10. විසය්හ ජාතකය (340)
‘අදාසි දානානි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ඛදිරංගාර’ ජාතකයෙහි දක්වන ලදි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා අමතා ‘ගෘහපතිය, අහසේ හිඳිමින් දන්දීම වළක්වන සක්දෙව් රජු පවා ගණන් නොගෙන, පෙර පඬිවරු දන්දීම නොකඩවා කළහ’යි පවසා, සිටුතුමාගේ අයැදුමින් මේ අතීත කථා පුවත වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ අසූකෙළක් ධනය ඇති, ‘විසය්හ’ නම් සිටුවරයා ව උපන්නේය. නිති පන්සිල්හි පිහිටා කටයුතු කරන, ඔහු දන් දීමෙහි වෙසෙසින් ඇලී කල්ගෙවයි. එතුමා විසින් ඉදිකරවන ලද දානශාලා, නුවර වාසල් දොරටු සතරේ ද, නගරය මැද ද, තම මැදුර ඉදිරිපිට දැයි මෙසේ ස්ථාන හයක ක්‍රියාත්මක විය. මේ දන්සැල්වල දිනපතා යාචකාදීන්ට මහදන් පැවැත්වේ. එක් දන්සැලකට එක්දිනෙක වැයවන මුදල කහවණු ලක්‍ෂ හයකි. දන්සැල් හයේම සැකසෙන ආහාරත් සිටුතුමා උදෙසා නිමවන භෝජනයත් එකක්ම විය. සිටුතුමා වෙනුවෙන් සැකසෙන භෝජනයෙහි, දන්සැල්වල භෝජනයට වඩා කිසිදු අමුත්තක් නැත. මෙසේ සිය පෞද්ගලික කටයුතු සියල්ල නවතා දමා මුළු දඹදිවම ප්‍රකටවන අයුරෙන් දන්දෙන, සිටුතුමාගේ එම මහා දානයේ ආනුභාවයෙන් ශක්‍රයාගේ භවන කම්පිත විය. පඬු ඇඹුල් සලසුන රත්විය. එවිට සක්දෙව් තෙමේ ‘මා මේ අසුනින් පහ කරන්නට උත්සාහ ගන්නේ කවරෙක්දැ’යි කියා, සලකා බලනුයේ, මහදන් දෙන සිටුවරයා දැක, මේ ‘විසය්හ’ නමැත්තා මුළු දඹදිව පතළ කෙරෙමින්, තම සියලු වැඩ නවතා දමා මහදන් දෙයි. මොහු විසින් දානය කරණ කොටගෙන මා මේ තනතුරෙන් පහකොට දමා, ශක්‍රභාවය අත්පත් කරගන්නට, උත්සාහ දරන බවක් පෙනේ. එබැවින් මම ‘මොහුගේ ධනය වනසා දමා දිළිඳු බවට පත්කොට, දානය ඇනහිටින තත්ත්වයට පත් කරන්නෙමි’යි සිතා විසය්හ සිටුතුමාගේ සියලු ධනයත් ධාන්‍යයත් තෙල් මීපැණි ආදියත්, යටත් පිරිසෙයින් දැසි දස් කම්කරු පිරිස පවා, මුළුමනින් අතුරුදන් කෙළේය.
මේ අතර දාන ශාලාවන්හි, කටයුතුවල නිරතව සිටි අය, වහා සිටුවරයා වෙත පැමිණ ‘ස්වාමීනි, දන්වැට අතරමග නැවතුනි. දාන උපකරණ ද ඒ හා සම්බන්ධ වෙනත් දේපල හා බඩු භාණ්ඩ ද, අස්ථානගත වී ඇත. දන්සැල්වල කිසිදෙයක් මේ වනවිට පෙනෙන්නට නැත. දැන් අපි කුමක්නම් කරමුදැ’යි කීහ. එවිට සිටුතුමා ඔවුන්ට කරුණාන්විතව කථාකොට, ‘හිතවතුනි, දන්දීම නො නවත්වා දිගටම පවත්වාගෙන යවු. ඒ සඳහා අවශ්‍ය සියලු උපකරණ සිටු මාලිගයෙන් රැගෙන යවු’යි කියා, සිය බිරිය වන සිටුදේවිය කැඳවා, ‘සොඳුර, අපගේ දානය නොනවත්වා දිගටම පවත්වාගෙන යාමට කටයුතු යොදනු මැනව’යි කීය. ඇයද මුළු ගේ සොයා බලා, අඩමස්සක ධනයක්වත් නොදැක, වහා සිටුතුමා වෙත පැමිණ ‘ස්වාමීනි, අපේ ඇඳුම්-කැඩුම් හැර අන් කිසිවක් පෙනෙන්ට නැත. මුළු ගෙයම හිස් යැ’යි පැවසුවාය. අනතුරුව මැදුරෙහි වූ සත්රුවන් ගබඩා, දෙදෙනාම එක් වී විවෘතකොට බැලූ නමුත්, එහි වූ සියල්ල ද අතුරුදන් වී තිබුණි. මෙසේ සිටුවරයාත් සිටුදේවියත් හැර, දැසි-දස් කම්කරුවන්ගේ පටන්, සෑම දේකින්ම සිටුමාලිගය හිස් විය. මද වේලාවකට පසු බෝසත් සිටුතුමා සිය බිරිය අමතා ‘සොඳුර, දන්දීම නවතා දැමීම, කෙසේවත් නොකළ හැකිය. එබැවින් මුළු ගේ පුරා නැවත කිසිවක් ඇත්දැ’යි සොයා බලනු මැනවැ’යි කීය. ගේ තුළ මුළුමනින් පිරික්සා බැලූ මුත් දේවියට, කිසිවක් ඉන් සොයාගත නොහැකි විය. එහෙත් කිසියම් තණකොළ කපන්නකු විසින්, මාලිගා දොරටුවෙහි අමතකව දමා ගොස් තිබූ, දෑකැත්තක් ද, කදක් ද තණකොළ මිටි බඳින රැහැනක් ද යන මේ උපකරණ දක්නට ලැබී, ඒවා ගෙනවුත් සිය සැමියාට පෙන්වූ සිටු බිරිය, ‘ස්වාමීනි, මේවා හැර අන්කිසිවක් මෙහි පෙනෙන්ට නැතැ’යි කීවාය. එවිට බෝසත් තෙමේ ‘සොඳුර, මෙපමණ කලකට මා විසින් තණකොළ කැපීමක් නම්, සිදුකොට නැත. එහෙත් දැන් ඉතින් තණකොළවත් කපා ගෙනවුත් ඒවා විකුණා සුදුසු පරිද්දෙන් දන් දෙන්නෙමි’ කියා ‘දානය කඩ වේයැ’යි බියෙන් ඉහත කී උපකරණත් ගෙන, නුවරින් නික්ම තණ වීථියකට ගොස්, තණකොළ කපා මිටි දෙකක් බැඳ, ‘මින් එක් තණකොළ මිටියක් විකුණා ලබන මුදල අප දෙදෙනාගේ ජීවිකාවට සෑහේ. ඉතිරි මිටියෙන් ලැබෙන මුදල ගෙන දන් දෙන්නෙමි’යි සිතා, තණකොළ මිටි දෙක කදේ එල්ලාගෙන අවුත්, ඒවා නගර වාසල් දොරටුවෙහි තබා, විකුණා එයින් මසුරන් කිහිපයක් ලැබ, ඒ මුදලෙන් කොටසක් යාචකයන්ට දන් දී, සිය නිවස බලා යන්නට සූදානම් වූ මුත්, තමා වටකොට ගත් යාචකයන්ගේ ඉල්ලීම් ඉවතලිය නොහී, තමා සන්තක වූ ඉතිරි මුදලද, දානය සඳහාම වැයකොට, හිස් අතින් ගෙදර ගොස්, එදා දවස සිය බිරිය සමග නිරාහාරවම ගත කෙළේය. මේ ආකාරයෙන්ම දින හයක් ගතවිණි.
සත්වැනි දවසේ තණකොළ රැගෙන එන, ඉතා සියුමැලි පුද්ගලයකු වන සිටුතුමාගේ නළලෙහි, හිරු රැස් පතිත වනවාත් සමගම සතියක් නිරාහාරව සිටි බැවින් ඇස් බමන්නට විය. සිහි එළවා ගත නොහුණු, ඔහු තණමිටි විසුරුවා ගෙන බිම ඇද වැටුණි. මේ අතර සක්දෙවිඳු සිටුවරයාගේ කටයුතු විමසමින් හැසිරේ. එබැවින් ඒ මොහොතේම එතැනට පැමිණි ඔහු අහසේ සිටිමින්, සිටුතුමා අමතා මේ ගාථාව කීවේය.
අදාසි දානානි පුරෙ විසය්හ, දදතො ච තෙ ඛය ධම්මො අහොසි,
ඉතො පරඤ්චෙ න දදෙය්‍ය දානං, තිට්ඨෙය්‍යුං තෙ සංයමන්තස්ස භොගා ති
‘විසය්හ’, ඔබ පෙර දන් දුන්නෙහිය. දීමෙන් වස්තුව නිමා විය. ඉදින් මින් මතු දන් නො දෙන්නේ නම්, දානයෙන් වැළකුණු ඔබට සම්පත් ඇති වන්නේය.
පින්වත් පසය්හ, ඔබ මින් පෙර ඔබේ ගෙයි තිබුණු ධනය යොදා සිය කටයුතු නවතා දමා, මුළු දඹදිව් වැස්සන්ට දන් දුන්නෙහිය. එසේ දන් දෙන්නා වූ ඔබගේ සම්පත් ගෙවී ගියේය. අවසන් විය. සියලු වස්තුව ක්‍ෂය විය. මින්පසු දන් නොදෙන්නේ නම්, එනම් කිසිවකුට කිසිවක් නොදෙන්නේ නම්, සම්පත් දන් දීමෙන් වැළකුණු, ඔබගේ ඒ වස්තුව තිබූ අයුරෙන් රැකෙන්නේ ය යන අර්ථයි. මෙසේ ප්‍රකාශ කළ ශක්‍රයා ‘මෙතැන් පටන් දන් නො දෙන්නෙමි’යි මට පොරොන්දුවක් දෙව. එවිට ‘මම ඔබට සම්පත් ලබා දෙන්නෙමි’යි කීය.