9. කාළබාහු ජාතකය (329)
‘යං අන්නපාණස්ස’ යන මේ ගාථා කොටස අයත් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ලාභ සත්කාරයෙන් පිරිහුණු දෙව්දතුන් අරබයා දේශනා කොට වදාළ සේක. දෙව්දත් තෙරුන් විසින් කිසිදු හේතුවක් නැතිව, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳ, දුනුවායන් යොදා, උන්වහන්සේ ඝාතනය කිරීමට ගත් උත්සාහයත්, ඒ සඳහාම නාළාගිරි ඇතු යෙදවීමෙන් සිදුකළ අපරාධයත්, ඉතා ප්‍රකටය. මේ හේතු නිසාම මිනිස්සු දෙව්දතුන්ට, එතෙක් කළ සියලු සත්කාර අත්හළහ. රජතුමා ද ඔහුගේ ඇසුර ප්‍රතික්‍ෂේප කෙළේය. ලාභ සත්කාරයෙන් පිරිහුණු දෙව්දත් තෙර, ඒ ඒ පවුල්වලට කල්තියා දැනුම් දී, දානය ඉල්ලාගෙන කෑමේ තත්ත්වයට වැටුණි. මේ සිද්ධිය භික්‍ෂූහු දම්සභාවේදී සාකච්ඡා කරමින් හුන්හ. එවිට එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන්ගෙන් ඔවුන් සාකච්ඡා කළ කරුණු ගැන විමසා සිටි සේක. එවිට ඒ භික්‍ෂූහු බුදුරදුන්ට උත්තර දෙමින් ‘හිමියනි, අලුතින් ලාභ ඉපදවීමට ගිය දෙව්දත් තෙර, එතෙක් ලැබූ ලාභද, නැතිකොට ගත්තේ යැ’යි පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, දෙව්දතුන්ට මෙසේ වූ පළමු අවස්ථාව මෙය නොවේ. පෙර ද එසේ වී යැ’යි වදාරා නිදසුන් ලෙස මේ අතීත කථාව වදාළ සේක.
පෙර බරණැස් නුවර ධනංජය රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙමේ, ගිරවෙක්ව ඉපිද ‘රාධ’ නමින් ප්‍රකට විය. මහත් පිරිවර ඇති, පිරිපුන් සිරුරකින් හෙබි ඔහුට ‘පොට්ඨපාද’ නමින් බාල සොයුරෙක් ද විය. දිනක් එක් වැද්දෙක් ඉහත කී ගිරවු දෙදෙනා අල්ලාගෙන ගොස්, බරණැස් රජුට තෑගි කෙළේය. රජතුමා ගිරවුන් දෙදෙනාම එක් රන් කූඩුවෙක බහා, රන් තැටිවල මීපිඬු පුරවා, ඒවා කවමින්ද, සකුරු පැන් පොවමින්ද, ගිරවුන් දෙදෙනාට මහත් සේ සත්කාර කරමින්, පෝෂණය කෙළේය. මෙසේ ගිරවු දෙදෙනා මහත් වූ ලාභ සත්කාරයටද, ඉමහත් කීර්තියට ද පත්වූහ. මේ අතර වෙනත් වැද්දෙක් විශාල කළු වඳුරකු අල්ලාගෙන ඌට ‘කාළබාහු’ යන නම යොදා රජවාසලට ගෙනැවිත් රජුට තෑගි කෙළේය. පසුව පැමිණි නිසා, ඌට එනම් කාළබාහුට ලාභ සත්කාර වැඩිපුර ලැබුණි. ගිරවුන්ට තිබූ සැලකිල්ල ටිකෙන් ටික අඩු වී ගියේය. ‘තාදී’ (අටලෝ දහමින් කම්පා නොවන) ගුණයෙන් යුතු වූ බෝසත් තෙමේ, උපේක්‍ෂාවෙන්, කිසිත් නොකියා සියල්ල ඉවසා සිටියේය. එහෙත් ඔහුගේ බාල සොයුරා තාදී ගුණයෙහි නොපිහිටා සිටි බැවින්, වඳුරාගේ ඉසුරුමත් බව නො ඉවසමින්, සිය වැඩිමහල් සොයුරා අමතා, සොයුර, පෙර මේ රජමැදුරෙහි මිහිරි රසැති කෑම බීම ආදිය, අපටම ලැබුණි. දැන් දැන් ඒ සියල්ල කාළබාහුවා හිමිකර ගනියි. එසේ අපට ධනංජය රජුගෙන් සැලකිල්ල නොලැබෙන්නේ නම්, මෙහි හිඳීමෙන් පලක් නැත. එබැවින් අපි මෙතැනින් පිටව කැලයට ගොස් එහි සුවසේ වසමු’යි කියා, ඒ අදහස මෙසේ ගාථාවකින්ද පැවසීය.
යං අන්නපාණස්ස පුරෙ ලාභාම - තන්‍දානි සාඛා මිගමෙව ගච්ඡතී,
ගච්ඡාමදානි වනමෙව රාධ - අසක්කතා වස්ම ධනඤ්ජයාති
පෙර අපි රජුගෙන් ආහාරපාන ලැබුවෙමු. ඒ සියල්ල දැන් වඳුරාට ලැබේ. රාධයිනි, ධනංජය රජුගේ සත්කාරයෙන් බැහැර වූ, අපි දැන් කැලයටම යමු.
මෙහි ‘යං අන්නපාණස්ස’ ‘යම් ආහාරපාන වර්ගයක් මේ රජුගේ සමීපයෙන් යනුවෙන් උපයෝග අර්ථයේ ස්වාමි විභක්තිය මෙහි යෙදී ඇත. ‘ධනංජයාය’ යනුවෙන්, කරණාර්ථයෙහි සම්ප්‍රදානය යෙදී ඇත. ‘ධනංජය රජ කරණකොට ගෙන’ යන අර්ථයි. ‘අසක්කතාචස්ම’ යනු ‘ආහාරපාන නොලබමු. මොහු විසින් සත්කාර නොකරන ලද්දෝ වෙමු’, යන අර්ථයි.
මේ ඇසූ ‘රාධ’ සිය සොයුරාට මෙසේ කීය.
2. ලාභ-අලාභ, අයස-යස, නින්දා-ප්‍රශංසා, සැප-දුක යන මේ ධර්මයෝ මිනිස් චර්යා විෂයෙහි අනිත්‍ය වෙති. පොට්ඨපාද, ශෝක නොකරව. කුමට දුක්වෙහිද?
මෙහි ‘යසො’ යනු ‘ඉසුරුමත් බව හා පරිවාර සම්පත්තිය’යි. ‘අයසො’ යනු ‘එයින් තොර බව’යි. ‘එතෙ’ යනු ‘මේ අටලෝ දහම් යන අර්ථයි. ‘මනුජෙසු අනිච්චා’ යනු ‘උසස් ලාභයට හා යශසට හිමිව සිට පසුකලෙක අල්ප වූ ලාභ හා අල්ප වූ සත්කාර හිමිවීම’යි. හැම කල්හිම ලාභ ලබන්නෙක් නැත. යශස් ආදිය සම්බන්ධව ද ක්‍රමය. මෙසේමය.
ඒ ඇසූ ‘පොට්ඨපාද’ වඳුරා කෙරෙහි ඇතිකොට ගත්, ඊර්ෂ්‍යාව බැහැර කරගැනීමට, අපොහොසත්ව මෙසේ පැවසීය.
3. රාධයනි, අනාගත අර්ථයන් දන්නා වූ, ඔබ ඒකාන්තයෙන්ම පණ්ඩිතයෙකි. රජ පවුලෙන් නෙරපන ලද, හීන වූ වඳුරකු කෙසේ නම් දකින්නෙමුද?
මෙහි ‘කථං’ යනු ‘කවර නම් උපායකින්’, යන අර්ථයි. ‘දක්ඛිසාම’ යනු ‘දකින්නෙමුද’ යන අර්ථයි. ‘නිද්ධාපිතං’ යනු ‘ඉවත් කරන ලද, බැහැර කරන ලද’, යන තේරුමයි. ‘ජම්මං’ යනු ‘ලාමක’ යන අර්ථයි.
මේ ප්‍රකාශය අසා සිටි ‘රාධ’ මෙසේ පැවසීය.
4. ‘කාළ බාහු’ නම් වඳුරා කන් සැලීම ද, බැම හැකිලීම ද, රාජ කුමරුවන් බිය වැද්දීම ද කරයි. එබැවින් ආහාරපානවලින් ඈත්වීමේ ක්‍රියාවලිය ඌ ම කරයි.
මෙහි ‘භායයතෙ කුමාරෙ’ යනු ‘රාජ කුමරුවන් බියට පත් කරයි’, යන අර්ථයි. ‘යෙනාරකා ඨස්සති’ යනු ‘යම් කරුණෙකින් මොහුගෙන් ආහාරපාන දුරස් වේද, තමා ම ඒ කටයුත්ත කරන්නේය. නුඹ ඒ ගැන නො සිතව’, යන අදහසයි.
කාළබාහුවා ද වැඩි දවසක් යන්නට පෙර, කන් සෙලවීම් ආදියෙන් රාජ කුමාරවරුන් බිය ගැන්වීය. බියට පත් රාජ කුමාරවරු අසරණව මහ හඬින් කෑ ගැසූහ. එවිට රජතුමා, ‘ඒ කිමෙක්දැ’යි, රාජ පුරුෂයන්ගෙන් කරුණු විමසා බලා දැන, ‘වහා ම වඳුරා මාලිගයෙන් ඉවත් කරවු’ යැයි, රාජ පුරුෂයන්ට අණ කෙළේය. මෙසේ වැඩිකල් නොයාදීම වඳුරා ලාභ සත්කාරයෙන් පිරිහුණි. ඒත් එක්කම ගිරවුන්ට නැවත මහත් සත්කාර ලැබෙන්නට පටන් ගත්තේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා ‘කාළබාහු’ නම් වඳුරා, අද දේවදත්තය. පොට්ඨපාද නම් වූ ගිරවා, ආනන්ද තෙරණුවෝය. ‘රාධ’ වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
10. සීලවීමංස ජාතකය (330)
‘සීලං කිරෙව කල්‍යාණං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සේක්, ‘සීල වීමංසක’ බමුණා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවත්, අතීත කතාවත් යන කථා වස්තු දෙකම කලින් දක්වන ලදි. මේ ජාතක කථාවේදී බෝසත් තෙමේ බරණැස් රජුගේ පුරෝහිතයා විය. එතුමා තමන්ගේම සීලය පරීක්‍ෂා කරමින් දින තුනකදී රන් පුවරුවකින් කහවණුව බැගින් ගත්තේය. ආරක්ෂක පුරුෂයෝ ඔහු සොරකු බව කියා රජුට දැක්වූහ. එවිට බෝසත් තෙමේ රජු ඉදිරියේ සිට මේ ගාථාව පැවසීය.