6. කක්කාරු ජාතකය (326)
‘කායෙන යො නාවහරෙ’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර සංඝ භේදය සිදුකොට, සංඝ පිරිසක් ද කැටුව ගොස් වෙන් ව කටයුතු කරද්දී, බුදුරජාණන් වහන්සේගේ නියෝගයෙන් එහි වැඩම කළ අගසවු දෙනම, එම භික්ෂු පිරිසට කරුණු වටහා දී, නැවත ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙතටම, කැඳවාගෙන ආහ. මෙසේ තම ශ්‍රාවක පිරිස තමන් අත්හැර ගිය පසු, එය දරාගත නොහැකි වූ දෙව්දත් තෙරුන්ගේ මුවින්, උණු ලේ වැගුරුණි. අනතුරුව භික්ෂූහු ධර්ම සභාවේදී මේ සිද්ධිය ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කථා කරමින් හුන් කරුණු, ඔවුන්නෙග් අසා දැන, ‘මහණෙනි, දෙව්දත් මුසා බස් කියා පිරිස් බිඳවූයේ, දැන් පමණක් නොවේ. පෙර ද එසේ කෙළේම යැ’යි, වදාරා අතීත සිද්ධිය මෙසේ විස්තර කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජය කරවන කල්හි, බෝසත් තෙමේ තව්තිසා දෙව්ලොව දේව පුත්රයෙක්ව උපන්නේය. මෙකල බරණැස් නුවර මහත් සැණකෙළියක් පැවතුණි. බොහෝ නාගයෝ ද, ගුරුළෝ ද ‘භුම්මට්ඨ’ (පොළොව ආශ්‍රිතව ජීවත්වන) දෙවියෝ ද රැස්ව උත්සවය නැරඹූහ. තව්තිසා දෙව්ලොවින් ද, දේව පුත්‍රයෝ සතරදෙනෙක් ‘කක්කාරු’ නම් වූ දිව්‍යමය මල්වලින් සාදන ලද මල් වළලු පැළඳ, උත්සවශ්රීය බැලීමට පැමිණියහ. ඒ මල්වල සුවඳ නගරයේ දොළොස් යොදුනක් තෙක් ප්‍රදේශය පුරා, එකම සුවඳක් වන සේ, පැතිර පැවතුණි. මේ සුවඳ ආඝ්‍රාණය කළ මිනිස්සු ‘මේ සුවඳ මල් කවුරුන් විසින් පළඳන ලද ඒවාදැ’යි, සොයමින් ඒ මේ අත විමසන්නට වූහ. මල් පැළඳ සිටි, දේව පුත්‍රයෝ මිනිසුන් තමන් සම්බන්ධව සොයන බව තේරුම් ගෙන, රජ මාලිගයේ සමීපයට අවුත්, රාජාංගනයට කෙළින් අහසෙහි මහත් වූ දේවානුභාවයෙන් පෙනී සිටියහ. මහජනයා වහා එතැනට රැස්විය. රජතුමාද යුවරජ ආදී සෙසු නිලධාරීහුද, එම ස්ථානයට රැස්වූහ. අනතුරුව ඔවුහු දෙව්පුතුන් අමතා, ‘ස්වාමීනි, ඔබ කවර දේව ලොවකින් මෙහි පැමිණියහුදැ’යි විමසූහ. ‘අපි වූ කලි තව්තිසාවේ සිට පැමිණියෙමු’. ‘කුමක් සඳහා මෙහි පැමිණියාහුද?’ ‘සැණකෙළි සිරි බලනු රිසියෙන් මෙහි පැමිණියෙමු.’ ඔබ පැළඳ සිටින, ඔය මල් වර්ගය කිනම් වේද?’ ‘දිව්‍යමය කක්කාරු (කැකිරි) මල් නම් මේවාය.’ ‘ස්වාමීනි, ඔබ සැම පැළඳ සිටින මල් අපට දෙනු මැනවි. ඒ වෙනුවට වෙනත් කක්කාරු මල් තව්තිසාවෙන්ම සොයාගත මැනවැ’යි මිනිස්සු කීහ. එවිට දේව පුත්‍රයෝ පිරිස අමතා, ‘පින්වතුනි, මේ දිව්‍යමය මල් මහානුභාව සම්පන්නය. මේවා සුදුසු වන්නේ දෙවියන්ට පමණි. මිනිස් ලොව නුවණ මඳ වූ, ලාමක වූ, පහත් දේ රුචි කරන, ඊට ඇලුණු දුස්සීලයන්ට මේවා නුසුදුසුය. දෙවියන් කෙරෙහි ඇති ගුණයන්ගෙන් සම්පූර්ණ වූ සිල්වත් මනුෂ්‍යයෝ වෙත් නම්, ඔවුහු මේ මල් පැළඳීමට සුදුසු වෙතැ’යි පැවසූහ.
ඒ දෙවියන් අතර සිටි ප්‍රධාන දේව පුත්‍රයා එවිට, මිනිසුන් අමතා මේ ගාථාව පැවසීය.
කායෙන යො නාමභරෙ - වාචාය න මුසා භණෙ,
යසො ලද්ධො න මජ්ජෙය්ය - ස වෙ කක්කාරු චරභතීති
යසො ලද්ධො න මජ්ජෙය්ය - ස වෙ කක්කාරු චරභතීති
යමෙක් කයින් සොරකම් නොකෙරේද? බොරු නොකියාද, යශස් ලැබ මත් නොවේද? ඒකාන්තයෙන් ඔහු මේ දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
යමෙක් කයින් අනුන් සන්තක වූ තණ සුලක් වත් හැර නොගන්නේද? දිවි ගියත් වචනයෙන් මුසාබස් නො කියන්නේ ද යන මෙය දේශනාවේ හරයයි. සිත-කය-වචන යන තිදොරින් යමෙක් දස අකුසල කර්මපථ නොකෙරේද? මෙහි අදහස එයයි. ‘යශසින් ලබන ලද’ යන්නෙහි අදහස වූ කලී, ‘ඉසුරුමත් බව ලැබ යමෙක්, එම ඉසුරු මදයෙන් මත්ව, සිහි විකලයෙන් පව්කම් නො කෙරේද? මෙකී ගුණවලින් යුත්, එබඳු පුද්ගලයා ඒකාන්තයෙන් ම මේ දිවමල් ලැබීමට සුදුසුය. ඒ නිසා යමෙක් මේ ගුණයන්ගෙන් යුක්තද? ඔහු මේ මල් ඉල්ලා සිටීමට සුදුසුය. අපි ඔහුට ඒවා දෙන්නෙමු’ යන අදහසයි.
ඒ අසා, එහි සිටි පුරෝහිතයා ‘මේ කියන ගුණ අතුරෙන් එකදු ගුණයක් වත් මට නැත. එබැවින් මුසාබස් කියා, මේ මල් ඉල්ලාගෙන පැළඳ ගන්නෙමි. එවිට මහජනයා අතර මා ගුණවතකු ලෙස ප්‍රසිද්ධ වේ යැ’යි සිතුවේය. ඊට පසු ඔහු සියලුදෙනාට ම ඇසෙන සේ හඬ නගා ‘මම ඔබ කියන ඔය ගුණවලින් යුක්ත වූවෙක්මි’යි පවසා ඒ දෙවියන්ගෙන් මල් ඉල්ලාගෙන පැළඳ ගත්තේය. මෙසේ පළමු දේව පුත්‍රයාගෙන් මල් ඉල්ලාගත් පුරෝහිතයා, අනතුරුව දෙවැනි දේව පුත්‍රයාගෙන්ද, මල් ඉල්ලුවේය. එවිට දෙවැන්නා මෙසේ කීය.
2. දැහැමින් ධනය රැස් කරන්නේද? වංචාවෙන් ධනය හැර නොගන්නේද? සම්පත් ලැබ පමා නොවන්නේද? ඔහු ඒකාන්තයෙන් දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
දැහැමින්, එනම් පිරිසිදු ආජීවයෙන් රන්-රිදී ආදී වූ සම්පත් රැස් කරන්නේද? කපටිකමින්, එනම් වංචාවෙන් ධනය හැර නො ගන්නේද? වස්ත්රාභරණ ආදී සම්පත් ලැබ, පමා නොවන්නේද, එබඳු තැනැත්තා, මේ මල්වලට සුදුසුය යනුයි.
මේ ප්‍රකාශය අසා සිටි පුරෝහිතයා ‘ස්වාමීනි, ඔබ කී කරුණුවලින් සමන්විත වූ මම, ගුණවතෙක්මි. එබැවින් මට මල් දෙනු මැනවැ’යි කියා, ඒ මල් ලබාගෙන පැළඳ ගත්තේය. අනතුරුව ඔහු තෙවන දිව්‍ය පුත්‍රයාගෙන්ද මල් ඉල්ලීය. එවිට තෙවන දේවපුත්‍රයා මේ ගාථාව කීය.
3. යමකුගේ සිත නො කෙලෙසුනේද? ශ්‍රද්ධා සම්පන්නද? රාගාධික නොවේද? මිහිරි දෑ තනිවම නොබුදින්නේද? ඔහු ඒකාන්තයෙන් දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
යම් පුද්ගලයෙකුගේ සිත නො කෙලෙසුනේද? එනම් පඬු පොවන ලද කල්හි මෙන්, වහා නොඇලේද? තිර පෙමින් යුක්ත වේද යන අර්ථයි. මෙහි දැක්වෙන ශ්‍රද්ධාව හා අවිරාගී බව යනු කර්මය හා විපාකය හෝ විශ්වාස කළ පුද්ගලයාගේ වචනය අසා එය අදහා මඳ වශයෙන්වත් නොඇලේද, එසේම නොබිඳේද? එයයි. යමෙක් යාචකයන් හෝ අන් අය හෝ සමව සැලකිය යුතු පුද්ගලයන් හෝ, බැහැරකොට තනිවම, මිහිරි රසවත් බොජුන් අනුභව නොකෙරේද? ඔවුන්ට ද ආහාර බෙදා දී, තමනුත් භුක්ති විඳීද? ඔහු මේ දිවමල්වලට සුදුසුය යන අදහසයි.
මෙය අසා සිටි පුරෝහිතයා ‘මම ඔය කියන සියලුම ගුණවලින් යුක්ත වූවෙක්ම’යි කියා, ඒ දේව පුත්‍රයාගෙන් ද, මල් ලබාගෙන ඒවා පැළඳගෙන සිව්වැනි දේව පුත්‍රයාගෙන්ද මල් ඉල්ලා සිටියේය. එවිට සිව්වැන්නා මෙසේ කීය.