4. රාජෝවාද ජාතකය (334)
‘ගවඤ්චෙ තරමානානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, රජුට කරන ලද අවවාදයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව සකුණ ජාතකයෙහි දක්නට ලැබෙන්නේය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහරජු අමතා ‘රජතුමනි, පෙර රජදරුවෝ පඬිවරුන්ගේ දේශනා අසා, දැහැමින් රජය කරවා අවසන දෙව්ලොව ගියාහු යැ’යි වදාරා, රජුගේ අයැදුමින් මේ අතීත කථා වස්තුව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසි වියට පත්වූයේ, උගත යුතු වූ සියලු ශිල්ප ඉගෙන ගෙන, තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා හා සමාපත්තිද උපදවාගෙන, හිමාලයෙහි රමණීය වූ බිම්කඩෙක අසපුවක් සාදා ගෙන, වනමුල් පලවැලින් ජීවත් වෙයි. එකල රජතුමා තමාගේ කිසියම් අඩුපාඩුවක්, වැරැද්දක් ඇත්දැයි සොයමින් ස්වයං පර්යේෂණයෙහි යෙදෙමින් කල්ගත කරයි. එක්දිනක් රටේ ජනතාව තමාගේ අගුණ කතා කෙරේදැ’යි විමසා බැලීමට තීරණය කරගත් රජතුමා, රට පුරාම දූතයන් යොදවා ඒ ගැන මැනවින් සොයා බැලීය. අනතුරුව තමාගේ දොස් දකින්නකු රට තුළ නැති බව දැනගත් නමුත්, ඉන් සෑහීමට පත් නොවූ රජතුමා වෙස්වලාගෙන, ජනපද චාරිකාවෙහි යෙදෙන්නට අදිටන් කර ගත්තේය. මේ චාරිකාවෙන් පසුව රට තුළත් ඉන් බැහැරවත් තමාට දොස් නගන්නෙකු නොමැති බව තේරුම් ගත් ඔහු, තමාගේ ගුණ පමණක් දකින ඒ ගැන කතාකරන රටවැසියන් ගැන සතුටු වී, තම රටට අයත් හිමාල වන පෙදෙසෙහි වත් තමාගේ දොස් දකින්නකු ඇත්දැයි සිතා, ඒ ගැන සෙවීමට හිමාල වනපෙතට පිවිසියේය. කැලයේ සැරිසරන රජතුමාට බෝසත් තවුසාගේ අසපුව ඇස ගැසුණි. අසපුව වෙත ගිය රජතුමා, පළමුකොට බෝසතුන්ට නමස්කාර කොට, පිළිසඳර නිමාකර එකත්පස්ව, හිඳ ගත්තේය.
බෝසත් තාපසයා කැලයෙන් ගෙනෙන ලද ඉදුණු නුගගෙඩි රජතුමාට අනුභව කිරීමට දුන්නේය. මේ නුගගෙඩි මිහිරිය, සාරයෙන් පිරිපුන්ය. හකුරු රසයෙන් යුක්තය. ඒවා රජුට දුන් තවුසා රජු අමතා, ‘පින්වත, මේ නුගගෙඩි අනුභව කොට පැන් පානය කරනු මැනවැ’යි කීය. රජතුමාද එසේ කොට, ‘ස්වාමීනි, මේ නුග ගෙඩි අතිශයින් රසවත්ය. ඉතා මිහිරිය. ඊට හේතුව කුමක්දැ’යි තවුසාගෙන් පිළිවිසීය. එවිට තවුසා පිළිතුරු දෙමින් ‘පින්වත, එසේය, ඒකාන්තයෙන් මේ රටේ රජතුමා දැහැමියකු විය යුතුය. රජු දැහැමින් රාජ්‍යය කරවන කල්හි, සැමදේම සඵල වේ. යටත් පිරිසෙයින් ගස්වැල්වල ගෙඩි පවා මෙසේ වේ. රජවරු අදැහැමි කල්හි, සියල්ල අයහපත් වේ. තෙල්-මීපැණි ආදිය පමණක් නොව මනමුල් පලවැල පවා අමිහිරි වේ. නිසරු වේ. හුදෙක් මුළු රටම නිසරු වේ. තවද රජු දැහැමි වනවිට මුළු රටම සරු වේයැ’යි, උත්තර දුන්නේය. තමා රජු බව නො හැඟවූ රජතුමා ‘ස්වාමීනි, එසේ වී නම් එකත් එකටම අපේ රජතුමා දැහැමියකු විය යුතුයැ’යි කියා, තවුසාට වැඳ පිටත්ව බරණැසට ගොස්, ‘තවුසාගෙන් වචන විමසා බැලිය යුතුයැ’යි, තීරණය කොට අධර්මයෙන් රට පාලනය කිරීමට පටන් ගත්තේය. ටික කලකට පසු රජතුමා නැවත වතාවක් තවුසා බැහැදැකීමට, හිමවතට ගියේය.
පෙර පරිදිම තවුසා රජුට නුග ගෙඩිවලින් සංග්‍රහ කෙළේය. නුග ගෙඩි තිත්ත බව වහා රජුට වැටහුණි. සැණෙකින් කෙළත් සමග නුග ගෙඩිය කටින් ඉවතට දැමූ රජතුමා, ‘ස්වාමීනි, ඉතා රසවත් වූ නුග ගෙඩිවලට කුමන විපතක් වීදැ’යි තවුසාගෙන් විමසීය. එවිට බෝසත් තෙමේ ‘පින්වත, ඒකාන්තයෙන් රජු අදැහැමියකු විය යුතුය. එසේ නොමැති නම් මෙය කෙසේවත් සිදු නොවිය හැකිය. රජවරු අදැහැමි කල්හී, සියල්ල නො පිට පෙරළේයැ’යි කියා, මේ ගාථා දේශනා කෙළේය.
ගවං වෙ තරමානානං - ජිම්හං ගච්ඡති පුංගංවො,
සබ්බා ගාවී ජිම්හං යන්ති - නෙත්තෙ ජිම්හං ගතෙ සති
යම් සේ නදිය තරණය කරන ගවයන් අතුරෙන්, ප්‍රධාන ගවයා ඇදව යේද? නායකයා ඇදේට යනවිට සෙසු ගවයෝ ම ඇදේටම යෙති.
එවමෙව මනුස්සෙසු - යො හොති සෙට්ඨ සම්මතො,
සො වෙ අධම්මං චරති - පගෙව ඉතරාපජා,
සබ්බං රට්ඨං දුක්ඛං සෙති - රාජා වෙ හොති අධම්මකො
එපරිද්දෙන් මිනිසුන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ ද? යම් විදියකින් ඔහු අධර්මයෙහි හැසිරේ නම්, සෙසු ප්‍රජාවද එසේම වේ. යම් විදියකින් රජ අධාර්මික වේද? එවිට මුළු රට දුකට වැටේ.
ගවං වෙ තරමානානං උජු ගච්ඡති පුංගවො,
සබ්බා ගාවී උජුංයන්ති - නෙත්තෙ උජුගතෙසති
ඉදින් නදිය තරණය කරන ගවයන් අතුරෙන් ප්‍රධාන ගවයා, සෘජුව යේද? නායකයා සෘජුව යන කල්හී, සෙසු ගවයෝ ද, සෘජුවම යෙති.
එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨ සම්මතො,
සොචෙපි ධම්මං චරති පගෙව ඉතරා පජා,
සබ්බං රට්ඨං සුඛං සෙති රාජාචෙ හොති ධම්මිකො
එපරිද්දෙන් මිනිසුන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ ද? යම් හෙයකින් ඔහු ධර්මයෙහි හැසිරේ නම්, සෙසු ප්‍රජාව ද එසේම වේ. ඉදින් රජ දැහැමි වේද? එවිට මුළු රටම සුවපත් වේ.
මෙහි ‘ගවං චෙ තරමානානං’ යනු ‘නදිය තරණය කරන ගවයන් අතුරෙන්’, යන අර්ථයි. ‘ජිම්හං’ නයු ‘ඇද-වක්’ යන අර්ථයි. ‘නෙත්තෙ’ යනු ‘නායකත්වය ගෙන ගමන් කරන ගව ජ්‍යෙෂ්ඨ වූ ප්‍රධාන ගවයා’ යන අර්ථයි. ‘පගෙව ඉතරා පජා’ යනු ‘සෙසු සත්තු පළමුවැන්නා අනුව අධර්මයෙහි හැසිරෙති’ යන අර්ථයි. ‘දුක්ඛං සෙති’ යනු ‘හුදෙක් වැදහෙවීමම නොව සිවු ඉරියව්හිම දුක් විඳී’, යන අර්ථයි. ‘අධම්මිකො’ යනු ‘ඉදින් රජ ඡන්‍දාදියෙන් අගතියට ගමන් කිරීම් වශයෙන් අධාර්මික වේ’ යන අර්ථයි. ‘සුඛං සෙති’ යනු ‘ඉදින් රජ අගතියට යාම අත්හැර, දැහැමි වේද? එවිට මුළු රටම සිවු ඉරියව්හිම සැපයට පත්වේ’ යන අදහසයි.
මෙසේ බෝසතුන්ගේ දහම් ඇසූ රජතුමා තමා රටේ රජු බව එතුමාට දන්වා, ‘ස්වාමීනි, මුලදී නුග ගෙඩි මිහරි කළ මම ම, පසුව ඒවා තිත්ත රස කෙළෙමි. එබැවින් නැවත වරක් මම ඒවා මිහිරි රසයට පත් කරන්නෙමැ’යි කියා, බෝසතුන් වැඳ, පෙරළා නුවරට ගොස්, දැහැමින් රාජ්‍යය විචාරා සියල්ල යථා තත්ත්වයට පත් කෙළේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කොට ජාතකය නිමවා වදාළ සේක. තවද එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. තාපසයා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
5. ජම්බුක ජාතකය (335)
‘මහා පවඩ්ඪකායො සො’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී, දෙව්දතුන් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, මීට ඉහත දී දක්වන ලදි. මේ එහි කෙටි විස්තරයකි. දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, ‘සාරිපුත්‍රය, එදා ඔබ දුටු දෙව්දත් තෙර කුමක් කෙළේදැ’යි විචාළ සේක. ඊට පිළිතුරු දෙන සැරියුත් තෙරණුවෝ, ‘ස්වාමීනි, ඔබවහන්සේ අනුකරණය කෙරෙමින් ඔහු විජිනිපත මා අතට දී, නික්ම ගොස් වැදහොත්තේය. ඉන් කිපුණු කෝකාලිකයා දෙව්දතුන් වෙත දිවගොස් නිදන දෙව්දතුන්ගේ පපුවට දණිස්සෙන් ඇන්නේය. මෙසේ දෙව්දත් ඔබවහන්සේ අනුකරණය කරන්නට ගොස් දුකම ලැබුවේ යැ’යි කීය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ ‘සාරිපුත්‍රයා, දෙව්දත් තෙමේ දැන් පමණක් නොව පෙරද මා අනුකරණය කරන්නට ගොස් දුක් වින්දේයැ’යි, වදාරා සැරියුත් තෙරුන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.