5. ගෝධ ජාතකය (325)
‘සමණංතං මඤ්ඤමානො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, එක් කුහක භික්‍ෂු කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර දක්වන ලදි. ඒ අනුව භික්‍ෂූන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වෙතට, ඉහත කී කුහක භික්‍ෂු නම කැඳවා ගෙනවිත් ‘ස්වාමීනි, මොහු කුහකකම් කරන්නෙකැ’යි පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, මොහු දැන් පමණක් නොව. පෙර ද කුහකකම් කෙළේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ තලගොයෙක්ව, ඉපිද නිසි වියට පත්ව මනා ලෙස වැඩුණු ශරීර ඇතිව කැලයෙහි වාසය කරයි. මේ කැලයෙහිම අසපුවක් තනාගෙන, එක් දුස්සීල තාපසයෙක් ද වෙසේ. මේ දෙදෙනාම එකිනෙකාට නුදුරෙන් ජීවත් වූහ. එක්දිනක් බෝසත් තෙමේ, ගොදුරු සොයමින් ඇවිද ගොස් ඒ තවුසා දැක, ‘මොහු සිල්වතකු විය යුතුයැ’යි සිතා, අසපුව සමීපයට ගොස් තවුසාට වැඳ, ආපසු හැරී සිය නවාතැනටම ගියේය. කිසියම් දවසක දායක ගෙදරකින්, මේ කපටි තවුසාට රසවත් මස් වෑංජනයක් සහිත දානයක් ලැබුණි. එය අනුභව කළ තවුසා ‘මේ කිනම් මස් වර්ගයක්දැ’යි අසා, තලගොයි මස් බව දැන, එහි රස තෘෂ්ණාවෙන් ඇලී, ‘මාගේ අසපුවට නිතර පැමිණෙන තලගොයා මරා රිසි පරිද්දෙන් උයාගෙන අනුභව කරන්නෙමැ’යි සිතා, ඊට අවශ්‍ය කුළුබඩු ආදියද, ගිතෙල්, දී කිරි ආදියද රැස් කළේය. මේ සියල්ල රැස්කොට තබා, පොල්ලක් කඩා ගෙනවිත් එහි කහපාට රෙදි ඔතා, එය කිසිවකුට නොපෙනෙන පරිද්දෙන් සඟවා තබා, බෝසතුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරමින්, අසපු දොරටුවෙහි උපශාන්ත ලීලාවෙන් වාඩිවී, බලා හුන්නේය.
මේ අතර තලගොයා අසපුව වෙත පැමිණියේය. එහෙත් තවුසාගේ ඉරියව් දෙස විපරමින් බැලූ ඌට, තවුසාගේ දූෂිත පෙනුම සිත් ගත්තේ නැත. ‘ඒකාන්තයෙන් මොහු තල ගොයි මස් කන්නෙක් විය යුතුයැ’යි සිතා, තවුසා පරීක්‍ෂාවට ලක් කිරීම සඳහා යටි සුළඟෙහි සිට, ඉව අල්ලා බැලූ තලගොයා, තවුසා තලගොයි මස් කෑ බව ස්ථිරවම දැන ගත්තේය. ඒ නිසා ඌ තවුසා වෙත නො එළඹ ආපසු හැරී යන්නට ගියේය. මේ අතර තවුසාද, තලගොයා නොපැමිණෙන බව දැන, පොල්ලද අතට ගෙන, ඌ සොයා ගියේය. අතරමග දී තලගොයා බියෙන් දිවයනු දුටු, තවුසා අත තිබූ පොල්ලෙන් ඌට දමා ගැසුවේය. පහර ඌට නො වැදුණ මුමත් පොල්ල උගේ වලිගය ළඟ පතිත විය. එවිට තවුසා ‘ආහ්! වැරදුණේ යැ’යි කීය. ඒ ඇසූ බෝසත් තෙමේ තවුසා අමතා, ‘ඔබට මෙර වැරදුණත් අපාය නම්, කිසිවිටෙක නො වරදී යැ’යි කියා, වහා පලා ගොස්, සක්මන් මලුව සමීපයෙහි තිබූ තුඹසට පිවිස, වෙනත් සිදුරකින් හිස එළියට දමා තවුසා සමග සංවාදයේ යෙදෙමින් මෙසේ පැවසීය.
සමණං තං මඤ්ඤමානො - උපගඤ්ජිං අසඤ්ඤතං,
සො මං දණ්ඩෙන පාහාසි - යථා අස්සමාණො තථා
අසංවර වූ ඔහු ශ්‍රමණයකු යැයි සිතා ළඟට පැමිණියෙමි. යම්සේ ඔහු ශ්‍රමණයෙක් නො වූයේද? එසේම ඔහු මට දණ්ඩකින් පහර දුන්නේය.
කින්තෙ ජටාභි අම්මෙධ - කින්තෙ අජිනසාටියා,
අබ්භන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසී
අනුවණය, ජටා මඬුල්ලෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? අඳුන් දිවිසමෙන් ඇති වැඩේ කුමක්ද? ඔබේ ඇතුළත කෙලෙසුන්ගෙන් ගහණය. කුමට බාහිර සන්තර්පණය කරයිද? (ධම්මපද)
මෙහි ‘අසඤ්ඤතං’ යනු ‘කායාදියෙන් අසංවර වූ අශ්‍රමණයකු වූ ඔහු වෙත ‘මේ ශ්‍රමණයෙකැ’යි එනම්, පව් සංසිඳවූවකුට සමාන බැවින් ‘ශ්‍රමණයෙක් යැ’යි, හඟිමින් එළඹියෙමි’, යන අර්ථයි. ‘පාහාසි’ යනු ‘පහර දුන්නේය’ යන අර්ථයි. ‘අජිනසාටියං’ යනු ඒකාංශ කොට පොරවන ලද අඳුන් දිවිසමෙන් ඔබට ඇති අර්ථය කුමක්ද?’ යන අදහසයි. ‘අබ්භන්තරං තෙ’ යනු ඔබගේ සිරුර ඇතුළත විෂ පිරූ ලබුගෙඩියක් වැනිය. කෙලෙසුන්ගෙන් පිරී ඇත’, යන අර්ථයි. ‘බාහිරං’ යනු ‘හුදු බාහිර සිරුරම පිරිමදිහිද? එය ඇතුළතින් කර්කශ වූ පිටතින් වටකුරු වූ ඇත්බෙටි, අස්බෙටි වැනි වේ’ යන අර්ථයි.