උයනට පැන ගන්නා සොරු අඹ කඩා කා තවත් කොටසක් පැහැරගෙන ද යති. එවන් අවස්ථාවක ‘අචිරවතී’ නදියෙිහ දිය නෑමට ගිය සිටු දියණිවරු සතර දෙනෙක්, ස්නානයෙන් අනතුරුව, ඒ මේ අත ඇවිදිමින්, අනුක්රමයෙන් ඉහත කී අඹවනයට පැමිණියහ. ඒ අතර පිඬු පිණිස ගොස් ආපසු පැමිණි මහලු භික්ෂුව උයනට වූ හදිය දැක, සිටු දියණිවරුන් දෙස බලා ‘තොප විසින් මාගේ අඹ කුමක් නිසා, විනාශ කරන ලද දැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන සිටුදියණිවරු, ‘ස්වාමීනි, අපි මේ දැන් මෙහි පැමිණියෙමු. ඔබතුමාගේ අඹවලට වගකිය යුත්තෝ අපි නොවෙමු’යි, කීහ. ‘එසේ නම් තොපට ඒ ගැන දිව්රිය හැකිද?’ ‘එසේය ස්වාමීනි, අපි ඔබගේ අඹ, නොගත් බවට දිවුරන්නෙමු’යි ඈලා කීහ. අනතුරුව තරුණියන් ලවා දිව්ර වූ, තෙර නම ඈලා ලජ්ජාවට පත්කොට, ඔවුන් උයනින් නෙරපා දැමීය. භික්ෂුවගේ මේ ක්‍රියාව ගැන ඇසූ, සෙසු භික්ෂූහු දම්සභාවේදී, ඒ සිද්ධිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ඔහු මෙවැන්නක් සිදුකළ, පළමු අවස්ථාව මෙය නොවේ, පෙර ද මෙසේ කෙළේයැ’යි වදාරා, මේ අතීත කථා වස්තුව දේශනා කළ සේක.