9. බාවෙරු ජාතකය (339)
‘අදස්සනෙන මොරස්ස’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයන් අරබයා වදාළ සේක. බුදුරදුන් පහළවීමට පෙර තීර්ථකයන්ට ලාභ සත්කාරවලින් හිඟයක් නොවීය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයෝ හිරු අබියස කදෝපැනියන් වැනි වූහ. දිනක් භික්ෂූහු දම්සභා මණ්ඩපයේදී මේ ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ගුණවතුන් නැති තැන ගුණ රහිත උදවිය ලාභසත්කාර ලබති. ගුණවතුන් පැමිණි කල්හි, එතෙක් ලැබූ ලාභසත්කාරයෙන් ඔවුහු පිරිහෙති’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ මොණර ජාතියෙහි ඉපිද, තරුණ වයසට එළඹ දුටුවන් පහදවන රූප ශෝභාවකින් යුතුව, වනයේ කෙළිදෙලෙන් වාසය කරයි. මෙකල කිසියම් වෙළෙඳ පිරිසක් ‘දිසා කපුටකු’ ද ගෙන නැවක නැගී ‘බැවේරියා’ රටට වෙළෙඳාමේ ගියහ. (නැවක් දිසාව සොයාගත නොහැකිව අතරමං වූ විට, කුරුල්ලකු මුදා හැරීම සිදු කෙරේ. කුරුල්ලා ඉහළ අහසට නැගී, අවට නිරීක්ෂණය කොට බලා, ගොඩබිමක් පෙනේ නම්, ඒ දෙසට පියඹා යයි. ගොඩබමික් දක්නට නොමැති කල්හි, නැවත නැවටම පැමිණෙයි. දිසාව සොයා ගැනීමට යොදා ගන්නා පක්ෂියා කපුටෙක් වී නම්, ඌට ‘දිසා කපුටා’ යැයි කියනු ලැබේ. මෙකල බැවේරියාවේ කුරුල්ලන් නැත. නැවත බැවේරියාවට පැමිණි කල්හි, දසතින් වෙළෙන්දෝ එතැනට රැස්වූහ. පැමිණි පැමිණි උදවිය කූඩුවේ සිටි කපුටා දැක, ‘හිතවතුනි, කූඩුවේ සිටින මේ සතා දෙස බලවු. උගේ ඇඟ පැහැපත්ය. ගෙල කෙළවර හොටකි. ඇස්දෙක මැණික් යුගලයක් වැනි යැ’යි කපුටා ගැනම වර්ණනා කරන්නට පටන් ගත්හ. අනතුරුව නැවේ සිටි වෙළෙන්දන් හමුවට ගිය ඔවුහු ‘මහත්වරුනි, අපට මේ කුරුල්ලා දෙනු මැනවි. මූ අපට ප්රයෝජනවත්ය. ඔබට වෙනත් එකෙකු ඔබගේ රටින් සොයාගත හැකි නොවේදැ’යි කීහ. එවිට වෙළෙන්දෝ ‘අපට මුදල් ගෙවන්නේ නම්, කපුටා දෙන්නෙමු’යි කීහ. මුදල් දී කපුටා ලබා ගැනීමට තීරණය කළ, නුවරවැසියෝ කහවනු පහකට කපුටා ඉල්ලූ නමුත්, වෙළෙඳුන් ඊට අකැමති වූ බැවින්, අනුක්රමයෙන් ගණන වැඩිකොට, කහවණු සියයක් ගෙවා කපුටා ලබාගෙන, ‘මූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් සතෙකි. එබැවින් මේ ගනුදෙනුව අප දෙගොල්ලන්ගේම මිත්‍රත්වයට හේතු වන්නකි’යි ස්තුති මුඛයෙන් පැවසූහ. ඉක්බිති කපුටා මිලදී ගත් රටවැස්සෝ, ඌ රන් කූඩුවක දමා නන් වැදෑරුම් මස් මාංසයන්ගෙන් ද, විවිධ පලතුරුවලින් ද, පෝෂණය කළහ. මෙසේ වෙනත් කුරුල්ලන් නොමැති රටේ, දශවිධ අසත්ධර්මයන්ගෙන් යුතු කපුටා ලාභසත්කාරයට පාත්‍ර විය.
ඊළඟ වතාවේ බැවේරියාවට වෙළෙන්දෝ පැමිණෙද්දී, බෝසත් මොණර රාජයා ද කැටුව ආහ. අසුර ගසන කල්හි හඬලන්නටත්, අත්පොළසන් දෙන විට නටන්නටත්, මේ මොණරා පුරුදුව සිටියේය. නැව රටට පැමිණි කල්හි, මහජනයා නැව අවට රැස්විය. මොණරා නැව් තට්ටුවේ ඉදිරි කෙළවරේ සිට පියාපත් විදහා, මිහිරි හඬින් නාද කරමින්, නටන්නට පටන් ගත්තේය. නුවරවැස්සෝ ඒ දැක, අතිශයින් සතුටට පැමිණ, ‘මහත්වරුනි, හැම අතින්ම පියකරු වූ, මැනවින් හික්මවන ලද, මේ පක්ෂි රාජයා අපට දෙනු මැනවැ’යි ආයාචනා කළහ. වෙළෙන්දෝ ඊට පිළිතුරු දෙමින්, ‘අපි මීට පෙර අවස්ථාවේ දී, කපුටකු ගෙනාවෙමු. නුඹලාට ඌ අත්‍යවශ්‍ය විය. මෙවර මොණර රාජයකු ගෙනාවෙමු. ඌ ද ඕනෑ කරන බව, දැන් දැන් පෙනී යයි. නුඹලාගේ රටට කුරුල්ලකු නම්, ගෙන එන්නට හැටියක් නැතැ’යි, අමනාපයෙන් මෙන් පැවසූහ. ඒ අසා සිටි රටවැස්සෝ, වෙළෙඳුන් අමතා, ‘මහත්වරුනි, එසේ නො කියනු මැනවි. නුඹලාට නුඹලාගේ රටේ දී, මෙවැනි වෙනත් කුරුල්ලකු අල්ලාගැනීම, අපහසු නොවන්නාක් බව අපි දනිමු. එසේ හෙයින් මුදල් ගෙන මේ මොණර රාජයා අපට දෙනු මැනවැ’යි කියා, ක්‍රමයෙන් ගණන වැඩි කරමින් ගොස්, කහවණු දහසකට මොණරා මිලදී ගත්හ. සතුටට පත් මිනිස්සු සත්රුවනින් අලංකාරවත්ව විසිතුරු කරන ලද කූඩුවක, මොණරා දමා මස්මාංශ, පළතුරු, මීපිඬු, හකුරු පැන් ආදියෙන් ඌ පෝෂණය කළහ. මෙසේ බැවේරියාවට පැමිණිදා පටන් මොණරාට කිසිවකින් අඩුපාඩුවක් නොවීය. නමුත් එදා පටන් කපුටා ලාභ සත්කාරයෙන්, පිරිහෙන්නට පටන් ගත්තේය. දැන් ඌ දෙස බලන කෙනෙක්වත් නැත. සමහරු කපුටා දැකීම ද අප්‍රිය කෙරෙති. මෙසේ කෑමෙන් බීමෙන් හිඟ පාඩුකම් ඇතිවූ කපුටා, කෑගසමින් පියඹා ගොස් කාන්තාර භූමියකට සේන්දු විය.
බුදුරජාණන් වහන්සේ මේ කථා වස්තුව මෙසේ දේශනා කොට, මේ ගාථා ද වදාළ සේක.
අදස්සනෙන මොරස්ස - සිඛිනො මඤ්ජු භාණිනො,
කාකං තත්ථ අපුජෙසුං - මංසෙන ච ඵලෙනච
කාකං තත්ථ අපුජෙසුං - මංසෙන ච ඵලෙනච
හිස මත ශිඛාවක් ඇති, මිහිරි නාද ඇති, මොණරකු නො දුටු අය, මස්වලින් හා පලවැලින් කපුටකු පිදූහ.
යදාච සර සම්පන්නො - මොරො බාවෙරු මාගමා,
අථ ලාභොච සක්කාරො - වායසස්ස අභායථ
අථ ලාභොච සක්කාරො - වායසස්ස අභායථ
යම්දිනෙක මිහිරි නද ඇති, මොණරෙක් බැවේරියාවට ගියේද? එකල්හි ලාභ සත්කාරයෙන් කපුටා පිරිහුණි.
යාව නූපජ්ජති බුද්ධො - ධම්මරාජා පභංකරො,
තාව අඤ්ඤෙ අපූජෙසුං - පුථු සමණ බ්රාහ්මණො
තාව අඤ්ඤෙ අපූජෙසුං - පුථු සමණ බ්රාහ්මණො
ධර්මරාජ වූ ලොව බබුලුවන බුදුරජු පහළවීමට පෙර, වෙනත් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පිදුම් ලැබූහ.
යදා ච සර සම්පන්නො - බුද්ධොධම්මං අදෙසයී,
අථ ලාභොච සක්කාරො - තිත්ථියානං අභායථා
අථ ලාභොච සක්කාරො - තිත්ථියානං අභායථා
බ්රහ්මස්වර ඇති, බුදුරජාණන් වහන්සේ යම්කලෙක දහම් දෙසූ සේක්ද? එකල්හි තීර්ථකයන්ගේ ලාභ සත්කාරයෙන් පිරිහුණි.
මෙහි ‘සිඛිනො’ යනු ‘ශිඛාවෙන් යුත්’ යන අර්ථයි. ‘මඤ්ජුභාණිනො’ යනු ‘මධුර ස්වර ඇති’, යන අර්ථයි. ‘අපූජෙසු’ යනු ‘පිදූහ’ යන අර්ථයි. ‘ඵලෙන ච’ යනු ‘නොයෙක් පලවැලෙන්’ යන අර්ථයි. ‘බාවෙරුමාගමා’ යනු ‘බැවේරියාවට ආවේය’ යන අර්ථයි. ‘පාවෙරු’ යනු ද පාඨයකි. ‘අභායථ’ යනු ‘පිරිහුණි’ යන අර්ථයි. ‘ධම්ම රාජා’ යනු ‘නව ලොව්තුරු දහමින් ලොව රංජනය කරන බැවින්, ධර්මරාජ නම් වූ’ යන අර්ථයි. ‘පභංකරො’ යනු ‘සත්වලෝක හා අවකාශ ලෝක යන ලෝකයන් ආලෝකමත් කළ බැවින් ‘පභංකර’ නම් වේ යන අර්ථයි. ‘සරසමපන්නො’ යනු ‘බ්‍රහ්ම ස්වරයෙන් යුතු’ යන අර්ථයි. ‘ධම්මං අදෙසයි’ යනු ‘චතුරාර්ය සත්‍යය දේශනා කෙළේය යන අර්ථයි.
බුදුරජාණන් වහන්සේ, මෙසේ මේ ගාථා සතර දේශනා කොට, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කපුටා නම්, නිගණ්ඨනාථ පුත්‍රයාය. මොණර රාජයා වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
10. විසය්හ ජාතකය (340)
‘අදාසි දානානි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ඛදිරංගාර’ ජාතකයෙහි දක්වන ලදි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා අමතා ‘ගෘහපතිය, අහසේ හිඳිමින් දන්දීම වළක්වන සක්දෙව් රජු පවා ගණන් නොගෙන, පෙර පඬිවරු දන්දීම නොකඩවා කළහ’යි පවසා, සිටුතුමාගේ අයැදුමින් මේ අතීත කථා පුවත වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ අසූකෙළක් ධනය ඇති, ‘විසය්හ’ නම් සිටුවරයා ව උපන්නේය. නිති පන්සිල්හි පිහිටා කටයුතු කරන, ඔහු දන් දීමෙහි වෙසෙසින් ඇලී කල්ගෙවයි. එතුමා විසින් ඉදිකරවන ලද දානශාලා, නුවර වාසල් දොරටු සතරේ ද, නගරය මැද ද, තම මැදුර ඉදිරිපිට දැයි මෙසේ ස්ථාන හයක ක්‍රියාත්මක විය. මේ දන්සැල්වල දිනපතා යාචකාදීන්ට මහදන් පැවැත්වේ. එක් දන්සැලකට එක්දිනෙක වැයවන මුදල කහවණු ලක්ෂ හයකි. දන්සැල් හයේම සැකසෙන ආහාරත් සිටුතුමා උදෙසා නිමවන භෝජනයත් එකක්ම විය. සිටුතුමා වෙනුවෙන් සැකසෙන භෝජනයෙහි, දන්සැල්වල භෝජනයට වඩා කිසිදු අමුත්තක් නැත. මෙසේ සිය පෞද්ගලික කටයුතු සියල්ල නවතා දමා මුළු දඹදිවම ප්‍රකටවන අයුරෙන් දන්දෙන, සිටුතුමාගේ එම මහා දානයේ ආනුභාවයෙන් ශක්‍රයාගේ භවන කම්පිත විය. පඬු ඇඹුල් සලසුන රත්විය. එවිට සක්දෙව් තෙමේ ‘මා මේ අසුනින් පහ කරන්නට උත්සාහ ගන්නේ කවරෙක්දැ’යි කියා, සලකා බලනුයේ, මහදන් දෙන සිටුවරයා දැක, මේ ‘විසය්හ’ නමැත්තා මුළු දඹදිව පතළ කෙරෙමින්, තම සියලු වැඩ නවතා දමා මහදන් දෙයි. මොහු විසින් දානය කරණ කොටගෙන මා මේ තනතුරෙන් පහකොට දමා, ශක්‍රභාවය අත්පත් කරගන්නට, උත්සාහ දරන බවක් පෙනේ. එබැවින් මම ‘මොහුගේ ධනය වනසා දමා දිළිඳු බවට පත්කොට, දානය ඇනහිටින තත්ත්වයට පත් කරන්නෙමි’යි සිතා විසය්හ සිටුතුමාගේ සියලු ධනයත් ධාන්‍යයත් තෙල් මීපැණි ආදියත්, යටත් පිරිසෙයින් දැසි දස් කම්කරු පිරිස පවා, මුළුමනින් අතුරුදන් කෙළේය.