3. පක්කගෝධ ජාතකය (333)
‘තදෙව මෙ ත්වං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට ඉහත ‘සුච්චජ’ ජාතකයෙහි දී විස්තර කරන ලදි. ඒ අනුව ණය එකතු කොට ගෙන ආපසු පැමිණෙන, මේ අඹු-සැමි දෙදෙනාට අතරමගදී කිසියම් වැද්දකුගෙන් ආහාර වශයෙන් පිළිස්සූ තලගොයකු ලැබුණි. පසුව ජලාශයක් සමීපයෙහි නැවතුණු සැමියා, සිය බිරිඳට කථාකොට, ඇය පැන් ගෙන ඒමට පිටත්කොට යවා, පැළහූ තලගොයි තනිවම ගිල දැමුවේය. එසේ කොට දිය රැගෙන පැමිණි සිය බිරිඳට පැමිණි සිය බිරිඳට, ‘සොඳුර, ඔබ දියට ගිය අතරේදී තලගොයා පැන ගියේයැ’යි පැවසීය. එවිට ඔහුගේ බිරිඳ, ‘ස්වාමීනි, පිසූ තලගොයා පැන ගියේ නම් මොනවා කරන්නද? එන්න, අපි යමු’යි කීවාය. මෙසේ ගමන් කළ මේ දෙදෙනා ක්‍රමයෙන් ජේතවනාරාමයට ළඟා වූහ. දෙව්රම් වෙහෙර අසල නැවතුණු ඔවුහු, ජේතවන පොකුණෙන් පැන් බී මූණ කට සෝදා, නැවත ගමනට සූදානම් වනවිට, අසල වැඩ හුන් බුදුරදුන් දැක, වහා උන්වහන්සේ වෙත ගොස් සමීපයෙහි හිඳ ගත්හ. එවිට බුදුරජාණන් වහන්සේ අඹු-සැමි දෙදෙනා අතුරෙන් බිරිය අමතා ‘උපාසිකාවනි, ඔබේ ස්වාමි පුරුෂයා ඔබට හිතවත්ද? ස්නේහ ඇත්තේද? උපකාර වේදැ’යි අසා වදාළ සේක. ‘ස්වාමීනි, මා නම් මොහුට හිතවත්ය. ආදරේය. එහෙත් ඔහු තුළ නම්, මා කෙරෙහි ආදරයක් නැතැ’යි, බිරිඳ කීවාය. බුදුරජාණන් වහන්සේ ඇය අස්වසමින්, ‘මොහු ඔබට දිගටම මෙසේ සලකා යයි, නොසිතන්න. යම් දිනෙක ඔබේ ගුණ සිහිකරන ඔහු ඔබට සියලු යස-ඉසුරු දෙනු ඇතැ’යි වදාරා ඔවුන් වෙනුවෙන් මේ අතීත කථාව ද දේශනා කළ සේක.
මෙහි අතීත කථාව ද වර්තමාන කථාව හා සමාන වෙයි. මෙහි අඹු-සැමි දෙදෙනා, රාජ පුත්‍රයෙක් හා ඔහුගේ මෙහෙසිය වෙති. රාජපුත්‍රයා තම පියා වන මහරජුගේ නියෝගයෙන් කැළයේ දිගුකලක් සිය මෙහෙසිය සමග ජීවත්ව සිට, පියාගේ ඇවෑමෙන් බරණැස බලා පිටත්ව ගියේය. මෙසේ ගමන් කරන මේ අඹු-සැමි දෙදෙනාට වන මැද දී, වැද්දකු මුණ ගැසුණි. ඉතා වෙහෙසට පත් මේ යුවල දුටු වැද්දා, ඔවුන් කෙරෙහි අනුකම්පා උපදවා, අනුභවය සඳහා පුළුස්සන ලද තලගොයකු ඔවුන්ට දුන්නේය. රජ දුවණිය තලගොයා ද වැලකින් එල්ලා ගෙන, වතුරක් ඇති තැනකදී අනුභව කරන්නට තීරණය කොට ගෙන, සිය සැමියා සමග නැවත මගට පිළිපැන්නාය. අතරමගදී එක් විලක් දුටු ඔවුහු, ඒ අසල පිහිටි බෝ ගසක් මුලට ගොස්, හිඳ ගත්හ. එහිදී රාජ පුත්‍රයා සිය බිරිය අමතා, සොඳුර, ආහාර ගැනීමට පෙර, ඔබ විලට ගොස් අත-පය-මුහුණ-කට සෝදාගෙන, නෙලුම් කොළයකට පැන් ද රැගෙන, එනු මැනවැ’යි කියා පිටත් කෙළේය. ඇය ද ‘මැනවැ’යි පිළිගෙන තලගොයා බෝ අත්තක එල්ලා, විලට ගියාය. ඇය පැන් ගෙන අතරතුරේදී රාජ පුත්‍රයා තලගොයා වලිගය දක්වාම තනිවම කා, නඟුටේ කෙළවර පමණක් අතේ තබාගෙන බිම බලාගෙන හුන්නේය. පැන් රැගෙන ළඟට පැමිණි බිරිඳ දෙස බැලූ රාජ පුත්‍රයා, ‘සොඳුර, ඔබ දියට ගිය පසු තලගොයා බිමට පැන දිව ගොස්, තුඹසකට රිංගුවේය. ඌ පසුපස එළවාගෙන ගිය මට අල්වා ගැනීමට හැකිවූයේ උගේ වලිගය පමණි. අගින් වලිගය කඩා ගත් ඌ තුඹස ඇතුළට වැද, නොපෙනී ගියේයැ’යි කීවේය. එවිට බිරිඳ ‘ස්වාමීනි, පිළිස්සූ තලගොයා පැන දුවන්නේ නම්, මොනවා කරන්නද? එන්න, අපි, අපේ ගමන පිටත් වෙමු’යි කීවාය. මෙසේ ගමන් ඇරඹූ ඔවුහු, අනුක්රමයෙන් බරණැසට ළඟා වූහ.
එහිදී රාජ්‍යත්වයට පත්වූ රාජ පුත්‍රයා, සිය බිරිය අග මෙහෙසිය බවට පත් කෙළේය. එහෙත් ඇයට ඔහුගෙන් ලැබුණු වෙනත් සත්කාර සම්මානයක් නම් නැත. බෝසත් තෙමේ මේ රජුගේ ඇමතියෙක් විය. ඔහු රජුගේත් දේවියගේත් තතු මැනවින් දනී. ඒ නිසාම දේවිය කෙරෙහි අනුකම්පා කොට, ඇයට හිමි සම්පත් ලබාදිය යුතු යැයි තීරණය කළ මේ ඇමතිතුමා, රාජ සභාවේදීම, එනම් රජු සමීපයේදී ම දේවිය අමතා ‘ආර්යාවනි, අපට ඔබතුමියගෙන් කිසිවක් නොලැබුණි. අප දෙස නොබලන්නේ කුමක් නිසාදැ’යි කීය. එවිට අගමෙහෙසිය ‘පුතණුවනි, රජතුමාගෙන් මට ද ලැබෙන දෙයක් නැත. ඉතින් ඔබට කුමක් දෙන්නද? අප වනගතව සිට නුවර බලා එන කල්හී, වැද්දකුගෙන් තෑගි වශයෙන් ලැබුණු පිළිස්සූ තලගොයා, තනිවම ගිල දැමූ රජතුමා, දැන් මට කුමක් නම් ලබාදේ’දැයි කීවාය. එය අසා සිටි ඇමතිවරයා ‘උත්තමාවිය, එසේ නොකියනු මැනවි. රජතුමා කිසිවිටෙක එබන්දක් නොකරන්නේ යැ’යි කීවේය. එවිට රාජදේවිය පුතණුවනි, එය ඔබ නොදනී. එය දන්නේ රජුත් මාත් පමණකැ’යි පවසා මේ ගාථාව කීවාය.
තදෙව මෙ ත්වං විදිතො වනමජ්ඣෙ රථෙසභ,
යස්ස තෙ ඛග්ගඛන්ධස්ස සන්නද්ධස්ස තිරීටිනො,
අස්සත්ථ දුම සාඛාය - පක්කා ගොධා පලායථා ති
යස්ස තෙ ඛග්ගඛන්ධස්ස සන්නද්ධස්ස තිරීටිනො,
අස්සත්ථ දුම සාඛාය - පක්කා ගොධා පලායථා ති
රජතුමනි, වන මැද දී කඩුවෙන් හා සන්නාහයෙන් සන්නද්ධව වල්කොල හැඳ සිටි දා සිට, ඇසතු අත්තෙහි එල්ලන ලද පැළහූ තලගොයා පලාගිය දා සිට, මා විසින් ඔබ තේරුම් ගන්නා ලද්දෙහිය.
මෙහි ‘තදෙව’ යනු එකල සිට මොහු මට කිසිවක් නොදෙන්නෙකි, මා වෙනුවෙන් කිසිවක් නොකරන්නෙකැයි, මෙසේ ඔබ ගැන දන්නා ලදි. අන් අය ඔබේ ස්වභාවය නොදනිති’ යන අර්ථයි. ‘ඛග්ගඛන්ධස්ස’ යනු ‘කඩුවෙන් සැරසුණු’ යන අර්ථයි. ‘තිරීටිනො’ යනු ‘පට්ටා වස්ත්‍ර හැඳ සිටි’ යන අර්ථයි. (මෙය කැලයේ සිට එන කල්හි සිදුවූවකි) ‘පක්ක’ යනු ‘අඟුරුවලින් පිළිස්සූ යන අර්ථයි. ‘ගොධා පලායථ’ යනු ‘මෙසේ රජු කළ වැරදි පිරිස මැද දී ප්‍රකට කොට කීවාය’, යන අර්ථයි.
ඒ ඇසූ බෝසත් තෙමේ රාජදේවිය අමතා ‘උත්තමාවිය, ඔවුනොවුන් අතර අමනාපකම් තබාගෙන කෙසේ නම්, එක්ව ජීවත් වෙහිද? එසේ ගෙවන ජීවිතය අඹු-සැමි දෙදෙනාගේම අපහසුවට, ලතැවිල්ලට හේතු වේ. එබැවින් කුමක් නිසා තවදුරටත් මෙහි වෙසේදැ’යි කියා, දේවියට උපදේශ වශයෙන් මේ ගාථා දෙක පැවසීය.
න මෙ නමන්තස්ස භජෙ භජන්තං, කිච්චානු කුබ්බස්ස කරෙය්ය කිච්චං,
නානත්ථ කාමස්සි කරෙය්ය අත්ථං, අසම්භ ජන්තම්පි න සම්භ ජෙය්‍ය
නානත්ථ කාමස්සි කරෙය්ය අත්ථං, අසම්භ ජන්තම්පි න සම්භ ජෙය්‍ය
අවනත වන්නාට, අවනත වන්න. ඇසුර ප්‍රිය කරන්නා, ඇසුරු කරන්න. තමා ගැන සොයා බලන්නාගේ කටයුතු, සොයා බලන්න. තමාට අයහපත කරන්නාට, යහපත නො කරන්න. තමාගේ ඕනෑ එපාකම් ඉටු නොකරන්නාගේ ඕනෑ-එපාකම්, ඉටු නොකරන්න.
වජෙ වජන්තං වනථං න කයිරා, අපෙත චිත්තෙන න සම්භජෙය්ය,
දිජො දුමං ඛීණඵලංච ඤත්වා, අඤ්ඤං සමෙක්ඛෙය්ය මහාහි ලොකො
දිජො දුමං ඛීණඵලංච ඤත්වා, අඤ්ඤං සමෙක්ඛෙය්ය මහාහි ලොකො
තමා හැර දමන්නා, අත් හරින්න, (ඔහු ගැන) ආශාවක්වත් සිතේ රඳවා නොගන්න. සිතේ අමනාපයෙන් නොඇල්මෙන්, සේවය නොකරනන්. ලෝකය විශාලය. ගෙඩි නොමැති ගසක් හැරදමන කුරුල්ලකු මෙන්, වෙනත් කෙනකු ගැන විමසා බලන්න. (අනිකකු තෝරා ගන්න.)
මෙහි ‘නමෙ නමන්තස්ස’ යනු ‘යමෙක් තමා කෙරෙහි මෘදු සිතින් නැමේද? පෙරළා ඔහුට නැමෙන්නේය’, යන අර්ථයි. ‘කිච්චානුකුබ්බස්ස’ යනු ‘තමාගේ වැඩක් යෙදුණු විට එය ඉටුකර දෙන්නාට’, යන අර්ථයි. ‘අනත්ථකාමස්ස’ යනු ‘අවැඩ කරන්නාට’, යන අර්ථයි. ‘වනථංන කයිරා’ යනු ‘තමා අත්හළ කල්හී, ඔහු කෙරෙහි ආශාව-සෙනෙහස-ඇල්ම නොකරන්න’, යන අර්ථයි. ‘අපෙතචිත්තෙන’ යනු ‘අමනාපයෙන් නොඇලුණු සිතින් යන අර්ථයි. ‘න සම්භජෙය්ය’ යනු ‘එක් නොවන්නේය’ යන අර්ථයි. ‘අඤ්ඤං සමෙක්ඛෙය්ය’ යනු ‘අනෙකකු සොයා බලන්නේය. යම් සේ කුරුල්ලෙක් ගස ඵල රහිත බව දැන, වෙනත් ඵල භරිත ගසක් කරා යා ද? එසේ ඇලුම් රහිත පුරුෂයා තේරුම් ගෙන, වෙනත් සෙනේවන්තයකු වෙත එළඹෙන්නේය’ යන අදහසයි.
බෝසතුන්ගේ මේ කථාව අසන්නට අසන්නට, රජතුමාගේ සිත දේවිය කෙරෙහි වඩාත් සමීප වන්නට විය. දේවියගේ නොයෙක් ගුණ සිහිකළ රජතුමා සිය දේවිය අමතා, ‘සොඳුර, මෙපමණ කලක් ඔබ ගැන නොසලකා හැරීම සම්බන්ධයෙන් සිත් අමනාප කොට නොගන්න. පඬිවරයකුගේ උතුම් කථාවක් නිසා, ඔබේ ගුණ වඩ වඩා මට සිහිවිය. මගේ වැරදි මෙතෙක් ඉවසා සිටි ඔබට, මගේ මේ මුළු රාජ්‍යයම දෙමි’යි කියා, මේ ගාථාවද ප්‍රකාශ කෙළේය.
සො තෙ කරිස්සාමි යථානුභාවං, කතඤ්ඤුතං ඛත්තියෙ පෙක්ඛමා නො,
සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි, යස්සිස්සසී තස්ස තුවං දදාමි
සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි, යස්සිස්සසී තස්ස තුවං දදාමි
දේවිය, ඔබේ කෘතඥ බව තේරුම් ගත්, ඒ මම ශක්ති පරිද්දෙන් ඔබට යුතුකම් ඉටු කරන්නෙමි. ඔබට සියලු ඉසුරු දෙමි. ඔබ යමකුට යමක් දීමට රිසි වෙහිද? ඒවාද දෙමි.
මෙහි ‘සො’ යනු ‘ඒ මම’, යන අර්ථයි. ‘යථානුභාවං’ යනු ‘ශක්තිය හා බලය අනුව’, යන අදහසයි. ‘යස්සිච්ඡසි’ යනු ‘ඔබ යමකුට යමක් දීමට රිසිද? ඔහුට මේ රාජ්‍යය ආදි කොට ඇති සියල්ල දෙමි’ යන අර්ථයි.
මෙසේ කියා රජතුමා දේවියට සියලු යස-ඉසුරු දුන්නේය. තමාට දේවියගේ ගුණ සිහිපත් කරවූයේ මොහු යැයි සලකා, පණ්ඩිත වූ ඇමතිතුමාටද, මහත් යස-ඉසුරු තෑගි කිරීමට, රජතුමා අමතක නොකෙළේය.