3. බ්‍රහ්මදත්ත ජාතකය (323)
‘ද්වයං යාචනකො රාජා’ යන මේ ගාථා කොටස අයත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ අළවු නුවර අග්ගාළව චෛත්‍ය ස්ථානයේදී, ‘කුටිකාර ශික්‍ෂාපදය’ නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර ‘මණිකණ්ඨ’ ජාතකයෙහි දක්වා ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, තෙපි ඉල්ලීම් බහුලව, අවශ්‍යතා බහුලව වාසය කරවුදැ’යි විමසූ සේක. එවිට ඒ භික්‍ෂූහු ‘ස්වාමීනි, එසේ යැ’යි එය පිළිගත්හ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ගරහා ‘මහණෙනි, පෙර පඬිවරු, රජතුමා ඕනෑම දෙයක් දීමට කැමතිව සිටිද්දීත්, කොළවලින් සෑදූ කුඩයකුත්, තනිපට වහන් සඟලකුත්, අත්‍යවශ්‍යව සිටියත්, හිරි ඔතප් බියෙන්, පිරිස් මැද එය නො පවසා, රහසිගතව රජුට ඒ බව දැනුම් දුන්හ’යි වදාරා මේ අතීත කථාව වදාළ සේක.
අතීතයෙහි ‘කපිල’ රට, ‘උත්තර පංචාල’ නගරයෙහි පංචාල රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් නියං ගමක බමුණු පවුලක ඉපිද, නිසි වියට පත්ව තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පසුකලෙක තවුස් පැවිද්දෙන් පැවිදිව, හිමවතෙහි ආහාර සිඟීමෙන් වනමුල් පලවැලින් යැපෙමින් බොහෝ කලක් වැස, ලුණුඇඹුල් සෙවීම සඳහා මිනිස් වාසයෙහි සැරිසරනුයේ, උත්තර පංචාල නුවරට පැමිණියේය. එහිදී රජුගේ උයනෙහි නැවතී, පසුදා පිඬු පිණිස නුවරට පිවිස, ක්‍රමයෙන් රාජවාසල වෙත පැමිණියේය. රජතුමා මේ තවුසාගේ හැසිරීම් පැවතීම් දැක පැහැදී, උඩු මහල් තලයෙහි ඔහු හිඳුවා රජ බොජුන් වළඳවා, තවදුරටත් උයනෙහි ම රඳවා ගැනීමට කැමති කර ගත්තේය. තවුස්තුමා දැන් නිබඳව රාජ මාලිගයෙන්ම දානය ගනී. මෙසේ වස්සානය නිමාවන තෙක්ම සිට, ඉන්පසු නැවත හිමාලයට යනු කැමැතිව, මෙසේ සිතීය. ‘මහමග ගමන් කරන මට, තනිපට පාවහන් යුගලකුත් කොළවලින් සාදන ලද කුඩයකුත් ඇත්නම් මනාය, ඒවා රජුගෙන් ඉල්ලා ගන්නෙමි’ යනුවෙනි. මෙසේ සිතූ තවුසා, එක් දිනක් තමා වෙත පැමිණි රජතුමා, තමාට නමස්කාර කොට එකත්පස්ව හිඳිනු දැක, ඉහත කී භාණ්ඩ රජුගෙන් ඉල්ලීමට සිතූ මුත් ‘අනුන්ගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලන්නෙකුට නැතැ යි කීමද, හැඬීමක් වැනිය. මා හඬනු මෙහි සිටින පිරිස දුටුවහොත්, එය ද හොඳ නැත. ඒ නිසා මෙහිදී අප දෙදෙනාම නොහඬා පසුව කිසිවකු නැති තැනකදී, ඇවැසි දේ රජුගෙන් රහසිගතව ඉල්ලා ගන්නෙමැ’යි නිශ්ශබ්ද විය. ටික වෙලාවකට පසුව තවුසා රජතුමාට කථාකොට එතුමා රහසිගතව හමුවීමට අවශ්‍ය බව කීවේය. එවිට රජතුමා අවට සිටි රාජපුරුෂයන් ඉවත් කරවීය. එවිටද බෝසත් තවුසා ‘ඉදින් මා ඉල්ලූවිට රජතුමා ඒවා නොදුන්නොත්, අප අතර ඇති මිතුරුකම එයින්ම ඉවර වේ. එම නිසා කිසිවක් නො ඉල්ලන්නෙමි’යි තීරණය කොට, අවශ්‍ය දේ කියාගත නොහැකිව ‘මහරජතුමනි, මම එය පසුව ඔබතුමාට කියන්නෙමි. එබැවින් දැන් ආපසු යනු මැනවැ’යි රජු පිටත්කොට යැවීය.
නැවත අන්දිනෙක රජතුමා තවුසා වෙත පැමිණියේය. එදා ද සිදුවූයේ පළමු කී දේමය. මෙසේ තවුසාගේ මේ උත්සාහයටම දොළොස් වසක් ගතවිණි. අවුරුදු දොළොසකට පසුව රජතුමා මෙසේ සිතීය. ‘මේ උතුම් තාපසතුමා ‘රහසක් පවසන්නෙමැ’යි කියා උත්සාහවත් වී, පිරිස ඉවත්වූ පසු කිසිවක් කියා ගැනීමට අපොහොසත් වේ. වසර දොළහක්ම උත්සාහ ගත්තත් තවම එය කියාගත නොහැකිව සිටින සෙයක් පෙනේ. එකත් එකටම බොහෝ කාලයක් බ්‍රහ්ම චර්යාවෙහි යෙදුණු එතුමාට තපසෙහි කලකිරී සම්පත් විඳීමට කැමැත්තක් ඇතිවීම නිසා මාගේ රජය අපේක්‍ෂා කරන බවක් පෙනේ. මාගෙන් රාජ්‍යය ඉල්ලාගැනීමට ආත්ම ශක්තියක් නොමැතිකම නිසාම ඔහු නිශ්ශබ්ද වේ. ඒ නිසා මම දැන් මේ මොහොතේදීම රාජ්‍යය ආදීකොට ඇති, ඔහු ඉල්ලන සියල්ලම ඔහුට දෙන්නෙමි’යි තීරණය කර ගත්තේය. අනතුරුව උයනට ගිය රජතුමා තුවුසාට වැඳ එකත්පස්ව වාඩිවිය. තවුසා ද පුරුදු පරිදි රහස කීමට සූදානම් වී පිරිස ඉවත් වූ පසු, කිසිවක් කියාගත නොහැකිව නිශ්ශබ්ද විය. එවිට රජතුමා ‘ස්වාමීනි, ඔබතුමා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ එකම රහසක් කීමට උත්සාහ කළ නමුත්, කිසිවක් කියාගත නොහැකි වූවෙහිය. එබැවින් අද මම ඔබතුමාට මාගේ මේ රජය ප්‍රධානකොට ඇති, සියල්ලම පවරා දෙමි. එම නිසා බිය සැක නැතිව ඔබතුමා කැමති ඕනෑම දෙයක් ඉල්ලනු මැනවැ’යි කීය. ඒ ඇසූ තවුසා ‘මහරජතුමනි, යමක් ඉල්ලුවොත් එය දිය හැකිදැ’යි ඇසීය. ‘එසේය, ස්වාමීනි’, ‘එසේ වී නම් රජතුමනි, නිතර මහමග යන මට, තනිපට වහන් සඟලකුත් කොළවලින් සෑදූ කුඩයකත් ලැබේ නම් මැනවැ’යි තවුසා කීය. ඒ ඇසූ රජතුමා ‘ස්වාමීනි, ඔබවහන්සේට දොළොස් අවුරුද්දක් ගතවූයේ මේ ඉල්ලීමටදැ’යි, ඇසීය. ‘රජතුමනි, එසේය’. ‘ස්වාමීනි, මෙසේ කෙළේ කුමක් නිසා ද?’ ‘මහරජතුමනි, කෙනෙකුගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලූවිට නැතැ’යි කෙනකුගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලූවිට නැතැයි කීම ද, හැඬීමකි. යම් විදියකින් මා ඔබගෙන් යමක් ඉල්ලා, එය දිය නොහැකි වුවහොත්, අප දෙදෙනාගේම හැඬීම අවට සිටින අය දකිති. මේ හේතුව නිසා එය රහසින් ඉල්ලන්නට සිතුවෙමි’යි කරුණු පැහැදිලි කළ බෝසත් තවුසා, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
ද්වයං යාචනකො රාජ - බ්‍රහ්ම දත්තෙ නිගච්ඡති,
අලාභ ධනලාභං වා එවං ධම්මා හි යාචනා
බඹදත් රජතුමනි, ඉල්ලන්නකුට ධන ලාභය හෝ අලාභය හෝ යන දෙකට පැමිණීමට සිදුවේ. යාඥාව වූ කලී මෙබඳු ස්වරූප ඇත්තේය.
2. පංචාලයට අධිපති රජතුමනි, යාඥාව හැඬීමකැ’යි කියති. යමෙක් එය ප්‍රතික්‍ෂෙප කෙරේද? එය ප්‍රතිරෝදනය (පෙරළා හැඬීම)යි කියති.
3. එබැවින් රැස්වූ පංචාල වැසියෝ, මාගේ හැඬීමත්, ඔබගේ පෙරළා හැඬීමත් නොදකිත්වා යන හැඟීම නිසා ‘පෞද්ගලික හමුව’ කැමති වෙමි.
මෙහි ‘රාජ බ්‍රහ්මදත්ත’ යන වචන දෙකෙන්ම රජු අමතයි. ‘නිගච්ඡති’ යනු ලබයි, හිමිකර ගනී යන අර්ථයි. ‘එවං ධම්මා’ යන ‘මෙබඳු ස්වභාව ඇත්තේය’, යන අර්ථයි. ‘ආහු’ යනු පඬිවරු කීහ’, යන අර්ථයි. ‘පංචාලාහං රථෙසභ’ යනු පංචාලයට අධිපති රජතුමනි’, යන අර්ථයි. ‘යො යාචනං පච්චක්ඛාති’ යනු ‘යමෙක් වනාහී යම් යදියකුට නැතැයි, ප්‍රතික්‍ෂෙප කෙරේද?’ යන අර්ථයි. ‘තමාහු’ යනු ‘ඒ ප්‍රක්‍ෂේප කිරීම’යි. ‘පටිරොදනං’ යනු ‘ප්‍රකාශ කළ බව කියති’, යන අර්ථයි. ‘මා මද්දසංසු’ යනු ‘මෙතැනට රැස් වූ ඔබගේ පංචාල රටවැසියෝ, හඬන මා නො දකිත්වා යන අදහසයි.