7. පීඨ ජාතකය (337)
‘න තෙ පීඨ මදාසිම්ගා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයෙහි වැඩවාසය කරන සේක්, එක්තරා භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. දිනක් එකී භික්ෂුව කිසියම් දනව්වක සිට ජේතවනාරාමයට පැමිණ පාසිවුරු කිසියම් තැනක තැන්පත්කොට තබා, බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ අවුත්, එහි සිටි සාමණේර හිමිවරුන්ගෙන්, ‘ඇවැත්නි, මේ සැවැත්නුවර භික්ෂූන්ට උපකාර කරන ප්රධාන තැනැත්තා කවුදැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන සාමණේර හිමිවරු ‘ඇවැත්නි, ‘අනාථපිණ්ඩික මහ සිටුතුමාත්, විශාඛා මහ උපාසිකාවත් භික්ෂූන්ට නිතර මහත් සේ උපකාර කෙරෙති. ඔවුහු අපට මවුපියන් වැනියැ’යි කීහ. මේ ඇසූ ඒ භික්ෂු නම පසුදා පාන්දරම, හැමදෙනාටම පෙර අනේපිඬු සිටුතුමාගේ ගෙදරට ගියේය. මෙතරම් උදෙන් පිඬුසිඟා යන සිරිතක් කැල ම නැති බැවින්, කිසි කෙනෙක් ඔහු දෙස නොබැලූහ. එවිට එතැනින් කිසිවක් නොලැබූ, ඒ භික්ෂුව විශාඛා උපාසිකාවගේ නිවසට ගියේය. අවේලාවෙහි පැමිණි ඔහුට, එතැනින්ද කිසිවක් නොලැබුණි. මෙසේ තැන තැන ඇවිද ගිය ඒ භික්ෂු නම, නැවත ආපසු එන ගමන් ඒ ඒ ගෙවල්වලට ගියත්, ඒ වනවිට කැඳත් බතුත් පිරිනමා අවසන් වී තිබුණි. නිරාහාරවම පන්සලට පැමිණි භික්ෂුව ‘ශ්රද්ධාවක් නැති අප්රසන්න පවුල් දෙකකට, මේ පන්සලේ භික්ෂූහු සැදැහැවත් පවුල් දෙකකැ’යි කියති’යි මෙසේ අනේපිඬු සිටුතුමාටත්, විශාඛා මහ උපාසිකාවටත්, පරිභව කරන්නට පටන් ගත්තේය.
පසුදිනක මේ සිද්ධිය මාතෘකා කොටගෙන භික්ෂූහු දම්සභාවෙහි, ඒ ගැන කතා කරමින් හුන්හ. එවිට අදාළ භික්ෂුව කැඳවා ‘එකී සිද්ධිය සත්යයක්දැ’යි ඔහුගෙන් ඇසූ සේක. එවිට ඒ භික්ෂුව ‘එසේය ස්වාමීනි, එය සත්යයකි’යි උත්තර දුන්නේය. ‘මහණ, ඔබ කුමට කිපුනෙහිද? බුද්ධ කාලයට පෙර, තාපසවරු පවා ගෙවල්වලට ගොස් කිසිවක් නොලද මුත් කෝප නොගත්තාහුයැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසිවියට පත්වූයේ තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප හා ශාස්ත්ර උගෙන, පසුකලෙක හිමවතට ගොස්, එහිදී තවුස් පැවිද්දෙන් පැවිදිව, බොහෝ කලක් එහිම වැස, කිසියම් දිනෙක නගරයට පිඬු පිණිස පැමිණියේය. මෙකල බරණැස්නුවර සිටි ප්රධාන සිටුවරයා සැදැහැවතෙකි. ප්රසන්න පුද්ගලයෙකි. මේ අතර නුවරට පැමිණි බෝසත් තෙමේ, සැදැහැවත් පවුල් ගැන සොයා බලා, සිටුතුමා ගැන අසා දැන, එතුමාගේ නිවසට පිඬු පිණිස ගියේය. ඒ වනවිට සිටුතුමා ගෙදර සිටියේ නැත. රාජකාරි සඳහා රජවාසලට ගිය බැවිනි. සිටුමැදුරෙන් කිසිවක් නොලද තවුස්තුමා, හිස් අතින් ම ආපසු හැරී යන්නට ගියේය. රාජකාරි නිමවා සිය නිවසට පැමිණෙන සිටුතුමාට අතරමගදී, තවුසා මුණගැසිණි. තවුසා දුටු සිටුතුමා තවුසාට වැඳ, සිය නිවසට එතුමා කැඳවා ගෙනගොස්, පා සෝදා වඩා හිඳවා, කැඳ-බත්-කැවිලි ආදියෙන් සංග්රහකොට, කෑම ගන්නා අතරතුරේදී කිසිවක් නොවිමසා දානයෙන් පසු, තවුසාට වැඳ එකත්පසෙක හිඳ, ‘ස්වාමීනි, අපේ ගෙදරට පිඬු පිණිස පැමිණ, කිසිදු සත්කාර සම්මානයක් නොලැබ, ගිය යාචකයකු හෝ දැහැමි මහණ බමුණකු හෝ නැත. එහෙත් අද ඔබතුමා අපගේ දරුවන් විසින් නොදුටු බැවින්, අසුනක් හෝ කෑමක්-බීමක් හෝ පා සේදීමක් හෝ කැඳබතක් හෝ, නොලැබම ගියෙහිය. ඒ වූ කලී, අපගේ දෝෂයකි. එබැවින් ඒ දෝෂයට සමාව ගන්නට වටීයැ’යි කියා, මේ ගාථාව ප්රකාශ කෙළේය.
නතෙ පීඨදායිම්හා - න පාණං නපි භොජනං,
බ්රහ්මචාරි ඛමස්සු මෙ - එතං පස්සාමි අච්චයන්ති
බ්රහ්මචාරි ඛමස්සු මෙ - එතං පස්සාමි අච්චයන්ති
බ්රහ්මචාරි තාපසතුමනි, (අපි) ඔබට පුටුවක් නොදුන්නෙමු. පානයකුත්, බොජුනකුත් නො දුන්නෙමු. මෙය මාගේ වරදක් ලෙස දකිමි. සමාවුව මැනවි.
මෙහි ‘ත තෙ පීඨමදාසිම්හා’ යනු ‘ඔබට පුටුවක්වත් දෙවන්නට නොහැකි විය’, යන අදහසයි.
මේ ඇසූ බෝසත් තෙමේ මේ ගාථාව කීය.
නෙවාභිසජ්ජාමි න චාපි කුප්පෙ, නචා පි මෙ අප්පිය මාසි කිඤ්චි,
අථොපි මෙ ආසි මනො විතක්කො, එතාදිසො නූන කුලස්ස ධම්මො
අථොපි මෙ ආසි මනො විතක්කො, එතාදිසො නූන කුලස්ස ධම්මො
(මම) ඇලුම් නොකරමි. නොකිපෙමි. මට අප්රිය වූ කිසිවක්ද නැත. එසේද වුවත්, මෙය මොවුන්ගේ කුලසිරිතක් විය යුතුය යන, කල්පනාව මාගේ සිත්හි ඇතිවිය.
මෙහි ‘නෙවාභිසජ්ජාමි’ යනු ‘නො ඇලෙමි’ යන අර්ථයි. ‘එතාදිසො’ යනු ‘ඒකාන්තයෙන් මේ පවුල මේ බඳු ස්වභාව ඇත්තේය. මෙය කිසිවෙකුට කිසිවක් නොදෙන පරම්පරාවක් වන්නේ යැ’යි, මෙසේ මාගේ සිතේ අදහසක් ඇතිවිය’ යන අර්ථයි.
එම ප්රකාශය අසා සිටි සිටුතුමා, මේ ගාථා දෙක පැවසීය.
එසම්හාකං කුලෙ ධම්මො පිතුපිතාමහොසදා,
ආසනං උදකං පජ්ජං සබ්බෙතං නිපදාමසේ
ආසනං උදකං පජ්ජං සබ්බෙතං නිපදාමසේ
අසුන් - පැන් - පා ගල්වන තෙල් යන, මේ සියල්ල පිරිනමමු. මෙය මුතුන් මිත්තන් කාලයේ සිට පැවතෙන, අපේ සදාකාලික වූ කුලදහමකි.
එසම්හාකං කුලෙ ධම්මො පිතු පිතාමහොසදා,
සක්කච්චං උපතිට්ඨාම - උත්තමං විය ඤාතකං
සක්කච්චං උපතිට්ඨාම - උත්තමං විය ඤාතකං
උතුම් නෑයකුට මෙන් සකසා උපස්ථාන කරමු. මෙය මුතුන් මිත්තන් කාලයේ සිට පැවතෙන අපේ සදාකාලික වූ කුලදහමකි.
මෙහි ‘ධම්මො’ යනු ‘ස්වභාව’යි. ‘පිතුපිතාමහො’ යනු පියවරුන් හා මුත්තනුවරුන් සන්තක වූ, යන අර්ථයි. ‘උදකං’ යනු ‘පා සෝදන ජලය’යි. ‘පජ්ජං’ යනු ‘පා ගල්වන තෙල්’ය. ‘සබ්බෙතං’ යනු මේ සියල්ල’යි. ‘නිපදාමසෙ’ යනු ‘නි’ ‘ප’ යන මේවා උපසර්ග වේ. ‘පිරිනමමු’ යන අර්ථයි. ‘දෙමු’යි කියන ලද්දේ වේ. මෙතැන් පටන් සත්වෙනි කුල පරම්පරාව දක්වා අපේ වංශය දායක වංශයෙකැයි දක්වයි’ යන අර්ථයි. ‘උත්තමං විය ඤාතකං’ යනු ‘අපි දැහැමි ශ්රමණයකු හෝ බමුණකු හෝ දැක මෑණියන්ට මෙන් ද, පියාණන්ට මෙන්ද, සකසා සියතින් උපස්ථාන කරමු, යන අර්ථයි.
බෝසත් තෙමේ මෙසේ කීපදවසක් බරණැස් සිටුතුමාට බණ කියමින්, එහිම වැස පසුව නැවත හිමාලයටම ගොස් එහිදී අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගෙන සතුටින් විසීය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්යය ප්රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසන ඉහත කී භික්සුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපමින්, එදා බරණැස් සිටුවරයා නම්, අනඳ තෙරුන්ය. තාපසයා වූ කලී ‘මම ම වීමි’ යි වදාළ සේක.
8. ථුස ජාතකය (338)
‘විදිතං ථූසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අජාසත් කුමරු අරබයා වදාළ සේක. අජාසත් කුමරා මවුකුසට වන් කල්හී, ඔහුගේ මව වන කෝසල රාජදේවියට ‘බිම්බිසාර’ රජතුමාගේ දකුණු උරහිස පලා ලේ බොන්නට දොළදුකක් හටගත්තේය. දේවිය ඉන් මහත් පීඩාවක් වින්දාය. ඇය ඉවසිය නොහැකි තැන, තම පරිවාර කාන්තාවන්ට දොළදුක ගැන කීවාය. එසේ කීවේද, එම කාන්තාවන් නැවත නැවත ප්රශ්න කිරීම නිසාවෙනි. කෙසේ හෝ රජතුමා ද, දේවියගේ දොළදුක ගැන දැනගෙන, වහා නිමිති පාඨකයන් වාසලට කැඳවා, දේවියට හටගත් දොළදුක ගැන සියලු විස්තර ඔවුන්ට කියා, එහි පලවිපාක ඔවුන්ගෙන් විමසීය. එවිට නිමිති පාඨකයෝ මැනවින් සිතා බලා, ‘දේවයිනි, දේවිය කුස ඔත් දරුවා කෙදිනක හෝ, ඔබතුමා මරා රාජ්ය පැහැර ගන්නේයැ’යි එකහෙලා ප්රකාශ කළහ. ඒ ඇසූ රජතුමා ‘ඉදින් මගේම පුතා මා මරා රජය ගන්නේ නම්, එහි ඇති වරද කුමක්දැ’යි කියා තියුණු ආයුධයක් ගෙන තම දකුණු උරහිස පලා රන්තැටියකට ලේ ගෙන, සිය දේවියට පෙවීය. ඉන්පසු රජදේවිය ‘ඉදින් මගේ කුසට පැමිණි දරුවා පීතෘ ඝාතකයෙක් වේ නම්, එබඳු දරුවකුගෙන් මට කවර ප්රයෝජනයක් දැ’යි සිතා, ගබ්සා කිරීමේ අදහසින් සිය පරිවාර කාන්තාවන් ලවා, තම බඩ මිරිකවා ගත්තාය.