9. ඡවක ජාතකය (309)
‘සබ්බං ඉදං චරිමවතං’ යන මේ ගාථා කොටස ඇතුළත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වසන සේක්, ‘ජබ්බග්ගිය’ භික්ෂූන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව විනයෙහි, විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි එය සැකෙවින් දක්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් හයදෙනා ළඟට කැඳවා, ‘මහණෙනි, ඔබ මිටි අසුනක හිඳ, උස් අසුනක හුන් කෙනෙකුට දහම් දෙසුවහුදැ’යි ඇසූහ. ‘එසේය ස්වාමීනි’යි කියා, එය පිළිගත් ඒ භික්ෂූන්ට, කළ වරදට නිග්රහ කළ, බුදුරජාණන් වහන්සේ, ‘මහණෙනි, තොප මාගේ ශ්රී සද්ධර්මයට අගෞරව කිරීම අයුතුය. පැරණි පඬිවරු වූ කලී මිටි අසුනක හිඳ, දහමින් බැහැර වූ අන් ශාස්ත්රයක් වුවද, ප්රකාශ කිරීම, ගැරහීමට ලක් කළහ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ සැඩොල් කුලයක ඉපිද, නිසි වියට එළඹියේ විවාහ දිවියට ඇතුල් විය. පසු කලෙක ඔහුගේ බිරිය ගැබ්බර ව, අඹ කෑමේ දොළදුකකින් පෙළුනාය. දිනක් ඇය සිය සැමියා අමතා, ‘හිමියනි, අඹ කෑමට ආසාවක් ඇතැ’යි පැවසුවාය. ‘සොඳුර, මෙකල අඹ සොයා ගත නොහැක. අන් කිසි ඇඹුල් ඵලයක් ගෙනෙන්නෙම්දැ’යි සැමියා ඇසීය. ‘ස්වාමීනි, අඹ ලැබුණොත් මම තවදුරටත් ජීවත් වන්නෙමි. නොලැබුණොත් මාගේ දිවි නොරැකේයැ’යි බිරිඳ පැවසුවාය. මෙය ඇසූ බෝසත් තෙමේ ඈ කෙරෙහි තදින් බැඳුන සිත් ඇතිව කෙසේ නම් අඹ සොයන්නෙම්දැ’යි කල්පනා කරන්නට විය. මේ කාලයේ දී බරණැස් රජුගේ මඟල් උයනෙහි ගෙඩිවලින් පිරුණු අඹගසක් විය. බෝසත් තෙමේ එය දැනගෙන, ‘එතැනින් අඹ ගෙඩියක් ගෙනැවිත්, සිය බිරිඳගේ දොළදුක සංසිඳවන්නෙමැ’යි සිතා, රාත්රී කාලයෙහි උයනට ඇතුල්ව, අඹ ගසට නැග, කළුවරේම අඹ සොයමින්, අත්තෙන් අත්තට ගියත්, අඹ ගෙඩියක් සොයාගත නොහැකි විය. මුළු රෑ පුරාවටම ඔහු මේ කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරම රෑ පහන් විය. එවිට ඔහු මෙසේ සිතීය. යම් විදියකින් මා දැන් ගසෙන් බැස යන්නට සූදානම් වුවහොත්, ‘සොරෙකැයි’ සිතා, අල්වා ගනු ඇත. ඒ නිසා රෑ වනතෙක් මෙහිම සිට, පැනගන්නෙමි’යි එක් අතු දෙබලකට නැග සැඟව සිටියේය.
එකල බරණැස් රජතුමා පුරෝහිත බමුණා වෙතින් මන්ත්ර උගනියි. මේ කටයුත්ත සිරිත් පරිදි කෙරෙනුයේ මඟුල් උයනේදීය. රජතුමා උයනට පිවිස, ඉහත කී අඹ ගස මුල උස් අසුනක් තබවා, එහි හිඳ සිය ගුරුතුමා වන පුරෝහිත බමුණා මිටි අසුනක හිඳුවා ඔහුගෙන් මන්ත්ර උගනියි. බෝසත් තෙමේ ගස උඩ හිඳ, මෙසේ සිතීය. මේ නො දැහැමි රජ උස් අසුනක හිඳ මන්ත්ර උගනියි. මේ නො දැහැමි බමුණා ද මිටි අසුනක හිඳ මන්ත්ර උගන්වයි. නො දැහැමි වූ මම ද, ගැහැණියකගේ වචනයකට ජීවිතය ද, නො තකා අඹ ගෙන යන්නට අවුත්, මෙහි හිඳිමි. මේ අනුව අපි තිදෙනා ම අධාර්මිකයෝ වෙමු. මෙසේ සිතූ බෝසත් තෙමේ, ගසින් බසින්නට තීරණය කොට බිමට නැමුණු එක් අත්තක එල්ලී, රජුත් පුරෝහිතයාත් අතරමැදට පැන්නේය. අනතුරුව ඔහු මෙසේ ද කීය. ‘මහරජතුමනි, මම විනාශ වූයෙමි. ඔබ මාළු වූවෙකි. පුරෝහිතයා මල තැනැත්තෙකි’ මේ ඇසූ රජතුමා ‘ඔබගේ ප්රහේළිකාව අපට නො වැටහේ. එබැවින් කුමන කරුණක් නිසා, එසේ කීයේ දැ’යි ප්රශ්න කළ රජුට, පිළිතුරු වශයෙන් බෝසත් තෙමේ මේ ගාථාව ප්රකාශ කෙළේය.
සබ්බං ඉදං චරිමවතං - උභො ධම්මං නපස්සරෙ,
උභො පකතියා චුතා - යො චාය මන්තජ්ඣායතී
උභො පකතියා චුතා - යො චාය මන්තජ්ඣායතී
යමෙක් මන්ත්ර (පුරාණ සමාජ ධර්ම) උගන්වයි ද? වෙනත් යමෙක් එය හදාරාද? මේ දෙදෙනාම, ඒ ධර්මය නො දකිත්. දෙදෙනාම ඒ ධර්මයෙන් බැහැර වූවාහු වෙති. මේ සියලු දෑ ස්ථිර වශයෙන්ම ලාමකය.
මෙහි ‘සබ්බං ඉදං චරිමවතං’ යනු ‘අප තිදෙනා විසින්ම කරන ලද, ලාමක වූ ද, සීමාව ඉක්ම වූද, මේ සියලු කටයුතු අධාර්මිකය යන්නයි. මෙසේ සොරකමට බට තමා ද මන්ත්රයන්හි අගෞරව කළ, ඔවුන් දෙදෙනාටද ගර්හා කොට නැවතද, ඔවුන් දෙදෙනාට දොස් තබමින්, ‘උභො ධම්මං න පස්සරෙ’ යනාදිය කීය. එහි ‘උභො’ යනු ගෞරවයට සුදුසු වූ පුරාණ ධර්මය, ඒ අයුරෙන්ම, පුද්ගලයෝ දෙදෙනෙක් නො දකිත්ද? ඔවුහු වෙති. එබැවින් ඔවුහු ධර්ම ප්රකෘතියෙන් බැහැර වූවාහු වෙති. පළමුකොට උපන් බැවින් ධර්මය ‘පකති’ (ප්රකෘති) නම් වේ. ඒ මෙසේ ද කියා ඇත.
‘ඒකාන්තයෙන් ලොව මුලින්ම පහළ වූයේ ධර්මය යි. අධර්මය පහළ වූයේ පසුවය.’
‘යොචායං’ යනු ‘යමෙක් මිටි අසුනක හිඳ මන්ත්ර උගන්වාද? යමෙක් උස් අසුනක හිඳ එය උගනීද?’ යන මේ අදහසයි.
ඒ අසා බමුණා මේ ගාථාව කීය.
2. පිරිසිදු රසකාරක සහිතව, මස් සමග ඇල්හාලේ බත්, බොජුන් වශයෙන් අනුභව කරමි. එබැවින් සෘෂිවරුන් විසින් සේවනය කරන ලද, මේ ධර්මය ඇසුරු නො කෙළෙමි.
‘පින්වත, මම වනාහි මේ රජුට අයත් ඇල්හාලේ බත් ද, නොයෙක් ආකාරයෙන් මස් සකසා පිරිසිදුව, විවිධ අයුරෙන් රසකාරකද, මිශ්රකොට අනුභව කරමි. එනම්, උදර පෝෂණයෙහි ඇලී, ඉහත කී භෝජනය අනුභව කරමි. විමසන ලද ගුණයන් කරණ කොටගෙන, සෘෂිවරුන් විසින් ඇසුරු කළ දහම්, මම ඇසුරු නො කරමි’ යනුයි.
ඒ අසා අනෙක් තැනැත්තා (බෝසත් තෙමේ) මේ ගාථා දෙක කීය.
3. ලෝකය විශාලය. මෙහෙන් ඉවත්ව යනු මෙහි ජීවත්වීමට වෙනත් අය (ඕනෑ තරම්) සිටිති. (ඔබ) ගත කළ අදැහැමි ජීවිතය ගලෙකින් (ගසා) කළයක් (විනාශ කරන්නාක් මෙන්) තා නො නසාවා.
4. බමුණ, (අදැහැමින් ඔබ ලබාගත්) ඒ කීර්ති ලාභයට ද, ධන ලාභයට ද, අපායෙහි වැටීමට හේතුවන අධර්ම චරණයෙන් යුතු, යම් පැවැත්මක් වේ නම්, එයට ද නින්දා වේවා!
මෙහි ‘පරිබ්බජා’ යනු ‘මෙයින් අන් තැනකට යව’, යන අදහසයි. ‘මහා’ යනු ‘මේ ලෝකය නම්, මහා එකෙකි’ යන අදහසයි. ‘පවන්තඤ්ඤෙපී’ නම් ‘මේ දඹදිව වෙනත් ප්රාණීහු ද වෙසෙති. එකම රජු මොහු පමණක් නොවේ යනුයි. ‘අස්මා කුම්භමිව’ යනු ‘ගලෙකින් ගසා, කළයක් බිඳින්නාක් මෙන්, යන අදහසයි. වෙනත් තැනකට නොගොස්, මෙහි වෙසෙමින් යම් අධර්මයක හැසිරේ’ය යනු මෙය කියන ලද්දේ වේ. ‘අධර්මයෙහි ඇලී ධර්මයට අගෞරව කිරීම, ගලකින් ගසා කළයක් බිඳින්නාක් මෙනි. එසේ නො කරව’ යන අදහසයි.