2. වානර ජාතකය (342)
‘අසක්ඛිං වත අත්තානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, වධහිංසාවකට උත්සාහ දැරූ දෙව්දතුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර විස්තර කරන ලදි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ හිමාල වනයෙහි වඳුරු කුලයක ඉපිද නිසිවියට පත්ව නදියක් සමීපයෙහි වාසය කරයි. මේ නදියෙහි එක්තරා කිඹුලෙක් සිය බිරිය වන කිඹුලිය සමග ජීවත් වෙයි. ගැබ්බර ව හුන් කිඹුලියට නදිය අසල ජීවත්වන වඳුරාගේ හදවත කන්නට දොළදුකක් ඇතිවිය. ඇය ඒ බව සිය සැමියා වන, කිඹුලාට කීවාය. වඳුරා මරා හදවතේ මස් උපුටා සිය බිරියට දීමට ඉටා ගත් කිඹුලා ඊට උපායක් කල්පනා කොට බලා, බෝසත් වඳුරා වෙත ගොස්, ඔහුට කථාකොට ‘මිත්රය, මෙහි එනු මැනවි. මේ ගඟට මැදි වූ දූපතක් ඇත. එහි බොහෝ අඹගස් ඇත. එබැවින් ඇති පදම් අඹ කෑ හැකි යැ’යි කීය. එවිට වඳුරා ‘හිතවත, කැමැත්ත ඇති නමුත්, මම එහි කෙසේ නම් යන්නෙම්දැ’යි ඇසීය. ‘මම මගේ පිට උඩ, නුඹ හිඳුවා ගෙන, එහි ගෙන යන්නෙමි’යි කියා කිඹුලා, තම මිතුරා ඊට එකඟ කර ගත්තේය. කිඹුලාගේ සිතේ වූ නපුරු අදහස් ගැන කිසිත් නොදත් අසරණ වඳුරා, එක්විටම කිඹුලාගේ පිටට පැන, හරි-බැරි ගැසී හිඳ ගත්තේය. වඳුරා පිට තබාගෙන ඉදිරියට පීනා ගිය කිඹුලා මඳ දුරක් ගොස්, ක්රමයෙන් වතුරෙහි ගිලෙන්නට පටන් ගත්තේය. ඉන් කලබලයට පත්වූ වඳුරා, ‘පින්වත, මේ කිමද? නුඹ දියේ ගිලෙන්නේ ඇයිදැ’යි ඇසුවේය. ‘මම තා මරා තගේ හද මස් ගෙන, මගේ බිරියට කන්නට දෙන්නෙමි, තා රැගෙන යන්නේ ඒකටය.’ ‘මෝඩ කිඹුලෝ, මගේ හද මස් ඇත්තේ පපුව තුළ යැ’යි නුඹ සිතහිද?’ ‘වඳුරාණෙනි, එසේ වී නම්, එය ඇත්තේ කොතනද?’ ‘අර පෙනෙන උදුම්බර ගසේ එල්ලෙන මගේ හදවත නුඹට නො පෙනේද?’ ‘ඇත්තයි, මට මැනවින් පෙනේ, ඉතින් එය මට දෙන්නෙහිද?’ ‘එසේය, මම එය නුඹට දෙමි’යි වඳුරා කීය. මේ ඇසූ මෝඩ කිඹුලා වඳුරා පිට තබාගෙන ගොස් නදියේ ඉවුර බස්සවා, ඌත් කැටුව ඉහත කී රුක මුලට ගියේය. බෝසත් තෙමේ වහා ගස උඩට නැගගෙන, මෙසේ කීය.
අසක්ඛිං වත අත්තානං උද්ධාතුං උදකා ථලං,
නදානාහං පුන තුය්හං වසං ගච්ඡාමි වාරිජ
නදානාහං පුන තුය්හං වසං ගච්ඡාමි වාරිජ
කිඹුලාණෙනි, ඒකාන්තයෙන් මම වතුරෙන් ගොඩට පැන ගන්නට සමත් වීමි. දැන් මම නැවත නුඹට හසු නොවෙමි.
2. ගඟෙන් එතෙර ඇති අඹ-දඹ-පනා (කොස්) යන මේවායින් වැඩක් නැත. මේ දිඹුල් ගෙඩි මට උතුම්ය.
3. යමෙක් ඉදිරිපත් වූ කාරණා වහා හඳුනා නොගනීද? ඔහු සතුරන් අතට පත්වේ. අනතුරුව පසුතැවිලි වේ.
4. යමෙක් ඉදිරිපත් වූ කාරණා වහා හඳුනා ගනීද? ඔහු සතුරු උවදුරින් මිදේ. පසුතැවිලි ද නොවේ.
මෙහි ‘අසක්ඛිංවත’ යනු ‘ඒකාන්තයෙන් සමතෙක් වීමි’, යන අර්ථයි. ‘උද්ධාතුං’ යනු ‘පැන ගන්නට’ යන අර්ථයි. ‘වාරිජ’ යනු ‘කිඹුලාට ආමන්ත්රණය කිරීමයි. ‘යානි පාරං සමුද්දස්ස’ යන මෙහි ‘සමුද්ද’ නාමයෙන් දක්වා ඇත්තේ නදියයි. යම් නදියක එතෙරට ගොස් කෑ යුතු ගෙඩිවලින්, ප්රයෝජනයක් නැතැ’යි කියයි. ‘පච්ඡා ච අනුතප්පති’ යනු ‘ඉදිරිපත් වූ කරුණු වහා තේරුම් නො ගන්නා, සතුරන් අතට පත් වෙයි. අනතුරුව පසුතැවිලි වේ’ යන අර්ථයි.
මෙසේ ඒ වඳුරා ගාථා හතරකින් ගැටළුවක් ඇති වූ විට කටයුතු සිදුකළ යුතු ආකාරය කියා, වනලැහැබට පැන ගත්තේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කිඹුලා නම්, දේවදත්තයාය. වඳුරා වූ කලී ‘මම ම වීමි’ යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
3. කුන්තිනී ජාතකය (343)
‘අවසිම්හා තවාගාරෙ’ යන මේ ගාථා කොටස අයත් මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, කොසොල් රජතුමාගේ මාලිගාවේ විසූ කොස්වාලිහිණි කිරිල්ලක අරබයා වදාළ සේක. රජතුමාගේ දූත මෙහෙවරෙහි යෙදුණු මේ කිරිල්ලට, පැටවු දෙදෙනෙක්ද වූහ. දිනක් රජතුමා ඇය කිසියම් දූත ගමනක පිටත්කොට යැවීය. ඇය මැදුරෙන් නික්මුණු කල්හි, රාජ කුමාරවරු කුරුලු පැටවුන් සමග සෙල්ලම් කොට, අත්වලින් මිරිකනු ලැබීමෙන් උන් දෙදෙනා මරණයට පත් කළහ. ආපසු පැමිණි කිරිල්ල, මළ පැටවුන් දැක ‘මාගේ පුතුන් මැරුවේ කවුදැ’යි ඇසුවාය. එහි සිටි අය ඇයට සියලු විස්තර කීහ. මේ රජමැදුරෙහි කණුවෙක බැඳ ඇතිදැඩි කරන ඉතා දරුණු බිහිසුණු ව්යාඝ්රයෙක් සිටියේය. කිසියම් දිනෙක කුඩා රාජ කුමාරවරු, ඉහත කී ව්යාඝ්රයා බැලීම සඳහා ඌ වෙත ගියහ. ඒ දුටු කිරිල්ල ‘මාගේ දරුවන් මැරූ පලිය මම මොවුන්ගෙන්, ඒ අයුරෙන්ම ගන්නෙමැ’යි තරව අදිටන් කොටගෙන, රාජ කුමාරවරුන් ව්යාඝ්රයාගේ පාමුලටම කැඳවාගෙන ගියාය. ව්යාඝ්රයා තමා වෙත පැමිණි දරුවන් ලේ පෙරමින් කා දැමුවේය. එය බලා සිටි කිරිල්ල, සිය අදහස ඉටුවීමෙන් මහත් සතුටට පත්ව, වහා හිමවතට පලා ගියාය. මේ කාරණය දැනගත් භික්ෂූහු, ඒ ගැන දම් සභාවේදී සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ එම තොරතුරු භික්ෂූන්ගෙන් විමසා දැන, ‘මහණෙනි, මේ කිරිල්ල දැන් පමණක් නොවි පෙරද, මේ වැනි දෑ කළා යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර, අප බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද, දැහැමින් සෙමෙන් රාජ්යය කෙළේය. මේ රජතුමාට ද දූත මෙහෙවර කරන කොස්වාලිහිණි කිරිල්ලක් වූවාය. ඉතිරි සියලු විස්තර වර්තමාන කථා පුවතට සමානය. මේ අතීත කථාවේ ඇති විශේෂත්වය නම්, රාජ කුමාරවරුන් ව්යාඝ්රයා ලවා මැරවූ කිරිල්ල ‘රාජ කුමාරවරුන් මරණයට පත්කළ පසු මට තවදුරටත් මෙහි වාසය කරන්නට නොහැකිය. එබැවින් රජුටද නොදන්වා, හොර රහසේම මාලිගයෙන් පිට වන්නෙමි’යි, තීරණය කළාය. නැවත සිය අදහස වෙනස් කොටගෙන, රජතුමා වෙත එළඹ, එකත්පසෙක හිඳගත්, කිරිල්ල ‘ස්වාමීනි, ඔබතුමාගේ නොසැලකිල්ල නිසා, රාජකුමාරවරු මාගේ දරුවන් විනාශ කළහ. එයින් කෝපයට පත් මම, පලිගැනීම එම පිළියම ලෙස සිතා, ඔබේ දරුවන් මරණයට පත් කළෙමි. දැන් මට තවදුරටත් මෙහි වසන්නට සිත් නොදේ යැ’යි, මේ ගාථාව කීවාය.