1. කුටිදූසක ජාතකය (321)
‘මනුස්සස්සෙව තෙ සීසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, මහ කසුප් තෙරුන්ගේ පන්සල දැවූ තරුණ මහණ කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව රජගහ නුවර සිදුවූවකි. එකල කාශ්‍යප තෙරුන් වහන්සේ රජගහ නුවර කැලෑබද විහාරයක වෙසෙති. ලාබාල සාමණේර දෙනමක් උන්වහන්සේට උපස්ථාන කෙරෙති. උපස්ථායක දෙනමගෙන් එක් නමක් සැබෑවටම තෙරුන්වහන්සේට උපස්ථාන කිරීමට කැමතිය. අනෙක් නම අකීකරුය. ඔහු අනුන් කළ යහපත් දෑ තමන් කළ බව හඟවන්නකි. එබැවින් කීකරු සාමණේර නම තෙරුන්ට උදෑසන මුහුණ සේදීම සඳහා උණු ජලය සකස් කළ පසු, අකීකරු නම් එය තමාගේ මැඩක් මෙන් හඟවා, තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි, උණු ජලය සකස් කෙළෙමි. මුහුණ සෝදා ගත මැනවැ’යි ආරාධනා කරයි. අනෙක් නම උදෑසන නැගිට පන්සල් බිම හැමද වතාවත් ආදිය සිදුකළ පසු, කපටි නම තෙරුන් වහන්සේ ලැගුම් ගෙයින් එළියට එන වේලාවේදී, අතෙහි ඉදලක් දරාගෙන මුළු පන්සලම තමා හැමදූ බව හඟවමින් තෙරුන් අවට හැසිරේ. දිනක් වත්පිළිවෙත් පුරන සාමණේර නම, ‘මේ කපටි තැනැත්තා මා කළ සියල්ල, ඔහු කළ බව හඟවා, කටයුතු කරයි. එබැවින් මොහුගේ කපටිකම එළිදරව් කළ යුතු යැ’යි, සිතා ගත්තේය.
දිනක් පිණ්ඩපාතේ ගොස් ආපසු වැඩි කාශ්‍යප තෙරුන් වහන්සේ දානය වළඳා, මඳක් සැතපුණු සේක. ඒ අතර වත් පුරන හිමිනම තෙරුන් වහන්සේ සඳහා නාන ජලය රත් කරමින් සිටියේය. නිසි පමණට ජලය රත් වූ පසු, භාජනයේ ජලය ස්වල්පයක් තිබෙන්නට හැර ඉතිරි සියල්ල නාන කොටුවේ පිටත තැබුවේය. මේ අතර කපටි නම වහා අවදිව උදුන සමීපයට ගොස්, ලිප මත තිබූ ජල බඳුනෙන් දුම් නගිනු දැක, ‘තෙරුන්ට නෑම සඳහා ජලය සකසා නාන කොටුව තුළ තබා ඇතැ’යි, සලකා වහා තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි, ඔබවහන්සේ සඳහා උණු වතුර සකසා, නාන කොටුවේ තබා ඇත. එහි ගොස් නානු මැනවැ’යි, ආරාධනා කෙළේය. තෙරුන් වහන්සේ ද, නෑම සඳහා සූදානම් වී නාන කොටුවට ඔහුත් සමගම වැඩ, එහි ජලය නොමැති බව දැක, ‘ජලය කොහිදැ’යි ඔහුගෙන් විමසූහ. මෙහිදී වහා ක්‍රියාත්මක වූ කපටිම ගිනිහල් ගෙට ගොස්, ලිප මත තිබූ වතුර භාජනයට කිණිස්ස දැමීය. එවිට කිණිස්සේ කෙළවර භාජන පතුලේ වැදී හඬක් නැඟුණි. ඔහු ලජ්ජාවට පත්විය. එදා සිට ඔහුට ‘කිණිසි හඬා’ යැයි නමක් පටබැඳුණි.
පසුව වත් ගරුක හිමිනම කොටුවෙන් පිටත තබා තිබුණු උණු ජලය, කොටුව තුළට ගෙනවිත් සකස්කොට, මහකසුප් තෙරුන්ට නෑම සඳහා ආරාධනා කෙළේය. කාශ්‍යප තෙරුන් වහන්සේ පැන් සනහා, සිදුවූ දේ සම්බන්ධ වත් නො හික්මුණු සාමණේරයා සම්බන්ධවත් මැනවින් සිතා බලා, සවස උවටැන් පිණිස සාමණේර දෙනම අතුරෙන්, බොරු කී තැනැත්තා අමතා ‘ඇවැත්නි, මහණකු විසින් තමා කළ දේ ම කියන්නට වටී. නො කළ දේ කීම දැන දැන බොරු කීමකි. මින් පසු එසේ නො කරව’යි, අවවාද කළ සේක. අවවාදයෙන් කිපුණු හිමි නම, පසු දා තෙරුන් සමග පිණ්ඩපාතයේ නො ගියේය. තෙරුන් වහන්සේ අනෙක් නම සමග වැඩියහ. මේ අතර තෙරුන්ගේ දායක නිවෙසකට ගිය, ‘කිණිසි හඬා’ ගෙදර අය ‘තෙරුන් කොහිදැ’යි විමසූ විට, ලෙඩ වී පන්සලේ ඉන්නා බව පැවසීය. එවිට ගෙදර අය ‘හිමියනි, තෙරුන්ට අප කුමක් සකසා දිය යුතු දැ’යි, ඇසූ විට ‘මේ මේ දේ අවශ්‍ය යැ’යි කියා, තමා කැමති දේ ලබාගත් හිමිනම තමාට රිසි තැනකට ගොස්, අනුභව කොට විහාරයට ගියේය.
ඊට පසුදා තෙරුන් වහන්සේ ඉහත කී නිවෙසට වැඩියහ. එවිට ගෙදර අය, ‘ස්වාමීනි, ඔබවහන්සේගේ අසනීපය කෙසේද? ඊයේ විහාරයේම වැඩසිටි ඔබවහන්සේට, අසවල් හිමි ම අතේ කැමැති කැමැති ආහාර එව්වෙමු. ඒවා වැළඳූ සේක් දැ’යි විමසූහ. එවිට තෙරුන් වහන්සේ නිශ්ශබ්දවම වැඩ හිඳ, දානය වළඳා විහාරයට වැඩි සේක. සවස උවටැන් සඳහා තමා වෙත පැමිණි කුඩා දෙනමගෙන්, බොරුකාර හිමියන් අමතා තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, ඔබ ඊයේ අසවල් ගෙදරට ගොස්, තෙරුන්වහන්සේට මේ මේ දේ අවශ්‍ය යැ’යි කියා ඒවා ලබාගෙන, ඔබ අනුභව කළා නොවේද? යම් යම් දේ ඉල්ලීම භික්‍ෂුවකට නොවටී. නැවත මෙබඳු අනාචාර කටයුතු නො කරව’යි අවවාද කළ සේක. මේ අවවාදයෙන් තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්, ඒ හිමි නම ‘මොහු පෙරදිනක වතුර ටිකක් නිසා, මා සමග කලහ කෙළේය. අද දායක ගෙදරකින් බත් ටිකක් කෑවේ යැ’යි, එය ඉවසිය නොහැකිව යළි යළිත් කලහ කරයි. මීට කළයුතු දේ මම දනිමි’යි, කෝපයෙන් වෙවුලන්ට විය. පසුදා තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩිකල්හී, ඉහත කී නොහික්මුණු හිමිනම, පොල්ලක් ගෙන වෙහෙරෙහි වූ සියලු පරිභෝග වස්තු බිඳ දමා, පන්සල ගිනි තියා පලා ගියේය. ඔහු තමා කළ අවැඩ නිසාම ජීවමාන මනුෂ්‍ය ප්‍රේතයෙක්ව, කෙට්ටු වී මැරී ගොස්, අවීචි මහා නිරයෙහි උපන්නේය. ඔහු විසින් කළ අනාචාරය රටේ ප්‍රචලිතව ගියේය.