8. ථුස ජාතකය (338)
‘විදිතං ථූසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අජාසත් කුමරු අරබයා වදාළ සේක. අජාසත් කුමරා මවුකුසට වන් කල්හී, ඔහුගේ මව වන කෝසල රාජදේවියට ‘බිම්බිසාර’ රජතුමාගේ දකුණු උරහිස පලා ලේ බොන්නට දොළදුකක් හටගත්තේය. දේවිය ඉන් මහත් පීඩාවක් වින්දාය. ඇය ඉවසිය නොහැකි තැන, තම පරිවාර කාන්තාවන්ට දොළදුක ගැන කීවාය. එසේ කීවේද, එම කාන්තාවන් නැවත නැවත ප්‍රශ්න කිරීම නිසාවෙනි. කෙසේ හෝ රජතුමා ද, දේවියගේ දොළදුක ගැන දැනගෙන, වහා නිමිති පාඨකයන් වාසලට කැඳවා, දේවියට හටගත් දොළදුක ගැන සියලු විස්තර ඔවුන්ට කියා, එහි පලවිපාක ඔවුන්ගෙන් විමසීය. එවිට නිමිති පාඨකයෝ මැනවින් සිතා බලා, ‘දේවයිනි, දේවිය කුස ඔත් දරුවා කෙදිනක හෝ, ඔබතුමා මරා රාජ්‍ය පැහැර ගන්නේයැ’යි එකහෙලා ප්‍රකාශ කළහ. ඒ ඇසූ රජතුමා ‘ඉදින් මගේම පුතා මා මරා රජය ගන්නේ නම්, එහි ඇති වරද කුමක්දැ’යි කියා තියුණු ආයුධයක් ගෙන තම දකුණු උරහිස පලා රන්තැටියකට ලේ ගෙන, සිය දේවියට පෙවීය. ඉන්පසු රජදේවිය ‘ඉදින් මගේ කුසට පැමිණි දරුවා පීතෘ ඝාතකයෙක් වේ නම්, එබඳු දරුවකුගෙන් මට කවර ප්‍රයෝජනයක් දැ’යි සිතා, ගබ්සා කිරීමේ අදහසින් සිය පරිවාර කාන්තාවන් ලවා, තම බඩ මිරිකවා ගත්තාය.
මෙය දැනගත් රජතුමා වහා දේවිය කැඳවා, ‘සොඳුර, මගේම පුතා මා මරා රජය පැහැර ගන්නේ නම්, ඊට කම් නැත. මම මැනවි. මින්මතු මෙවැනි දේ නොකරනු මැනවැ’යි කීය. එතැන් පටන් රජදේවිය උයනට ගොස් හොර රහසේ, රජුට දැන නොගන්නට සිය දරුගැබ මිරිකවා ගැනීම දිගටම කළාය. කෙසේ හෝ දේවියගේ මේ වැඩපිළිවෙල ද රජතුමා දැනගත්තේය. ඉන්පසු රජතුමා දේවියගේ උයන් ගමන ද නවතා දැමීය. මෙසේ අනුක්‍රමයෙන් දරු ගැබද මෝරන්නට විය. පිරිපුන් ගැබ ඇති රාජදේවිය නිසිකල පුතකු වැදුවාය. මේ පුත් කුමරාට නම් තබන දිනයේදී දරුවා උපදින්නට පෙර පටන්ම, පියාට සතුරු වූ බැවින්, ‘අජාසත්තු’යැයි නම් තබන ලදි. මෙසේ අජාසත් කුමරා පිරිවර සහිතව ආරක්ෂා විධිවිධාන යටතේ වැඩෙනුයේ, සියලු දෙනාගේ ප්‍රසාදයට පත්විය. එක්දිනක බුදුරජාණන් වහන්සේ රජමැදුරට වැඩ, පන්සියයක් භික්‍ෂූන් පිරිවරා බුද්ධ ලීලාවෙන් වැඩහුන් සේක. එහිදී රජතුමා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයා වහන්සේට, ප්‍රණීත වූ ආහාර පානවලින් සංග්‍රහකොට රිසි සේ වළඳවා, දානයෙන් පසු බුදුන් වැඳ එකත්පසෙක වාඩි වී, බණ ඇසීමට සූදානම් විය. මේ අතර එක් සේවිකාවක් අජාසත් කුමරු සරසා, වඩාගෙන විත්, වාඩි වී සිටි රජු අතට දුන්නාය. රජතුමාද මහත් සෙනෙහසින් පුතා වඩාගෙන, උකුල මත හිඳුවා පුත්‍ර ප්‍රේමයෙන් පුතා ගැනම ආදරයෙන් හුන් බැවින් තම හිත නිසි සේ දහමට යොමුකර ගැනීමට අපොහොසත් විය. රජුගේ මේ පමාව දුටු බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, තම පුතුන් ගැන සැක සිතූ පෙර රජවරු, ඔවුන්ට රජයෙන් බැහැරව, වසන්නට සලස්වා තමන්ගේ ඇවෑමෙන් පැමිණ, රජකම බාරගන්නා ලෙස දැනුම් දී රටින් ද, ඔවුන් නෙරපූ හයි, වදාරා රජුගේ අයැදුමින්, මේ අතීත කථාවස්තුවද, ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හී, තෙමේ තක්‍ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා ලෙස ඉපිද, බොහෝ රාජ කුමාරවරුන්ටද, බමුණු කුමාරවරුන්ටද, ශිල්ප හා ශාස්ත්‍ර ඉගැන්වීමෙහි නිරතව කල්ගෙවීය. ඉගෙනගන්නා සිසුන් අතර, බරණැස් රජතුමාගේ පුතාද සිටියේය. සිය වයසින් සොළොස් වියේදී ඇදුරුතුමා ළඟට පැමිණි රජකුමරා, ත්‍රිවේදයද, සෙසු සියලු ශිල්ප ද උගෙන පරිසමාප්තියට පත්ව පෙරළා සිය නුවරට යනු පිණිස දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ඊට අවසර ඉල්ලා සිටියේය. අංග විද්‍යාවට අනුව සිය සිසුවා පරීක්‍ෂණයට භාජනය කළ ඇදුරුතුමා, ‘මොහුට මොහුගේම පුතාගෙන් අනතුරක් ඇති බව පෙනී යයි. මම මගේ ආනුභාවයෙන් එය දුරුකොට ලන්නෙමි’යි, සිතා බරණැස් රාජකුමාරයා අමතා, ‘පුතණුවනි, ඔබ පිටත්ව යන්න, ගොස් රජකම භාරගන්න. ඔබගේ ආරක්‍ෂාවට මම ඔබට ගාථා සතරක් පද බැඳ දෙන්නෙමි. ඉන් පළමු ගාථාව, ඔබගේ පුත්‍රයාට වයස අවුරුදු සොළොසක් පිරුණුවිට, ඔහු සමග එකට හිඳ ආහාර ගන්නා විටදී, ඔහුට ඇසෙන සේ ගායනා කරන්න. දෙවැන්න, පුතණුවන් සමීපයේ හිඳිනාවිට රාජසභාවේදී, ඔහුට ඇසෙන සේ ගායනා කරන්න. ඔබ උඩුමහල් තලයට පිය නගන විටෙක, පියගැටපෙළ මුදුනේ ඔබේ පුතා සිටිනු දුටුවහොත්, තුන්වැනි ගාථාව ගායනා කරන්න. සතරවැන්න, සිරියහන්ගැබට පිවිසෙන විටෙක, සිතෙහි සැකයක් හට ගත්තොත්, එලිපත මත දී ගායනා කරන්නැ’යි මෙසේ උපදෙස් දී, ඉහත සඳහන් ගාථා සතරද ඔහුට උගන්වා පිටත්කොට යැවීය. රාජකුමාරයාද ඒ සියලු උපදෙස් මැනවින් පිළිගෙන ගුරුතුමාට වැඳ අවසර ගෙන, සිය රට බලා පිටත්ව ගොස්, මුලින් යුවරජකමට පත්ව, සිය පියාගේ අභාවයෙන් පසු මහරජු බවට පත්විය. රාජ්‍යත්‍වයට පත්ව නොබෝ කලකින්, රජුට පුත්‍ර ලාභයක්ද හිමිවිය. සොළොස් වියට පත්වූ රාජපුත්‍රයා කිසියම් දිනෙක උයන්කෙළි පිණිස සපිරිවරින් නික්මෙන සිය පියා වන මහරජුගේ සිරි සම්පත් දැක, පියා මරා රජවීමට තරයේ ඉටාගෙන, ඒ බව තමාට හිතේසිවන්ත වූ තමාගේ ම, උපස්ථායක පුරුෂයන්ට දැනුම් දුන්නේය. කුමරුගේ පරිවාර පුරුෂයෝ ද, ‘යහපති කුමරුනි, මහලු කල දී ලැබෙන රජසැපින් කම් නැත. එබැවින් කිසියම් උපක්‍රමයකින් මහරජු මරා, රජය පැහැර ගැනීම සුදුසුයැ’යි කීහ. අනතුරුව කුමාරයා, පියාට වස දී ඝාතනය කිරීමට තීරණය කොට, පියා සමග රාත්‍රී භෝජනයට වාඩිවිය. කුමරුගේ ඉරියව් ගැන සැක උපදවා ගත් රජතුමා, කෑම බඳුනට අත නො තබාම මේ ගාථාව කීය.