7. කාකාතී ජාතකය (327)
‘වාතිචායං තතො ගන්ධො’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. එදා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා ‘මහණ, ඔබ කලකිරුණු කථාව ඇත්තක්දැ’යි විමසූ සේක. ‘එසේය, ස්වාමීනි’, ‘කලකිරීමට හේතුව කුමක්ද?’ ‘හිමියනි, රාගික සිතුවිලි මා පෙළයි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් රැකිය නොහැක්කෝය. පැරණි පඬිවරු පවා ඊට අපොහොසත් වූහ. පෙර එක් තැනැත්තෙක් සිය බිරිය සමුදුර මැද, ඉඹුල් වනයක වූ විමානයක තබා, රැක ගන්නට උත්සාහ කළ නමුදු, නො හැකිවී යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, නිදසුන් ලෙස මේ අතීත කථාව, ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, එතුමාගේ අග මෙහෙසියගේ කුසෙහි, බෝසත් තෙමේ උපන්නේය. බෝසත් කුමරා නිසිවියට පැමිණ, සිය පියාගේ ඇවෑමෙන් රජකමට පත්විය. මේ රජතුමාගේ අගමෙහෙසිය වනාහි, ‘කාකාති’ නම් වූවාය. ඇය දෙවඟනක් මෙන් රූමත්ය. මෙතෙක් පැවසූයේ, බෝසතුන් ගැන කෙටි විස්තරයකි. මෙහි සම්පූර්ණ කථාවස්තුව, ‘කුණාල’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව එකල එක් ගුරුළු රජෙක් මිනිස් වෙස් ගෙන, රජ මාලිගයට පැමිණ, බෝසත් රජු සමග දාදු ක්‍රීඩා කරන්නට පුරුදු වී සිටියේය. ගුරුළු රජුගේ මේ ගමනාගමනය නිසා, ඔහුත් රජුගේ අගමෙහෙසියත් අතර නොමනා සම්බන්ධයක් ඇතිවිය. අගමෙහෙසිය ගැන පිළිබඳ සිතක් ඇති කොටගත් ගුරුළු රජා, දිනක් රජුගේ පමාවක් ප්‍රයෝජනයට ගෙන, අගමෙහෙසිය වසංකොට ගෙන, ගුරුළු ගම්මානයට රැගෙන ගියේය. ඉන්පසු ඔහු ඇය සමග අඹු-සැමියන් ලෙස සතුටින් කල්ගත කෙළේය. මේ අතර රජතුමා සිය දේවිය මාලිගය තුළ නොදැක, ඈ ගැන විමසා බලන ලෙස ‘නටකුවේර’ නම් වූ ගාන්ධර්වයාට නියෝග කෙළේය. මේ ගාන්ධර්වයා විවිධ හැකියා ඇත්තෙකි. රජුගේ නියෝග ලත් නට කුවේරයා ඉහත කී ගුරුළු රජු ගැන සැක කොට, මැනවින් පරීක්ෂා කොට බලා, එක් විලෙක ‘ඒරක’ වනයෙක්හි (ඒරක යනු තෘණ විශේෂයකි) ඔහු නිතර ලැගුම් ගන්නා බව, දැන ගන්නේය. දිනක් එහි සැඟවී සිටි නට කුවේරයා, එහි පැමිණි ගුරුළු රජුගේ පියාපත් අතර සැඟවී, ඔහුට නො දැනෙන සේ, ගුරුළු භවනටම ගියේය. එහිදී කෙසේ හෝ ගුරුළු රජ භවනින් බැහැර යන තෙක් බලා සිට මෙහෙසිය වෙත ගොස්, ඇගේ සිත් දිනා ඈ සමග නො මනා ලෙස හැසිරුණේය. එහි කීපදිනක් ගතකළ නට කුවේරයා ගුරුළු භවනයට ගිය ආකාරයෙන්ම ආපසු පැමිණියේය. සිරිත් පරිදි ගුරුළු රජාද, කිසිදු අමුත්තක් නැතිව බරණැස් රාජ්‍යයට පැමිණ රජු හා දූ කෙළියෙහි යෙදෙයි. එක්දිනක් රජුන් ක්‍රීඩා කරන අතරතුරේදී, නටකුවේරයා සංගීත්ඥයකු වන බැවින්, ඔහු තමාගේ වීණාව ද රැගෙන, ක්‍රීඩා මණ්ඩපයට විත් රජු සමීපයෙහි සිටගෙන, ගීතයක ආකාරයෙන් මේ ගාථාව ගායනය කෙළේය.
වාතිචායං තතො ගන්ධො - යත්ථ මේ වසතී පියා,
දූරෙ ඉතොහි කාකාති - යත්ථමෙ නිරතො මනො
දූරෙ ඉතොහි කාකාති - යත්ථමෙ නිරතො මනො
යම් තැනක මාගේ ප්‍රියාව වාසය කරයිද? මේ සුවඳ එතැනින් හමන්නේය. යමක කෙරෙහි මාගේ සිත ඇලී පවතීද? ඒ ‘කාකාති’ දේවිය මෙතැනින් දුර ප්‍රදේශයක වේ.
මෙහි ‘ගන්ධො’ යනු ‘දිව්‍යමය සුවඳ විලවුන් තැවරූ ඇගේ සිරුරෙහි සුවඳයි’. ‘යත්ථමෙති’ යනු ‘යම් ගුරුලු විමනක මාගේ ප්‍රියාව වසාද? එතැනදී ඇය හා කළ රමණය නිසා, මොහුගේ කයේ රැඳී පැමිණි ඇගේ සුවඳ හමයි’, යන අදහසයි. ‘දූරෙ ඉතො’ යනු ‘මෙතැනින් දුර පෙදෙසක’, යන අර්ථයි. මෙහි ‘හි’ යන්න නිපාතයකි. ‘කාකාති’ යනු ‘කාකාති දේවිය’යි. ‘යත්ථ මෙ’ යනු ‘යම් තැනැත්තියක කෙරෙහි, මාගේ සිත නිරත වීද? ඇලුණේද?’ යන අර්ථයි.
මේ ගීතය අසා සිටි ගුරුළු රජා, මෙසේ පැවසීය.
2. කෙසේ සමුදුර තරණය කෙළේද? ‘කේබුක’ නදියත් සත් සමුදුරත් කෙසේ එතෙර වීද? ඉඹුල් විමනට නැගුනේ කෙසේද?
ඔබ මේ දඹදිව සමුදුරත්, ඊට ඉදිරියෙන් ඇති ‘කේබුක’ නම් නදියත්, පර්වත අතර පිහිටි සත් සමුදුරත්, කෙසේ නම් තරණය කෙළේද? කවර උපායකින් සත් සමුදුරෙන් එතෙරව, ඊටත් එහා ඇති අපේ භවය වූ ඉඹුල් රුකට නැගුනේද? යනුයි.
මෙය අසා සිටි නට කුවේරයා නැවත මෙසේ කීය.
3. ඔබ සමගම සමුදුර තරණය කෙළෙමි. කේබුක නදියත්, සත් සමුදුරත් තරණය කෙළේ ඔබ සමගමය. ඉඹුල් ගසටද ඔබ සමගම නැගුනෙමි.
මෙහි ‘තයා’ යනු ‘තා උපකාරී කොටගෙන තාගේ පියාපත් අතර හිඳ, මම මේ සියල්ල කෙළෙමි’ යන අර්ථයි.