10. සීලවීමංස ජාතකය (330)
‘සීලං කිරෙව කල්යාණං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සේක්, ‘සීල වීමංසක’ බමුණා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවත්, අතීත කතාවත් යන කථා වස්තු දෙකම කලින් දක්වන ලදි. මේ ජාතක කථාවේදී බෝසත් තෙමේ බරණැස් රජුගේ පුරෝහිතයා විය. එතුමා තමන්ගේම සීලය පරීක්ෂා කරමින් දින තුනකදී රන් පුවරුවකින් කහවණුව බැගින් ගත්තේය. ආරක්ෂක පුරුෂයෝ ඔහු සොරකු බව කියා රජුට දැක්වූහ. එවිට බෝසත් තෙමේ රජු ඉදිරියේ සිට මේ ගාථාව පැවසීය.
සීලං කිරෙව කල්යාණං - සීලං ලොකෙ අනුත්තරං,
පස්ස සොරවිසො නාගො - සීලවාති න හඤ්ඤතී ති
පස්ස සොරවිසො නාගො - සීලවාති න හඤ්ඤතී ති
ලොව ශීලය වූ කලී යහපත් දෙයකි. ශීලය අනුත්තරය. බලනු මැනවි, ‘විෂඝෝර නාගයා සිල්වතෙකැ’යි සිතා නසනු නො ලැබේ.
මේ පළමු ගාථාවෙන් බෝසත් තෙමේ ශීලය වර්ණනා කොට පැවිදිවනු සඳහා රජුගෙන් අනුමැතිය ලබාගෙන පැවිදි වීමට ගියේය.
මේ අතර එතුමාට කිසියම් දිනෙක මස් කඩයකින් මස් පෙත්තක් ඩැහැගත් එක් උකුස්සකු දක්නට ලැබුණි. මස් පෙත්තක් ඩැහැගෙන අහසට නැගුණු උකුස්සා දුටු, වෙනත් කුරුල්ලෝ රංචු පිටින් ඌ වටකොට ගෙන, නියවලින්ද, හොටවලින්ද, කොටන්නට පටන් ගත්හ. දුක ඉවසාගත නොහුණු උකුස්සා මස් පෙත්ත අත් හළේය. වෙනත් කුරුල්ලෙක් එය ඩැහැගත්තේය. සෙසු කුරුල්ලෝ උකුස්සා අතහැර මස් පෙත්ත ඩැහැගත් කුරුල්ලා පසුපසම ලුහුබැඳ ගියහ. මෙසේ යම් යම් කුරුල්ලෙක් මස් පෙත්ත ගනීද? ඒ ඒ කුරුල්ලා පසුපස සෙස්සෝ ලුහුබැඳ ගොස් හිංසා කරන්නට වූහ. යම් යම් කුරුල්ලෙක් මස් පෙත්ත අත් හළේද? ඌ නිදුකින් අහසේ පියඹා ගියේය. බෝසත් තෙමේ ඉහත කී සිදුවීම පරීක්ෂාවෙන් බලා සිට ‘කාමය වූ කලී මස් පෙත්තක් වැනිය. එය ගත් ගත් සතා දුකට වැටේ, අත්හළ කෙනාට සැප ලැබේ යැ’යි, නුවණින් සලකා බලා මේ ගාථාව ප්රකාශ කෙළේය.
2. යම්තාක් ඌ ළඟ කිසියම් ආහාරයක් වීද? ඒ තාක් සෙසු උකුස්සෝ එකතුව, ඌ හපා කෑහ. ලොව කිසිවක් නැත්තාට හිංසා නොකෙරෙති.
යම්තාක් කල් මේ උකුස්සාගේ මුවෙහි මස් පෙත්තක් වීද? ඒ තාක් කල් මෙලොව අන් උකුස්සෝ, ඌ සපා කෑහ. මස් පෙත්ත අත් හළ කල්හී, කිසිදු අහරක් තමා වෙත නැති කල්හී, බැඳුම් ඇති විය හැකි කිසිවක් තමා ළඟ නැති කල්හී, ඒ කුරුල්ලාට සෙසු කුරුල්ලෝ හිංසා නො කෙරෙති, යන අදහසයි.
අනතුරුව බෝසත් තෙමේ නුවරින් නික්ම යනවිට අතරමග දී රෑ වූ බැවින්, එක් ගමක කිසියම් නිවෙසක නැවතුනේය. එම නිවසේ ‘පිංගලා’ යන නමින් යුතු දාසියක් වූවාය. ඇය, ඈ සමග හිතවත්කම් පෑ එක් පුරුෂයකුට, හොර රහසේ තමා කරා, අසවල් වේලාවට පැමිණෙන ලෙස, කිසිවෙකුට නො පෙනෙන පරිද්දෙන් සන් කළාය. නමුත් ඈගේ ඒ ක්රියාව බෝසතුන්ට රහසක් නොවීය. රෑ වූ විට ඒ දාසිය සිය හාම්පුතුන්ගේ පා සෝදා, සෙසු මෙහෙවර නිමකොට, ගෙදර අය නිදන තෙක් විමසිල්ලෙන් බලා සිටියාය. අනතුරුව, ගෙදර අය නින්දට වැටුණු පසු, ඇය එලිපත්ත මත වාඩිවී, සිය හිතවත් පුරුෂයාගේ පැමිණීම අපේක්ෂාවෙන්, පාර දෙස බලා සිටියාය. දැන් එයි, දැන් එයි, කියා බලා සිටි මුත්, පළමු යාමය ඉක්ම ගිය ද, ඉහත කී පුරුෂයා නොපැමිණියේය. මෙසේ රාත්රියේ මධ්යම යාමයද ඉකුත් විය. අලුයම් වේලාවේදී, ඔහු සිකුරටම පැමිණේ යැයි, ඇය සිතා සිටි මුත්, එයද ඉටු නොවූ කල්හී, සුන් වූ ආසා නැතිව, නැගිට ගොස් නිදා ගත්තේය. මේ සියල්ල දුටු බෝසත් තෙමේ, මේ දාසිය තම ‘සොර සැමියා පැමිණේ යැ’යි මෙතුවක් කල් ආසාවෙන් බලා සිටියාය. ඔහු නොපැමිණෙන බව තිරව දැනගත් පසු ආසාවෙන් බැහැර වූ ඇය දැන් සුවසේ නිදයි. ආසාවෝ නම් සැමවිටම දුක් ඇති කෙරෙති. ආසාවෙන් බැහැර වීම, සැප ගෙන දේ. මෙසේ සිතූ බෝසත් තෙමේ, මේ ගාථාව පැවසීය.
3. ආශාව දුරු කළ තැනැත්තිය සැප සේ නිදයි. ඉටු වූ ආශාව සැපයකි. ආශාව නිරාශාව බවට පත් කොටගත් ‘පිංගලා’ සුව සේ නිදයි.
මෙහි ‘ඵලවතී’ යනු ‘යම් ආශාවක ඵලය ලබන ලදද? එය ඒ ඵලයේ සැපය වන බැවින් ‘සුඛ’ නිම් වේ. නිරාශාව ඇති කොටගෙන, ආශාව බැහැර කොට ගෙන, ආශාව සිඳ දමා, ආශාව දුරු කොට’ යන අර්ථයි. ‘පිංගලා’ යනු ‘ඒ පිංගලා නම් වූ දාසිය, දැන් සුවසේ නිදයි’ යන අර්ථයි.