6. බ්‍රහාඡත්ත ජාතකය (336)
‘තිණං තිණන්ති ලපසි’ යන මේ ගාථාව අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා කුහක භික්‍ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර කියන ලදි. එහි අතීත කථා පුවත මෙසේය.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ඒ රජතුමාට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන ඇමතිවරයා විය. දිනක් බරණැස් රජතුමා මහත් වූ සේනාවක් ගෙන, කොසොල් රජුගේ රටට වැද සැවැත් නුවරට පිවිස, යුදකොට ඒ නුවරත්, රජුත් අල්ලා ගත්තේය. කොසොල් රජුට ‘ඡත්ත’ නමින් පුත් කුමරෙක් විය. ඔහු මේ යුද්ධය පවතිද්දී වෙස්වලාගෙන නුවරින් පිටව ගොස්, ‘තක්‍ෂිලා’ නුවරට පිවිසුණි. එහි නැවතුණු ඔහු ත්‍රිවේදයත් අටළොස් ශිල්පත් උගෙන තක්‍ෂිලාවෙන් නික්ම, එකල පැවති ආගම්ද වෙනත් ශිල්ප ශාස්ත්‍රද ඉගෙන ගනිමින් ගමින් ගම ගොස් අවසානයේදී, එක් පසල් ගමකට පැමිණියේය. මේ අතර තාපසවරු පස්දෙනෙක් එවකට එම ගම අසල පන්සලක් තනාගෙන, තවුස් දම් පුරමින් ජීවත් වූහ. ඉහත කී රාජකුමාරයා ඒ තවුසන් වෙත එළඹ, ‘මොවුන්ගෙන් කිසිවක් උගත යුතුයැ’යි සිතා, ඔවුන් සමීපයෙහි පැවිදි වී, ඔවුන් දත් සියල්ල උගත්තේය. පසුකලෙක මේ රාජකීය තවුසා තවුස් පිරිසෙහි නායකයා විය.
ඉක්බිති එක් දවසක් තවුස් පිරිවර ඇමතූ ඔහු, ‘පින්වත් තවුසනි, නුඹලා කුමක් නිසා, මධ්‍යම දේශයට නොයවුදැ’යි විචාළේය. ‘ස්වාමීනි, මධ්‍යම දේශයෙහි මිනිස්සු නම් පණ්ඩිතයෝ වෙති. ඔවුහු අපගෙන් ප්‍රශ්න අසති. අප ලවා අනුමෝදන් කරවති. මංගල පාඨ අප ලවා කියවති. ඒවා අපට නොහැකි වුවහොත් ඊට ඔවුහු ගරහති. අපි ඊට බියෙන් එහි නොයමු’යි සෙසු තවුසෝ පිළිතුරු දුන්හ. එවිට නායක තවුසා ‘පින්වත් තවුසනි, තෙපි කිසිදේකට බිය නොවවු, මම ඒ සියල්ල කරන්නෙමි’යි කීය. මෙසේ එහි යන්නට තීරණය කරගත් ඔවුහු සියලු දෙනා තම තමාට අයත් විවිධ වූ තවුස් පිරිකර ද ගෙන පිටත්ව ගොස්, පිළිවෙලින් බරණැස් නුවරට පැමිණුනහ. බරණැස් රජතුමා ද කොසොල් රජු තමාගේ අත්අඩංගුවට ගෙන, එහි පාලනයට තමාගේ නියෝජිතයකු තබා, එහි වූ ගෙන යා හැකි වටිනා සම්පත් සියල්ල ද රැගෙන, බරණැසට ගොස් තම රාජකීය උද්‍යානයෙහි තමා අයත් කොටගත් ඒ සියලු වස්තුව, විශාල ලෝහමය සැළියක බහා, රහසිගතව නිදන්කොට තබා, රජවාසලට ගියේය. මෙසේ බරණැස් නුවරට පැමිණි ඉහත කී තාපසවරු බරණැස් රජුගේ උයනෙහි රාත්‍රිය ගතකොට, ඊට පසුදා නගරය තුළ පිඬුසිඟා ගියහ. මෙසේ පිඬු සිඟීමෙහි යෙදුණු ඔවුහු, අනුක්‍රමයෙන් රජමැදුරට පැමිණියහ. රජතුමා ඔවුන්ගේ ඉරියව් ගැන පැහැදී, උඩුමහල් තලයට කැඳවා, ඔවුන් එහි හිඳුවා කැඳ හා වෙනත් කෑ යුතු දේ දීමෙන් ආදරයෙන් ඔවුන්ට සලකා, බත සකස් වනතුරු, විවිධ ප්‍රශ්න ඔවුන්ගෙන් ඇසීය. ‘ඡත්ත’ නම් වූ මේ නායක තවුස්තුමා රජුගේ සිත් ගනිමින්, ඒ සියලු ප්‍රශ්න විසඳා, අනතුරුව බත් කිස නිමවා අවසානයේදී විසිතුරු අනුමෝදනාවක්ද කෙළේය. ඊට අතිශයින් පැහැදුණු රජතුමා, ඒ සියලු දෙනාම, සිය උයනෙහි නැවතීම සඳහා කැමති කරවා ගත්තේය.
ඡත්ත තවුසා නිදන් ගන්නා මන්ත්‍ර දත්තෙකි. ඔහු එහි වෙසෙමින් ‘මෙ රජු විසින් මාගේ පියාගේ ධනය, කොතැනක සඟවා තබන ලදදැ’යි මන්ත්‍ර ජපකොට බලා, එය තමා වෙසෙන උයනෙහි ම නිදන්කොට ඇති බව, දැනගත්තේය. ඉන්පසු ඔහු ‘මම මේ ධනය ද, අත්පත් කොටගෙන මට අයත් රජය ද, සතු කර ගන්නෙමි’යි සිතා, සෙසු තවුසන් අමතා, ‘පින්වතුනි, මම කොසොල් රජුගේ පුතා වෙමි. මේ බරණැස් රජු විසින් අපගේ රජය පැහැර ගන්නා ලදි. මම වෙස් වලාගෙන සැඟව ගොස්, මෙපමණ කලක් දිවි රැක ගත්තෙමි. දැන්න කුලසන්තක ධනය මෙහි ඇත. මම ඒවා රැගෙන ගොස්, මට අයත් රජය ද ආපසු ගන්නෙමි. එවිට තොපි කුමක් කරන්නෙහු දැ’යි විමසීය. මේ ඇසූ තවුසෝ ‘ස්වාමීනි, අපි සියලු දෙනාම ඔබ සමග එන්නෙමු’යි කීහ. තවුසන්ගේ අදහස පිළිගත් ඡත්ත තවුසා, මහත් වූ සම් මලු රැසක් සකසා එදින රාත්‍රී කාලයෙහි පොළොව සාරා, ධනය පුරවන ලද නිදන් සැළිය ගොඩට ගෙන, සියලු සම්පත් සම් මලුවල පුරවා, සැළිය තණකොළවලින් පුරවා, තිබූ තැනම එය තැන්පත් කොට තබා, ඉහත කී වස්තුවද, පන්සියයක් වූ තම ශිෂ්‍ය තවුසන්ද වෙනත් කුලීකාර මිනිසුන්ද, රැගෙන පලා ගියේය. සැවතට පැමිණි ඔහු, බරණැස් රජුගේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන, රජය ද තමාගේ ග්‍රහණයට නතු කොටගෙන, ප්‍රාකාර-අට්ටාල ආදිය පිළිසකර කරවා, නැවත කිසිදු රජකුට පැහැර ගත නොහැකි වන සේ, සියල්ල තරකොට රාජ්‍යත්වයට පත්විය. මේ අතර බරණැස් රජතුමා, තාපසවරුන් උයනෙහි තිබූ නිදන් වස්තු පැහැරගෙන පලා ගිය බව, කෙසේ හෝ දැන ගත්තේය. වහා උයනට ගිය ඔහු, නිධානය විවරකොට බලා, තණකොළවලින් පිරුණු සැළිය දැක, අහිමි වූ ධනය ගැන ශෝක කරන්නට පටන් ගත්තේය. ඔහුගේ සිහිය අවුල් විය. රජවාසලට පැමිණි ඔහු ‘තණකොළ තණකොළ’ කියමින්, එයම නිතර මුමුණමින්, සිහිමඳව කල්ගෙවන්නට පටන් ගත්තේය. කිසිවකුට රජුගේ ශෝකය තුනී කරන්නට, නොහැකි විය.