2. දද්දභ ජාතකය (322)
‘දද්දභායති භද්දන්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අන්‍ය තීර්ථකයන් අරබයා දේශනා කළ සේක. තීර්ථකයෝ දෙව්රම් වෙහෙර සමීපයෙහි, ඒ ඒ තැන කටු මැසිවල නිදා ගනිති. පංච තාපයෙන් ශරීර තවති, විවිධ වූ මිථ්‍යා තපස්කම් කෙරෙති. දිනක් භික්‍ෂූහු බොහෝ දෙනෙක් ඉහත කී තපස්වීන් දැක, බුදුරදුන් වෙත ගොස් ‘ස්වාමීනි, අන්‍ය තීර්ථක මහණ බමුණන්ගේ ව්‍රත සමාදානයෙහි සාරයක් ඇත්දැ’යි, විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඔවුන්ගේ ව්‍රත සමාදානයෙහි හරයක් හෝ, විශේෂයක් හෝ නැත. පරීක්‍ෂා කොට බලන කල්හි ඔවුන්ගේ වෙහෙසර වූ ගමන්මග කාන්තාර මාර්ගයක් වැනිය. බියට පත් සාවාගේ නිශ්ඵල දිවිල්ල වැනියැ’යි, වදාළ සේක. එවිට එහි සිටි භික්‍ෂු පිරිස ‘ස්වාමීනි, සාවාගේ කථාව අපි නො දනිමු. එය වදාළ මැනවැ’යි ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඒ අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිංහ ජාතියෙහි ඉපිද, තරුණ වියට පත්වී, වනයෙහි වෙසේ. එකල බටහිර මුහුද සමීපයෙහි, අතරින් පතර බෙලි ගස් ඇති, තල් වනයක් විය. කැලයෙහි වෙසෙන එක් සාවෙක් බෙලි ගසක් සමීපයෙහි වූ තල් ගසක් මුල නිදන්නට පුරුදු වී සිටියේය. දිනක් ඌ ගොදුරු ගෙන තල් ගස යට හාන්සි වී, මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තේය. ‘ඉදින් මේ මහපොළොව යම්දිනෙක පෙරළෙන්නට පටන් ගත්තොත්, කොහේ කියා යන්නෙම්ද? යනුවෙනි. ඌ මෙසේ සිතද්දීම, බෙලිගෙඩියක් තල්කොළයක් උඩට වැටුණි. ඒ ශබ්දයෙන් තැතිගත් සාවා ‘ඒකාන්තයෙන්ම මහපොළොව පෙරළෙන්නේයැ’යි වහා නැගිට පසු නොබලා දුවන්නට පටන් ගත්තේය. මරණ භයෙන් අතිවේගයෙන් දුවන ඌ දුටු, වෙනත් සාවෙක් ‘පින්වත, කුමකට බියෙන් මෙසේ පලායේදැ’යි විමසීය. එවිට පළමු සාවා ‘මාගෙන් ප්‍රශ්න නො අසව’යි කියමින් දිව්වේය. දෙවනු කී සාවාද, ‘ඔබ බිය වූයේ කුමකටදැ’යි නැවත නැවතත් අසමින්, ඌ පසු පසම දිව්වේය. පළමු සාවා, පසුපසින් එන්නාගේ ප්‍රශ්න කිරීමෙන් මිදෙන්නට බැරි තැන, පසුපස නොබලමින්ම ‘මහපොළොව පෙරළේ’ යැයි කියමින් දිවීය. ඉන් බියට පත්වූ, දෙවනු කී සාවාද, මෙතෙක් දිවූ අයුරෙන්ම දිගටම දුවන්නට පටන් ගත්තේය. මේ අතර තවත් සාවෙක්, මොවුන් දෙදෙනා දුවනු දුටුවේය. කිසිදු ප්‍රශ්නයක් නො අසාම, ඌ ද පළමු දෙදෙනාට එකතු විය. මෙසේ ටික වේලාවකින් දුවන හා රංචුව දහසක් පමණ විය. ඔවුන් දුටු එක් මුවෙක්ද, කණ්ඩායමට එකතු විය. මෙසේ එක් ඌරෙක්ද, එක් ගෝනෙක්ද, මීහරකෙක්ද, ගවරෙක්ද, කඟවේනෙක්ද, ව්‍යාඝ්‍රයෙක්ද, සිංහයෙක්ද, ඇතෙක්ද, රංචුවට එකතු වූහ. මොවුන් එකතු වූයේ පොළොව පෙරළෙන බව, අසා දැනගැනීමෙන් පසුය. මෙසේ අනුක්‍රමයෙන් යොදුනක් පමණ දිගට මහා සත්ත්ව බලකායක් විය.
බෝසත් තෙමේ, පලා යන මේ පිරිස දැක වහා ඔවුන් නවත්වා ‘කුමකට බියෙන් දුවන්නාහු’දැයි විමසීය. පොළොව පෙරළෙන බැවින් දුවන බව ඔවුහු කීහ. එවිට බෝසත් සිංහරාජයා ‘මහපොළොව පෙරළෙන බවක් කිසිදා අසා නැත. එකත් එකටම කිසියම් දෙයකට මොවුන් බිය වී ඇත. මා මෙහි දී මැදිහත් නො වුණොත් මේ සියලු දෙනා නැසෙති. එබැවින් මේ හැමට ජීවිත දානය දෙන්නෙමැ’යි, සිංහ ලීලාවෙන් පර්වත පාදය ඉදිරියට ගොස්, තෙවරක් සිංහනාද කෙළේය. මෙයින් බියපත් වූ, තිරිසන් සත්තු සියලු දෙනා ආපසු හැරී එකට එක්ව පොදි ගැසුනාහුය. සතුන් ළඟට ගිය සිංහයා, ඔවුන් අතරට පිවිස, ‘බිය වූයේ කුමකට’දැයි ඔවුන්ගෙන් ඇසීය. පොළොව පෙරළෙන නිසා දිවූ බව ඔවුන්ගේ පිළිතුර විය. එවිට සිංහයා කථා කොට, ‘පොළොව පෙරළෙනු මුලින්ම දුටුවේ කවුදැ’යි ඇසීය. ‘ඒ බව දන්නේ ඇතුන් යැ’යි එකෙක් කීය. සිංහයා ඇතුන්ගෙන්, ඒ බව ඇසූවත්, ඔවුහු ‘අපි නො දනිමු. මෙහි සිටින සිංහයෝ දනිති’යි කීහ. සිංහෝ ද, තමන් නොදන්නා බවත් ව්‍යාඝ්‍රයන් ඒ සම්බන්ධව දන්නා බවත්, පැවසූහ. ව්‍යාඝ්‍රයෝ ද ඒ ගැන දන්නේ තමන් නොව, කඟවේනන් බව කීහ. ඔවුහු ද, ගවරුන් දන්නා බව කීහ. මෙසේ මීහරක්ගෙන් ද, ගෝනුන්ගෙන්ද, ඌරන්ගෙන්ද, මුවන්ගෙන්ද, සාවුන්ගෙන්ද, ප්‍රශ්න කළ සිංහරාජයා අවසානයේදී පළමු කී සාවා ළඟට පැමිණියේය. ‘යහලු සාවාණෙනි, නුඹ පොළොව පෙරළෙනු දුටුවේද?’ ‘එසේය, ස්වාමීනි, මම දුටුවෙමි’. ‘දුටුවේ කොහිදීද?’ ‘බටහිර සමුදුර සමීපයෙහි බෙලිගත් සහිත වූ තල් වනයෙහි මම ජීවත් වෙමි. මම එහි බෙලිගසක් සමීපයෙහි වූ තල්ගසක් මුල හාන්සි වී, ‘මේ මහ පොළොව පෙරළෙන්නට පටන්ගත්තොත්, කොහේ කියා නම්, යන්නෙම්දැ’යි සිතමින් සිටියෙමි. ඒත් එක්කම පොළොව පෙරළෙන ශබ්දය ඇසුණි. මම වහා නැගිට දුවන්නට පටන් ගත්තෙමැ’යි සාවා උත්තර දුන්නේය.
සිංහයා මඳක් කල්පනා කෙළේය. ‘එකත් එකටම තල් කොළයක් මතට ‘දද්දභ’ යන හඬින් බෙලි ගෙඩියක් වැටෙන්නට ඇත. ඒ ශබ්දයට බිය වූ මේ හාවා, ‘පොළොව පෙරළේ යැ’යි, යන හැඟීමෙන් පලා දුවන්නට ඇත. මම එය වූ සැටියෙන් ම දැන ගන්නෙමැ’යි, තීරණය කළ සිංහරාජයා, රැස්ව සිටි පිරිස අමතා, ‘මම මේ හාවා කියන තැනට ගොස්, මෙහි ඇත්ත නැත්ත ඇති සැටියෙන් බලා එනතුරු, තෙපි මෙතැනටම වී හිඳිවුයැ’යි කියා ඉහත කී සාවා ද කැටුව, ඌ තම පිට උඩ හිඳුවාගෙන, සිංහ වේගයෙන් තල් වනය වෙත දිවැ ගියේය. එහිදී සිංහයා සාවාට කථාකොට එම තා සිටි තැන පෙන්වව’යි සාවාට කීය. එවිට සාවා ‘අනේ ස්වාමීනි, මෙය මට කළ නො හැක්කකැ’යි බියෙන් වෙව්ලන්නට පටන් ගත්තේය. ‘එව, බිය නොවෙව, මම ද තා සමග එන්නෙමි. මට තැන පෙන්වව’යි සිංහයා පැවසීය. මෙහිදී බියට පත් සාවා බෙලිගස වෙත යන්නට නොහැකිව ඈතින් සිට, ‘ස්වාමීනි, අර තිබෙන්නේ ‘දද්දභ’ යන හඬ ඇසුණු තැන යැ’යි යනුවෙන් ස්ථානය දක්වා, මෙසේ ද කීවේය.