5. ජම්බුක ජාතකය (335)
‘මහා පවඩ්ඪකායො සො’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී, දෙව්දතුන් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, මීට ඉහත දී දක්වන ලදි. මේ එහි කෙටි විස්තරයකි. දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, ‘සාරිපුත්‍රය, එදා ඔබ දුටු දෙව්දත් තෙර කුමක් කෙළේදැ’යි විචාළ සේක. ඊට පිළිතුරු දෙන සැරියුත් තෙරණුවෝ, ‘ස්වාමීනි, ඔබවහන්සේ අනුකරණය කෙරෙමින් ඔහු විජිනිපත මා අතට දී, නික්ම ගොස් වැදහොත්තේය. ඉන් කිපුණු කෝකාලිකයා දෙව්දතුන් වෙත දිවගොස් නිදන දෙව්දතුන්ගේ පපුවට දණිස්සෙන් ඇන්නේය. මෙසේ දෙව්දත් ඔබවහන්සේ අනුකරණය කරන්නට ගොස් දුකම ලැබුවේ යැ’යි කීය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ ‘සාරිපුත්‍රයා, දෙව්දත් තෙමේ දැන් පමණක් නොව පෙරද මා අනුකරණය කරන්නට ගොස් දුක් වින්දේයැ’යි, වදාරා සැරියුත් තෙරුන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිංහ ජාතියෙහි ඉපිද හිමාලයෙහි කිසියම් ගුහාවෙක වාසය කරයි. දිනක් මේ සිංහයා මීමකු මරා මස් කා පැන් බී පෙරළා එන විට ඒ දැක බියට පත්වූ එක් සිවලෙක් පලා යන්නට උත්සාහ කොට එය නොහැකිව උඩුබැලි අතට බිම පෙරළුණේය. ඒ දුටු සිංහයා ‘මේ කිමදැ’යි විචාළේය. එවිට සිවලා ‘ස්වාමීනි, මම ඔබට උපස්ථාන කරන්නට කැමැත්තෙමි’යි කීය. ‘එසේ නම් මා සමග එව’යි, සිංහයා සිවලා ද කැටුව සිය නවාතැනට ගොස්, එදා සිට දිනපතා මස් ගෙනැවිත් දෙමින් සිවලා පෝෂණය කෙළේය. කලකට පස් මෙසේ සිංහයාගේ ඉඳුල් කා විශාල වූ සිරුරක් ඇති සිවලාට මහත් මානයක් සිත්හි හට ගත්තේය. වහා සිංහයා වෙත ගිය ඌ ‘ස්වාමීනි, මම මෙතෙක් කල් නිරතුරුව ඔබට පළිබෝධයක්, කරදරයක් වීමි. ඔබ නිතර නිතර මස් ගෙනවුත් මා පෝෂණය කෙළෙහිය. අද ඔබතුමා මේ ගුහාව තුළම හිඳිනු මැනව. මම ගොස් එක් ඇතකු මරා, මස් කා ඔබටද ගෙනෙන්නෙමි’යි, ගර්වයෙන් කීය. එවිට සිංහයා සිවලා අමතා, ‘නුඹ ඊට උත්සාහ නො ගනුව, නුඹ ඇතුන් මරා මස් කන ජාතියක උපන්නකු නොවේ. ඇතුන් වනාහී විශාල-දැවැන්ත ශරීර ඇති සත්ත්ව විශේෂයකි. මම නුඹට ඇතකු මරා දෙන්නෙමි. එබැවින් මා කියන්නට විරුද්ධ නොවී, කියන දේ කරව’යි කියා මේ ගාථාව කීය.
බ්‍රහා පවඩ්ඪකායො සො - දීඝ දාඨොව ජම්බුක,
නත්‍වං තම්හි කුලෙ ජාතො - යත්‍ථ ගණ්හන්ති කුඤ්ජරන්ති
සිවල, ඇතා විශාල සතෙකි. වැඩුණු කයක් ඇත්තෙකි. දිගු දළ ඇත්තෙකි. යම් ජාතියක සත්තු ඇතුන් අල්ලා ගනිද්ද? නුඹ එබඳු කුලයක නූපන්නෙකි.
මෙහි ‘බ්‍රහා’ යනු ‘විශාල’, යන තේරුමයි. ‘පවඩ්ඪකායො’ යනු ‘උස්ව වැඩුණු කය ඇත්තෙකි’, යන අර්ථයි. ‘දීඝදාඨො’ යනු ‘දිගු දළ ඇත්තෙකි, ඒ දළවලින් තොප වැන්නවුන්ට පහර දී මරණයට පමුණුවයි’ යන අදහසයි. ‘යත්‍ථ’ යනු ‘යම් සිංහ කුලයක ඉපදුණු අය, උතුම් මදැතකු අල්ලා ගනිද්ද? නුඹ එහි නූපන්නෙකි, සිවල් පවුලේ උපන්නෙකි’ යන අර්ථයි.
මෙසේ සිංහයා පුන පුනා වළකද්දීත් සිවලා ගුහාවෙන් නික්ම තෙවරක් සිවල් හඬ නගා, අසල තිබූ පර්වත මුදුනකට නැග්ගේය. එහි සිට පර්වත පාමුල බලන ඌට, ඒ අසල සිටි එක් කළු පැහැති ඇතකු දුටුවේය. ‘එකහෙලාව ඇතාගේ කුම්භස්තලයට පැනිය යුතුයැ’යි තීරණය කළ සිවලා මහත් වෙර යොදා ඇතු මතට පැන්න නමුදු, පෙරළී ගොස් ඇතු පාමුල වැටුනේය. එවිට ඇතා ඉදිරි පයක් ඔසවා සිවලා පාගා දැමුවේය. ඇත් පාදයට යට වූ සිවල් හිස සුණුවිසුණු වී ගියේය. මෙසේ සිවලා කෙඳිරි නොගා ම මියපරලොව ගියේය. ඇතාද කුංචනාද කරමින් කැලෑ වැදුනේය. බෝසත් සිංහයා පර්වත මුදුනට නැග, විපරම් කොට සිදුවූ විපත බලා, ‘සිවලා තමාගේම මානය හේතු කොටගෙන විනාශයට පත් වූයේ යැ’යි කියා, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
අසීහො සීහ මානෙන - යො අත්තානං විකුබ්බති,
කුට්ඨූව ගජ මාසජ්ජ - සෙති භූම්‍යා අනුත්‍ථුනං