2. රථලට්ඨි ජාතකය (332)
‘අපි හන්ත්වා හතො බ්රෑති’ යනු ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, කොසොල් රජුගේ පුරෝහිතයා අරබයා වදාළ සේක. එක්තරා දවසක මේ පුරෝහිතතුමා සිය රථයට නැගී, රජුගෙන් තමාට ලැබී භුක්ති විඳින ගමෙහි, ඇවිදින්නට හා ගම පරීක්ෂා කරන්නට ගියේය. අබලන් වූ පටු මාවතක, ඉතා අපහසුවෙන් කරත්තය දක්කාගෙන යන පුරෝහිතතුමාට, ඉදිරියෙන් එන ගැල් සාත්තුවක් මුණගැසුණි. ඔහු තමාගේ රථය නතරකොට, ඉදිරියට පැමිණි ගැල්කරුවන්ට කථාකොට, ‘නුඹලාගේ රථ වහා ඉවතට ගනිවු’ යැයි හඬ ගා කීයේය. ගැල්කරුවන් ඔහුගේ කීම ගණන් නොගන්නා බව දුටුවිට, කිපුණු ඔහු තම කෙවිටෙන් ඉදිරියේම තිබූ රථයේ බඳින ලද ගොනුන්ට පහර දුන්නේය. එවිට රථයේ වියගසේ වැදුණු කෙවිට, උඩට මතු වී අවුත් පුරෝහිතයාගේ නළලෙහි වැදී නළල ගෙඩි ගැසුණි. වහා රථය ආපසු හරවා ගත් ඔහු රජවාසල වෙත පැමිණ, ගැල්කරුවන් තමාට පහර දුන් බව, රජුට පැමිණිලි කළේය. වහා ක්රියාත්මක වූ රජතුමා, ගැල්කරුවන් තමා වෙත ගෙන්වා යුක්තිය පසිඳන කල්හි, වරදකරුවා පුරෝහිතයාම බව අවබෝධ කොට ගෙන, ගැල්කරුවන් නිදොස් කොට පිටත් කෙළේය.
එක්දිනක් දම්සභාවෙහි රැස් වූ භික්ෂූහු, රජුගේ පුරෝහිතයා ගැල්කරුවන් සමග නඩු කියන්නට ගොස් පරාද වූ ආකාරය ගැන කතා කරමින් හුන්හ. ඒ අතර එතැනට පැමිණි බුදුරජාණන් වහන්සේ, එවේලෙහි සාකච්ඡා කළ කරුණු භික්ෂූන්ගෙන් අසා දැන, ඔවුන් අමතා, ‘මහණෙනි, මේ පුරෝහිතයා දැන් පමණක් නොව පෙරද, මෙවැනි දේ කෙළේ යැ’යි මේ අතීත කථාව දේශනා කළ සේක. අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ඒ රජුගේ අධිකරණ ඇමැතියා විය. දිනක් රජුගේ පුරෝහිත තුමා රථයට නැගී ගමනක් යනවිට, ගැල්කරුවන් පිරිසක් මුණගැසී ඉහත කී ආකාරයෙන්ම, අනුන්ට පහරදීමට ගොස් තමාම, තුවාල කර ගත්තේය. සිද්ධිය පෙර පරිදිම විය. රජතුමා ද ගැල්කරුවන් රාජසභාවට වහා පමුණුවා නඩු විභාගයක් නොකොටම ගැල්කරුවන් සතු සියලු ධනය රාජසන්තක කරන මෙන් අණ කෙළේය. මේ අවස්ථාවේ වහා නැගී සිටි අධිකරණ ඇමතිවරයා, ‘රජතුමනි, සමහරු අනුන්ට පහර දී, තමාට පහර දුන් බව කියති. එබැවින් විභාග නොකොට වරදකරුවන් කිරීම අයුතුය. විශේෂයෙන් රජකු විසින් එසේ කිරීම, කිසිසේත් නො හොබී යැ’යි පවසා, මේ ගාථාවන් ද ප්රකාශ කෙළේය.
අපි හන්ත්වා හතො බ්රෑති - ජෙත්වා ජිතොති භාසති,
පුබ්බ මක්ඛායිනො රාජ - එකදත්ථුං න සද්දහෙ
පුබ්බ මක්ඛායිනො රාජ - එකදත්ථුං න සද්දහෙ
ඇතැමෙක් පහර දී ‘පහර ලදිමි’යි කියයි, පැරදී ‘දිනුවෙමි’යි කියයි. රජතුමනි, මුලින් ඇවිත් කියන තැනැත්තා එකහෙලා විශ්වාස නොකරනු මැනවි.
තස්මා පණ්ඩිත ජාතියො - සුණෙය්ය තෙරස්සපි,
උභින්නං වචනං සුත්වා - යථා ධම්මො තථාකරෙ
උභින්නං වචනං සුත්වා - යථා ධම්මො තථාකරෙ
එබැවින් පණ්ඩිත පුරුෂයා අනෙකාට ද, ඇහුම්කන් දෙන්නේය. දෙදෙනාගේම වචන අසා, යුක්තියට අනුව ක්රියා කරන්නේය.
අලසො ගිහී කාම භොගී න සාධූ - අසඤ්ඤතො පබ්බජිතො න සාධූ,
රාජාන සාධූ අනිසම්මකාරී - යො පණ්ඩිතෙ කොධනො තං න සාධූ
රාජාන සාධූ අනිසම්මකාරී - යො පණ්ඩිතෙ කොධනො තං න සාධූ
කම් සැප විඳින අලස ගිහියා හොඳ නැත. අසංවර පැවිද්දා ද හොඳ නැත. විමසා බලා කටයුතු නොකරන රජුද හොඳ නැත. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු ද, එයද හොඳ නැත.
නිසම්ම ඛත්තියො කයිරා - නානි සම්ම දිසම්පති,
නිසම්මකාරිනො රඤ්ඤො - යසො කිත්තිඤ්ච වඩ්ඪතී ති
නිසම්මකාරිනො රඤ්ඤො - යසො කිත්තිඤ්ච වඩ්ඪතී ති
රජතුමා විමසා බලා කටයුතු කරන්නේය. දිසාපති නම් වූ රජ අපරීක්ෂාකාරී ව කටයුතු නොකරන්නේය. විමසා බලා කටයුතු කරන රජුගේ යසස (පරිවාර සම්පත්තිය) ද කීර්තිය ද වැඩේ.
මෙහි ‘අපි හන්ත්වා’ යනු ‘ඇතැමෙක් විහින් හානි සිදු කොටගෙන අනෙකෙක් පහර දුන්නේ යැයි කියයි. ප්රකාශ කරයි’ යන අර්ථයි. ‘පෙත්වා ජිතො’ යනු ‘තමාම පරාද වී මම දිනුවෙමියි කියයි’ යන අර්ථයි. ‘එතදත්ථුං’ යනු ‘රජතුමනි, පළමුව රජමැදුරට විත් පැමිණිලි කරන්නාගේ, එනම් මුලින් කියන්නාගේ වදන් ඒකාන්ත කොට විශ්වාස නොකරන්නේය, ඔහුගේ වචනය එකහෙළා නොපිළිගන්නේය’ යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් මුලින්ම පැමිණ කියන්නාගේ ඒකාන්ත වචන නො ඇදහිය යුතුද? එහෙයිනි’, යන අර්ථයි. ‘යථා ධම්මො’ යනු ‘නියම විනිශ්චයක පිහිටා සිට එසේ කරන්නේය’ යන අර්ථයි.
‘අසඤ්ඤතො’ යනු ‘කායාදියෙන් අසංවර වූ දුස්සීලයා’ය. ‘තං ත සාධු’ යනු පණ්ඩිත වූ ඒ නුවණැති පුද්ගලයාට පක්ෂග්රාහී වීම නිසා, දැඩි කෝප සංඛ්යාත යම් තරහක් ඇති වී නම්, එය නුසුදුසුය,’ යන අර්ථයි. ‘නානිසච්ච’ යනු ‘පරීක්ෂා නොකොට’, යන අර්ථයි. ‘දිසම්පති’ යනු ‘දිසාවන්ට ස්වාමී වූ මහරජතුමනි’, යන අර්ථයි. ‘යසො කිත්ති ච’ යනු ‘ඉසුරුමත් බව, පරිවාර සම්පත්තිය හා කීර්ති ශබ්දය ද වැඩේ’, යන අර්ථයි.
බෝසතුන්ගේ මේ වචන ඇසූ රජතුමා නැවත නඩුව ධර්මානුකූලව, විනිශ්චය කෙළේය. අනතුරුව වැරදිකරුවා පුරෝහිත බමුණා බව දැන විත්තිකාර පිරිස නිදොස් කොට පිටත්කර හැරියේය.