4. චම්මසාටක ජාතකය (324)
‘කල්‍යාණරූපො වතයං’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩවසන සේක්, ‘චම්ම සාටක’ නම් වූ පරිබ්‍රාජකයකු අරබයා වදාළ සේක. ඉහත කී පරිබ්‍රාජකයා හඳින පොරවන සියලු වස්ත්‍ර සමින් ම සාදන ලද බැවින්, ඔහුට ‘චම්ම සාටක’ යන මේ නම ව්‍යවහාර කෙරේ. එක්දිනක් මේ පිරිවැජියා සිය ආරාමයෙන් නික්ම, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙනවිට, එළු ගාලක එළුවන් පොරකනු දැක, එතැන නැවතී ඒ දෙස බලා සිටියේය. පිරිවැජියා දුටු එක් එළුවෙක් ඔහුට පහරදෙනු රිසියෙන් මඳක් පසුපසට ගියේය. ඔලුවද බිමට නැඹුරු කෙළේය. එළුවාගේ මේ හැසිරීම දුටු පිරිවැජියා, ‘මේ එළුවා මට ගෞරව දක්වන සෙයක් පෙනේ යැ’යි සිතා, සිටි තැනින් ඉවත් නොවී, එතනම සිටියේය. එළුවාද, වැර යොදා වේගයෙන් ඉදිරියට හඹා අවුත් පිරිවැජියාගේ කලවා ප්‍රදේශයට පහර දී, ඔහු බිම හෙළීය. නැති ගෞරවයක් ඇතැයි සිතා, මහත් හානියක් සිදුකරගත්, මේ පිරිවැජියාගේ කථාව භික්‍ෂු සංඝයා වහන්සේ අතරද, පැතිර ගියේය. ඒ භික්‍ෂූහු දම්සභාවේදී මේ ගැන සෙසු අය සමග කථා කරමින් හුන්හ. ඒ අතර බුදුරජාණන් වහන්සේ, එතැනට වැඩ ‘සාකච්ඡා කරමින් සිටියේ කුමක් ගැනදැ’යි භික්‍ෂූන්ගෙන් අසා, සියලු තොරතුරු දැන, ‘මහණෙනි, ඔය පරිබ්‍රාජකයා නැති දෙයක් ඇතැ’යි සිතා හානියක් කරගත් පළමු අවස්ථාව මෙය නොවේ. පෙරද එසේ විනාශයට පත්වූයේ යැ’යි වදාරා මේ අතීත කථාව මෙසේ ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් වෙළෙඳ කුලයක ඉපිද, වෙළෙඳාම රැකියාව කොටගෙන වෙසේ. එකල එක් ‘චම්මසාටක’ පරිබ්‍රාජකයෙක් බරණැස පිඬු පිණිස ඇවිදිමින් අවුත්, එළුවන් පොරවදින තැනක නැවතුනි. එහිදී එක් එළුවෙක් ඔහු දැක පහරදෙනු සිතා ඔලුව බිමට නමාගෙන පස්සෙන් පස්සට ගියේය. මේ දුටු පරිබ්‍රාජකයා ‘මූ මට ගෞරව කෙරේ යැ’යි කල්පනා කොට සිටි තැනින් ඉවත් නොවී, එතැනම සිටගෙන, ‘මෙපමණ වූ මිනිසුන් අතරෙහි අපගේ ගුණ හඳුනා ගන්නේ එක් එළුවෙක් පමණක් නොවේදැ’යි, ඇඳිලි බැඳගෙන සිටගෙන ම මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
කල්‍යාණරූපො වතයං චතුප්පදො, සුභද්දකො චෙව සුපෙස ලොච,
යො බ්‍රාහ්මණං ජාති මන්තූප පන්නං, අපචායති මෙණ්ඩවරො යසස්සී ති
යශස් ඇති (බැටළුවන්ට ප්‍රධාන වූ) මේ උතුම් එළුවා ජාති සම්පන්න වූ, මන්ත්‍ර උගත් බමුණාට බුහුමන් දක්වා ද, ඒ මේ සිව්පාවා ඒකාන්තයෙන් ඉතා යහපත්, ඉතා හොඳ ප්‍රියශීලී සතෙකි.
මෙහි ‘කල්‍යාණරූපො’ යනු ‘යහපත් ජාති ඇත්තෙතකි’, යන අර්ථයි. ‘සුපෙසලො’ යනු ‘ඉතාමත් ප්‍රියශීලී ය’ යන අර්ථයි. ‘ජාති මන්තූපපන්නං’ යනු ‘ජාතියෙන් හා මන්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වූ’ යන අර්ථයි. ‘යසස්සී’ යනු ‘වර්ණනා කිරීමකි’
මේ අවස්ථාවේ අසල තිබූ කඩයක වාඩිවී හුන්, බෝසත් වෙළෙඳතුමා, පරිබ්‍රාජකයාගේ ඉහත කී අදහස් ප්‍රතික්‍ෂෙප කරමින්, මෙසේ කීවේය.
2. බමුණ, එළුවාගේ දර්ශන මාත්‍රයෙන්, ඌ විශ්වාස නො කරනු මැනවි. දැඩිසේ පහර දීමේ අදහසින් පසු බැස, (අනතුරුව) තදින් පහර දෙන්නේ ය.
මෙහි ‘ඉත්තර දස්සනෙන’ යනු ‘දර්ශන මාත්‍රයෙන්’, යන අදහසයි.
මෙසේ මේ පණ්ඩිත වූ වෙළෙඳතුමා කථාකරමින් හුන් අතරතුරේදීම එළුවා වේගයෙන් ඉදිරියට අවුත්, පරිබ්‍රාජකයාගේ කලවා පෙදෙසට පහර දී, ඔහු එතැන ම බිම හෙළා, ඉවත්ව ගියේය. පරිබ්‍රාජකයා වේදනාවෙන් වැලපෙමින් බිම වැතිරුනේය. පසුව මේ කාරණය නිමිති කොටගෙන, බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.
3. කලවා ඇටය බිඳුණි. තවුස් පිරිවර (බිම) වැටුණි. බමුණාගේ සියලුම බඩු මුට්ටු පොඩි විය. (දැන්) තවුසා නැසුණි. ‘වහා දුවවු’ යැයි, කියමින් දෑත් බැඳගෙන හඬයි.
‘මහණෙනි, ඒ පරිබ්‍රාජකයාගේ කලවා ඇයට බිඳුණි. තවුස් පිරිකර ගිලිහුණි. ඔහු බිම පෙරළෙන කල්හි, ඔහුගේ සියලු උපකරණ බඩු පොඩි විය. හේ දෑත් ඔසවා වටේ සිටි පිරිස අමතා, ‘වහා ඉදිරියට දුවවු, තාපසයා නැසේ’ යැයි කියමින් කඳුළු සලයි. හඬයි. වැලපෙයි යනුයි.
පසුව තුවාල ලත් පරිබ්‍රාජකයා මේ ගාථාව කීය.
4. යම් සේ මෝඩ වූ මම, අද එළුවා විසින් පහර දෙන ලදුව නැසුනෙමි. යමෙක් නො පිදිය යුත්තකුට පසසා ද? ඔහු විපතට පත්ව හෝනේය.
මෙහි ‘අපූජං’ යනු ‘නො පිදිය යුත්තකු’, යන අර්ථයි. ‘යථා හමජ්ජ’ යනු ‘යම්සේ මම අද අසත්පුරුෂයන් හා එක්වීම නිසා එළුවකු විසින් දැඩි ලෙසින් පහර දෙන ලදුව මෙහිම මරනු ලැබුවෙම්ද?’ යන අදහසයි. ‘දුම්මති’ යනු ‘අනුවණයාය. ‘මෙසේ යමෙක් අසත්පුරුෂ සමාගමයක් කරන්නේද? ඔහු ද මා මෙන් දුක් අනුභව කරන්නේය යන අර්ථයි. මෙසේ ඒ පරිබ්‍රාජකයා වැළපෙමින් සිට, එතැනම ජීවිතක්‍ෂයට පත්විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පරිබ්‍රාජකයා නම්, මෙදා තැනැත්තාමය. පණ්ඩිත වෙළෙඳතුමා වූ කලී ‘මම ම වීමි’ යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
5. ගෝධ ජාතකය (325)
‘සමණංතං මඤ්ඤමානො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, එක් කුහක භික්‍ෂු කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර දක්වන ලදි. ඒ අනුව භික්‍ෂූන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වෙතට, ඉහත කී කුහක භික්‍ෂු නම කැඳවා ගෙනවිත් ‘ස්වාමීනි, මොහු කුහකකම් කරන්නෙකැ’යි පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, මොහු දැන් පමණක් නොව. පෙර ද කුහකකම් කෙළේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.