1. කෝකාලික ජාතකය (331)
‘යො වෙ කාලෙ අසමපත්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී, කෝකාලිකයා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තක්කාරිය’ ජාතකයෙහි දක්වන ලදි. එහි අතීත කථාව පහත දැක්වේ.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හී, බෝසත් තෙමේ, ඒ බඹදත් රජුගේ ඇමැතියෙක් විය. රජතුමා ‘බහුභාණී’ (බොහෝ කොට කථා කරන) තැනැත්තෙක් විය. බෝසත් තෙමේ රජුගේ මේ දුර්වලතාව බැහැර කරන්නට බොහෝ උත්සාහ ගත්තේය. ඊට උපායක් සිතමින් සිටි එක්දිනක. ඔහු රාජකීය උද්‍යානයට අහම්බෙන් මේ ගියේය. රජු හුන් තැන අඹගසක් තිබුණි. එහි රජුට ඉහළින් තිබූ අත්තක කාක් කූඩුවකි. එක් කෙවිලියක් ඒ කූඩුවේ හොරෙන් බිත්තරයක් දමා පැන ගියාය. මේ ගැන කිසිත් නොදත් කැවිඩිය කොවුල් බිත්තරය තමාගේ කොට සිතා රැක්කාය. පසුකලෙක නිසි වේලාවට බිත්තරයෙන් පැටවෙක් නික්මුණි. මේ අතර කැවිඩිය ‘පැටවා තමාගේම යැ’යි සිතා, කෑම සොයා ගෙනවුත් මුව තුඩින් ඒවා ඌට කවමින් පෝෂණය කළාය. අවාසනාවන්ත වූ මේ පැටියා තම පියාපත් මෝරන්නට, සකස් වන්නට කලින්ම කොවුල් හඬ නැගීය. අකාලයේ නාද කළ, මේ අසරණ පැටවාගේ හඬ ඇසූ කැවිඩිය කලබල වී ‘කුඩා කලදීම අමුතු හඬ නගන මූ, ලොකු වූ විට කුමක් නම් නොකෙරේදැ’යි අමනාපව හොටෙන් ඇන, පැටවා මරා කූඩුවෙන් එළියට ඇද දැමුවාය. මළ කොවුල් පැටියා රජුගේ පාමුලට වැටුණි.
ඒ දුටු රජතුමා බෝසත් ඇමතිතුමා අමතා ‘මේ මොකදැ’යි විමසීය. රජතුමාගේ වාචාලකම දුරුකිරීමට උපායක් සොයමින් සිටී, ඇමතිතුමා ‘මේ ඊට කදිම අවස්ථාවෙකැ’යි සතුටුව ‘මහරජතුමනි, බොහෝකොට කථාකරන වාචාල උදවිය මේ බඳු විපාක ලබති. රජතුමනි, මේ කොවුල් පැටවා කැවිඩිය විසින් පෝෂණය කරන ලදුව, පියාපත් ඇදෙන්නට පෙරාතුවම නොකල්හි, කොවුල් හඬින් හැඬලීය. එවිට කැවිඩිය ‘මේ මගේ පුතකු නොවේ යැ’යි සිතා මුවතුඩින් ඇන මරා බිම හෙළුවායැ’යි උත්තර දුන්නේය. තවදුරටත් කථා කළ, ඇමැතිවරයා ‘රජතුමනි, මිනිසුන් හෝ වේවා, තිරිසනුන් හෝ වේවා, කවුරුන් නමුත් වාචාල උදවිය මේ බඳු වූ දුක් ලබති’යි කියා, මේ ගාථා පැවසීය.
යො චෙ කාලෙ අසම්පත්තෙ - අතිවෙලං පභාසති,
එවං සො නිහතො සෙති - කොකිලායිව අත්‍රජො
යමෙක් ඒකාන්තයෙන් නිසි වේලාවට පෙර, කල් ඇතිව කතා කෙරේද? ඔහු කෝකිලාවගේ පුතා මෙන් නැසුනේ, මෙසේ හෝනේය.
2. හලාහල විසක් මෙන් නපුරු වචන යම් සේ, එම මොහොතෙහිම විපතට හෙළාද? ඉතා තියුණු ආයුධය වුව, එතරම් නපුරු නොවේ.
3. එබැවින් කල්හිද, නොකල්හිද, පණ්ඩිත තෙමේ වචනය රක්නේය. සිය ආත්මය හා සමාන කෙනකු ළඟදී වුවත්, වැඩිපුර කථා නොකරන්නේය.
4. ප්‍රඥාව පෙරදැරි විචක්‍ෂණ පුද්ගලයා සුදුසු කල්හි, ප්‍රමාණවත්ව කථා කරන්නේය. ඔහු ගුරුළෙක් උරගයකු ඩැහැ ගන්නාක් මෙන්, සියලු සතුරන් ග්‍රහණය කොට ගනී.
මෙහි ‘කාලෙ අසම්පත්තෙ’ යනු ‘තමා කතා කළ යුතු කාලය නොපැමිණි කල්හි’ යන අර්ථයි. ‘අතිවේලං’ යනු ‘වේලාව ඉක්මවා වැඩිපුර ප්‍රමාණයක් කථා කිරීම’යි. ‘හලාහලම්මිව’ යනු ‘හලාහල විෂ වැනිය’ යන්නයි. ‘නිකට්ඨෙ’ යනු ‘ඒ මොහොතෙහිම, අල්පමාත්‍ර කාලයක් තුළ’, යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් තියුණු ආයුධයටත් හලාහල විෂටත් වඩා වැඩි වේගයෙන් නපුරු වචන විපතට හෙළයි’ යන අර්ථයි. ‘කාලෙ අකාලෙච’ යනු ‘කථා කිරීමට සුදුසු කල්හි හා නුසුදුසු කල්හී’ යන අර්ථයි. ‘වාචං රක්ඛෙය්‍ය’ යනු ‘සිය ආත්මය හා සමාන තමන්ගේම පුද්ගලයකු ළඟදී වුවත් වැඩි වේලාවක් කථා නොකරන්නේය.’ යන අර්ථයි.
‘මතිපුබ්බො’ යනු ‘ප්‍රඥාව පෙරදැරි කොටගෙන කථා කිරීම කරණ කොටගෙන ඔහු මතිපුබ්බ නම් වේ’ යන අර්ථයි. ‘විචක්ඛණො’ යනු ‘ඤාණයෙන් විචාරා අර්ථය අවබෝධ කරගන්නා පුද්ගලයා විචක්‍ෂණ නම් වේ. ‘උරගං ඉව’ යනු ‘උරගයකු මෙන්’ යන අර්ථයි. මෙසේද කියන ලදි. ගුරුළෙක් යම්සේ සමුදුර කළඹා විශාල දරණ වැලක් ඇති උරගයකු ඩැහැ ගනීද? අල්ලා ගනීද? එසේ ගෙන එකෙණෙහිම, ඌ ඉඹුල් ගසකට ගෙන ගොස් මස් කයිද? එපරිද්දෙන් ම ප්‍රඥාව පෙරටු කොට ඇති, යම් විචක්‍ෂණ පුද්ගලයෙක් කථා කිරීමට සුදුසු කල්හි ප්‍රමාණවත්ව කථා කෙරේද? ඔහු සියලු පසමිතුරන් සිත් ගනී, ග්‍රහණය කොට ගනී, තමාගේ වසඟයෙහි පවත්වයි, යන අදහසයි.
රජතුමා බෝසතුන්ගේ මේ දම්දෙසුම මැනවින් අසා, එතැන් පටන් ‘මිතභාණී’ (ප්‍රමාණවත්ව කථා කරන්නෙක්) විය. එපමණක් නොව එතුමා බෝසත් ඇමැතිතුමන්ට මහත් වූ යශස් සම්පත් ද පිරිනැමුවේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කොවුල් පැටවා නම්, මෙදා කොකාලිකයාය. පණ්ඩිත වූ ඇමතියා නම්, ‘මම ම වීමි යි’ බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
2. රථලට්ඨි ජාතකය (332)
‘අපි හන්ත්‍වා හතො බ්‍රෑති’ යනු ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, කොසොල් රජුගේ පුරෝහිතයා අරබයා වදාළ සේක. එක්තරා දවසක මේ පුරෝහිතතුමා සිය රථයට නැගී, රජුගෙන් තමාට ලැබී භුක්ති විඳින ගමෙහි, ඇවිදින්නට හා ගම පරීක්‍ෂා කරන්නට ගියේය. අබලන් වූ පටු මාවතක, ඉතා අපහසුවෙන් කරත්තය දක්කාගෙන යන පුරෝහිතතුමාට, ඉදිරියෙන් එන ගැල් සාත්තුවක් මුණගැසුණි. ඔහු තමාගේ රථය නතරකොට, ඉදිරියට පැමිණි ගැල්කරුවන්ට කථාකොට, ‘නුඹලාගේ රථ වහා ඉවතට ගනිවු’ යැයි හඬ ගා කීයේය. ගැල්කරුවන් ඔහුගේ කීම ගණන් නොගන්නා බව දුටුවිට, කිපුණු ඔහු තම කෙවිටෙන් ඉදිරියේම තිබූ රථයේ බඳින ලද ගොනුන්ට පහර දුන්නේය. එවිට රථයේ වියගසේ වැදුණු කෙවිට, උඩට මතු වී අවුත් පුරෝහිතයාගේ නළලෙහි වැදී නළල ගෙඩි ගැසුණි. වහා රථය ආපසු හරවා ගත් ඔහු රජවාසල වෙත පැමිණ, ගැල්කරුවන් තමාට පහර දුන් බව, රජුට පැමිණිලි කළේය. වහා ක්‍රියාත්මක වූ රජතුමා, ගැල්කරුවන් තමා වෙත ගෙන්වා යුක්තිය පසිඳන කල්හි, වරදකරුවා පුරෝහිතයාම බව අවබෝධ කොට ගෙන, ගැල්කරුවන් නිදොස් කොට පිටත් කෙළේය.