8. අනනුසොචිය ජාතකය (328)
‘බහූනං විජ්ජති භොති’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, බිරිය මළ, එක් කෙළෙඹි පුත්රයකු අරබයා වදාළ සේක. ඒ කෙළෙඹි පුත්රයා සිය බිරිය මළ දා සිට නො නායි, අනුභව නොකරයි. සිය කර්මාන්තයද අත්හළේය. මුළුමනින්ම ශෝකී ජීවිතයක් ගත කළ ඔහු, ඇගේ සොහොනට ගොස්, වැලපෙමින් කාලය ගතකරයි. එහෙත් ඈත කඳු මුදුනක දිලෙන පහනක් මෙන්, ඔහු තුළ සෝවාන් වීමට තරම් වූ පෙර කළ පිනක් තිබුණි. බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරන සේක්, ඔහුගේ පින් ඵල දැක, ‘මොහුගේ ශෝකය දුරුකොට සෝවාන් ඵලය ලබාදීමට, මා හැර අන් කෙනකු නැතැ’යි, සලකා ‘ඔහුට පිහිට වන්නෙමැ’යි සිතා, එය අත්යවශ්ය කාරණයක් සේ සලකා, සවස් වරුවෙහි තවත් තෙර කෙනකුන් සමග, කෙළෙඹි පුත්රයාගේ නිවෙස වෙත වැඩි සේක. කෙළෙඹි පුත්රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා, වහා පෙර ගමන් ගොස්, සියලු සත්කාර සම්මාන දක්වා, අසුනක් පනවා බුදුරජාණන් වහන්සේ එහි වඩා හිඳුවා, තෙමේද එකත්පස්ව හිඳ ගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ ඔහු අමතා මෙසේ කී සේක. ‘උපාසකය, ඔබගේ චිත්ත පීඩාව කුමක් නිසා හට ගත්තක් ද?’ ‘ස්වාමීනි, මගේ බිරිය මළාය, ඈ ගැන සිහි කෙරෙමින් ශෝක කෙරෙමි’. ‘උපාසකය, බිඳෙන දේවල් කවදා නමුත් බිඳේ. එසේ ඒවා බිඳුණු කල්හි, ඒ ගැන කිසිත් නොසිතිය යුතුය, පෙර පඬිවරු ද එසේ කළහ’යි, වදාළ සේක. මේ අතීත කථා වස්තුව, දස වැනි නිපාතයෙහි ‘චුල්ල බෝධි’ ජාතකයෙහි, විස්තර වන්නේය. මේ එහි කෙටි විස්තරයකි.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද නිසි වියට එළඹ තක්ෂිලාවට ගොස් එහිදී සියලු ශිල්ප මනාව උගෙන, පෙරළා මවුපියන් වෙත පැමිණියේය. මේ ජාතකයෙහි බෝසත් තෙමේ කුමර බඹසර රකින්නෙකි. දිනක් බෝසතුන්ගේ මවුපියෝ තම පුතුට කාර බැඳීම සඳහා ඊට සුදුසු තරුණියක සොයන්නට තීරණය කළහ. එවිට බෝසත් තෙමේ සිය මවුපියන්ට කථා කොට, තමා තුළ විවාහ වීමේ අදහසක් හෝ, ගිහිගෙයි විසීමේ අදහසක් හෝ නොමැති බවත්, මව්පියන් නැතිකලෙක පැවිදි වන්නට අදහස් කරන බවත්, එකහෙළා කියා සිටියේය. පසුව මව්පියන්ගෙන් බේරෙන්නට බැරිම තැන, රනින් තරුණ ස්ත්රී රූපයක් මැනවින් කරවා ‘මෙවැනි කුමාරිකාවක ලැබුණොත් ඇය හා විවාහ වන්නෙමි’ යි බෝසත් තෙමේ පැවසීය. මෙය ඔහු සිය විවාහය නොකෙරෙන්නට යෙදූ උපායකි. එහෙත් බෝසතුන්ගේ දෙමාපියෝ, ඉහත කී රන්රුව ආවරණය කළ රථයක නංවා, එය රැගෙන යනු පිණිස පිරිසක් ද යොදා ඔවුන් අමතා ‘තෙපි මුළු දඹදිව පුරා මෙය රැගෙන යවු, මිනිසුන් රැස්ව සිටින තැන්වල රන් රුව ප්රදර්ශනය කරවු. යම් තැනක දී මේ රන්රුව හා සමාන බ්රාහ්මණ කුමරියක දුටුවොත්, මේ රන් රුව ඇයගේ දෙමාපියන්ට තෑගි කොට, ඇය කැඳවාගෙන එවු’යි, කියා මහත් පිරිවරක් සහිතව රථය පිටත්කොට යැවූහ.
මෙකල කසී රට නියම්ගමෙක අසූ කෙළක් ධනය ඇති, එක් බ්රාහ්මණ පවුලක සම්මිල්ල භාසිනී නම් වූ දූ කුමාරිකාවක් වූවාය. ඇය බඹලොවින් චුතව විත්, මෙහි ඉපිද සිටි පින්වත් තැනැත්තියකි. වයස සොළොසක් වනවිටදී, ඇය ඉතා රූමත්, ප්රසාදය ඇති කරවන සුලු, මනා වූ අඟපසඟින් සම්පූර්ණ, දිව්ය අප්සරාවක බඳු රූප සම්පත්තියෙන් යුක්ත වූවාය. එහෙත් අල්ප මාත්රයකින්වත්, රාගික සිතක් කිසිදා ඇතිකොට නොගත් ඈ, බ්රහ්මචාරී දිවිපෙවෙතක් ගත කළාය. මේ අතර රන්රුව රැගෙන ගමින්ම යන පිරිස, ‘සම්මිල්ල භාසිනී’ වෙසෙන ගමට අනුක්රමයෙන් පැමිණියහ. එහිදී ගම්වැසියෝ රන් රුව දැක, ‘සම්මිල්ල භාසිනී’ කුමරිය මේ රථයෙහි කුමක් කෙරේදැ’යි පුදුමයට පත්ව, ඒ ගැන අවට සිටි අයගෙන් ප්රශ්න කළහ. මේ ඇසූ, රථය ගෙන ආ නියෝජිත පිරිස, ඒ මිනිසුන්ගෙන් කුමරිය සම්බන්ධයෙන් විස්තර අසා දැන, ඒ නිවෙසට ගොස්, සියලු විස්තර ඔවුන්ට කියා, රන් රුව ඔවුන්ට දී, කුමාරිකාව ඉල්ලූහ. එවිට කුමරිය මව්පියන් අමතා, තමා කිසිදා විවාහය අපේක්ෂා නොකළ බවත්, දෙමාපියන් නැති කලෙක, පැවිදි වීමට සිතා සිටි බවත්, පැවසුවාය. ‘අප නැති කල, නුඹ තනිවම කුමක් කරන්නදැ’යි, කියා ඇයගේ දෙමාපියෝ ඇගේ එම අදහස තරයේ ප්රතික්ෂේප කළහ. එසේ කොට රන්රුව පිළිගෙන, කුමරිය පෙරහැරකින් කැඳවා ගෙනගොස්, මඟල් උත්සව සිදුකොට, ‘සම්මිල්ල භාසිනිය’ගේ අකමැත්තෙන්ම, ඇය බෝසතුන්ට විවාහ කොට දුන්හ. මෙසේ විවාහ දිවියට පත්වූ ඉහත කී දම්පති යුවල, එකම යහන් ගැබක, එකම යහනක සැතපුන ද රාගික හැඟීමකින්වත් ඔවුනොවුන් දෙස, කිසිදිනෙක නොබැලූහ. එක් කාමරයක වෙසෙන භික්ෂූණ් දෙනමක මෙන් ද, බමුණන් දෙදෙනකු මෙන් ද, ඔවුහු දෙදෙනා එක තැන, වාසය කළහ.
පසු කලෙක බෝසතුන්ගේ මව්පියවරු කලුරිය කළහ. බෝසත් තෙමේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකොට, සම්මිල්ල භාසිනිය ළඟට කැඳවා, ‘සොඳුර, මේ ගෙදර මට අයත් රන් මිල කෝටි අසූවක් ද, ඔබ මෙහි ගෙනා කෝටි අසූවක් දැයි යන මේ මෙපමණ වූ ධනය, සියල්ලම දැන් ඔබටම භාරය. මේවා ඇතුළු මට අයත් සෙසු සියල්ලම අදින් පසු ඔබටම අයත්ය. ඒවා ඔබ කැමති ලෙස පරිහරණය කරනු මැනවි, මම පැවිදි වන්නෙමි’යි කීය. එවිට කුමරිය ‘ආර්ය පුත්රය, ඔබ පැවිදි වූ කල්හි, මෙහි ජීවත් වීමෙන් මට පලක් නැත. ඔබ අතහැර දැමීමට ද මට නොහැකිය. ඔබතුමා පැවිදි වන්නේ නම්, මම ද පැවිදි වන්නෙමි’යි කීවාය. පසුව මේ දෙදෙනා ම එකතුව අලුයම වූ කෙළපිඩක් මෙන් සලකා තම සියලු ධනය දන් දී, සෙසු සියලු සම්පත් හැර දමා, හිමාලයට පිවිස දෙදෙනාම, තවුස් පැවිද්දෙන් පැවිදි වී, වන පලවැල හා අල වර්ග අනුභව කරමින්, එහි බොහෝ කලක් වැස ලුණු-ඇඹුල් සේවනය කිරීම පිණිස, හිමවතින් බැස අවුත්, අනුපිළිවෙලින් බරණැසට ළඟාවූවාහු රාජකීය උයනෙහි ලැගුම් ගත්හ.
ඔවුන් එහි වෙසෙන අතරතුරේදී, දිනක් නිසරු ආහාර නිසාම, සියුමැලි පරිබ්රාජිකාවට ‘ලේ අතීසාරය’ නම් වූ දරුණු රෝගයක් වැළඳුණි. රෝගයට ගැළපෙන නිසි බෙහෙත්, නොලැබීම නිසා ඇය, අතිශයින් දුර්වල වූවාය. එදින බෝසත් තෙමේ පිඬු පිණිස පිටත් වීමට සූදානම් වූ අසනීප තැනැත්තිය තනිකර ද, යා නොහැකි බැවින්, ඇයද වත්තන් කොට ගෙන නුවර දොරටුව දක්වා කැටුව ගොස්, කිසියම් ශාලාවක තිබූ ලෑල්ලක් මත, ඇය හොවා තබා තනිවම, පිඬු පිණිස නුවර පිවිසියෝය. ඔහු ඉහත කී ශාලාවෙන් නික්මෙනවාත් සමගම, ඇය කලුරිය කළාය. මෙය සැළ වූ වහාම මහජනයා එතැනට රැස් විය. ඔවුහු පරිබ්රාජිකාවගේ අසමාන රූ සිරි දැක වටකොට ගෙන හඬන්නට වැලපෙන්නට වූහ. මේ අතර බෝසත් තෙමේ, පිණ්ඩපාතය ද ගෙන, ආපසු ශාලාවට පැමිණියේය. එහිදී පරිබ්රාජිකාව මළ බව දැක, ‘බිඳෙන සැම දේ කවදා නමුත් බිඳේ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්ය වෙති. මෙය ඒ ස්වභාව ධර්මයේ ප්රතිඵලයකැ’යි සිතා, මළ සිරුර තිබූ ලෑල්ල මත ම පැත්තකින් වාඩි වී පිණ්ඩපාතය අනුභව කොට, සිය මුව ද සෝදා ගත්තේය. මේ දුටු මහජනයා ‘ස්වාමීනි, මේ පරිබ්රාජිකාව ඔබගේ කවරියක්දැ’යි, බෝසතුන්ගෙන් විමසීය. ‘ඇය මාගේ ගිහි කල බිරිය’යි. ‘ස්වාමීනි, අපට ද මේ මරණය ඉවසිය නොහැකිය. එබැවින් අපි හඬමු. වැලපෙමු. එහෙත් ඔබතුමා කුමක් නිසා නොහඬා හිඳීද?’ ‘පින්වතුනි, ජීවමාන කාලයේ ඇය හා සම්බන්ධයක් තිබුණු මුත් පරලොව ගිය ඇය හා මාගේ කිසිදු සම්බන්ධයක් නැත. ඇය වෙනත් ලොවකට ගියාය. ඉතින් මම කුමට හඬම්දැ’යි, බෝසත් තෙමේ රැස්ව සිටි පිරිසට දහම් දෙසමින් මෙසේද පැවසීය.