10. සය්හ ජාතකය (310)
‘සසමුද්දපරියායං’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වෙසෙන සමයෙහි, කලකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව වූ කලී, සැවතෙහි පිඬු පිණිස හැසිරෙන විට, සුරූපී වූ එක් ස්ත්‍රියක් දැක, ඉන් සිත කලකිරී, සසුනෙහි අනභිරතියක් (නො ඇල්මක්) උපදවාගෙන විසීය. එය දැනගත් සෙසු භික්‍ෂූහු, ඉහත කී භික්‍ෂුව බුදුරදුන් හමුවට කැඳවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ සසුනෙහි කලකිරුණු බව ඇත්තක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේයැ’යි, භික්‍ෂුව උත්තර දුන්නේය. ‘මහණ, ඔබ කලකිරුණේ කුමක් නිසා දැ’යි, ඇසූ මෙම පැනයට පිළිතුරු ලෙසින්, ඒ භික්‍ෂුව තම සිත් තැවුලට හේතු වූ සියල්ල, බුදුහිමි ඉදිරියෙහි පැහැදිලි කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ ඔබ නිවන් පමුණුවන මෙබඳු සසුනක මහණව, කුමන අභාග්‍යයක් නිසා, සිත කලකිරවා ගත්තෙහිද? පෙර පඬිවරු තමන්ට ලැබුණු පුරෝහිත තනතුරු පවා ප්‍රතික්‍ෂේප කොට, පැවිදිබව කැමති වූහ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ දැක්වූහ.
අතීතයෙහි බරණැස බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ පුරෝහිත බ්‍රාහ්මණ බිරියගේ කුස පිළිසිඳ ගත්තේය. මේ බෝසත් බ්‍රාහ්මණ කුමාරයාත්, බඹදත් රජුගේ පුත් කුමාරයාත් යන දෙදෙනා ම එකම දිනයක උපන්හ. එදා රජතුමා ඇමතියන් අමතා අප රට තුළ මාගේ පුත්‍රයා හා එදා ම උපන් කවර දරුවෙක් හෝ ඇද්දැ’යි විමසීය. එහිදී පුරෝහිතයාගේ පුත් කුමරුන් ද එදිනම උපන්නකු බව ඇමතියන් වෙතින් දැනගත් රජතුමා, පුරෝහිතයාගේ කැමැත්ත මත, ඒ කුමරුවා ද රජගෙට ගෙන්වා, කිරි මව්වරුන් ලවා, කුමාරවරුන් දෙදෙනා ම මාලිගය තුළ ම තබා, පෝෂණය කරවීය. මේ කුමාරවරුන් දෙදෙනාගේ ම ආභරණ ද, කෑම බීම ආදියද එකක්ම විය. පසුව නිසිවියට එළඹි ඔවුහු දෙදෙනා එක්වම තක්‍ෂිලාවට ගොස්, සියලු ශිල්ප හදාරා නිමාකොට, පෙරළා පැමිණියහ. අනතුරුව රජතුමා සිය පුත්‍රයාට මහා යසස් සහිතව යුවරජ තනතුර ප්‍රදානය කෙළේය. එතැන් සිට වුවද, බෝසත් තෙමේ රාජ පුත්‍රයා සමගම එකට කෑම බීම නිදීම කරයි. මොවුන් දෙදෙනා තුළ වැඩුණු විශ්වාසය දැඩි ද ස්ථිර ද විය.
පසුකලෙක පියාගේ ඇවෑමෙන් රජ පැමිණි යුවරජතුමා, මහත් සම්පත් අනුභව කළේය. දිනක් ඒ සම්බන්ධව බෝසත් තෙමේ, ‘මාගේ මිත්‍රයා රජය කරවයි සුලු මතක් කිරීමෙකින්, පුරෝහිත තනතුර මට පවරනු ඒකාන්තය. එසේ වුවද මේ ගිහි ගෙයි විසීමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? එබැවින් පැවිදිව බවුන් වඩන්නෙමි’යි සිතුවේය. මෙසේ සිතූ බෝසත් කුමරා, මවුපියන් වැඳ පැවිද්දට අවසර ගෙන, මහත් සම්පත් හැර දමා, තනිවම නික්ම හිමවතට පිවිස, මනරම් බිම්කඩෙක පන්සලක් තනාගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, අභිඥාවන් ද සමාපත්තීන් ද උපදවා ගෙන ධ්‍යාන සුවයෙන් විසීය. එකල්හි රජතුමා ‘තම මිත්‍රයා තමා හමුවට නො එන්නේ මන්දැ’යි, ඔහු සිහිකොට ‘ඔහු පෙනෙන්නට නැත්තේ කුමක් නිසාද? ඔහු කොහි ගියේදැ’යි ඇමැතියන්ගෙන් විමසීය. ඇමතිවරු, ඔහු පැවිදිව වන ලැහැබ් සහිත රමණීය භූමි භාගයක වෙසෙන බව රජුට දැනුම් දුන්හ. රජතුමා තම මිතුරා වසන තැන විමසා දැන, ‘සය්හ’ නම් වූ තම ඇමැතියකු කැඳවා, ‘යව, මාගේ මිතුරා මෙහි වහා කැඳවාගෙන එව, ඔහුට පුරෝහිතකම දෙන්නෙමි’යි මගසලකුණු කියා දී, පිටත්කොට යැවීය. ‘යහපතැ’යි පිළිගත් ‘සය්හ’ නම් ඇමතියා බරණැසින් නික්ම පිළිවෙලින් පසල් ගමට පැමිණ එහි කඳවුරු බැඳ තම පිරිස එහි නවත්වා, එතැන් සිට වැද්දන් සමග බෝසතුන් වසන වන ගැබට ඇතුල්ව, බෝසතුන්ගේ පන්සල සොයා ඇවිදින්නට පටන් ගත්තේය. අවසානයේදී පන්සල සොයාගෙන එහි ළඟා වූ, ඔහුට පන්සල් දොරටුවේදීම රන්පිළිමයක් සේ වැඩහිඳින බෝසතාණන් වහන්සේ දක්නට ලැබුණි. ඉන් සතුටු වූ ඇමැතියා බෝසතුන් වැඳ, එකත්පස්ව හිඳ, පිළිසඳර කථාකොට මෙසේ පැවසීය. ‘ස්වාමීනි, අපේ රජතුමා ඔබතුමාට පුරෝහිත තනතුර ප්‍රදානය කිරීමට අපේක්‍ෂාවෙන්, ඔබේ පැමිණීම බලාපොරොත්තුව සිටී’ යනුවෙනි.
මෙය ඇසූ බෝසත් තෙමේ, ‘ඇමැතිතුමනි, පුරෝහිත තනතුර නොව, කාසි-කෝසල ඇතුළු දඹදිව රාජ්‍යයම හෝ, සක්විති රජකම හෝ දුන්නත් එය පිළිගැනීමට නොයන්නෙමි. ‘පඬිවරු වූ කලී, තමන් අත්හළ කෙලෙස් නැවත ගැනීම, ඉවත දමන ලද කෙල මෙන්, සලකති’යි පවසා මේ ගාථා ප්‍රකාශ කළේය.
ස සමුද්ද පරියායං - මහිං සාගර කුණ්ඩලං,
න ඉච්ඡෙ සභනින්‍දාය - එවං සය්හ විජානහි
සමුදුර වටකොට සිටි, සමුදුරට කුණ්ඩලාභරණයක් වැනි වූ, මහපොළොව නින්දා සහගතවම නො කැමති වෙමි. සය්හ, මෙසේ දනුව.
2. ‘බමුණ, ඒ යසස් ලාභයටත් ධන ලාභයටත්, නින්දා වේවා! අපායෙහි වැටීමට හේතු වන අධර්ම චරණයෙන් යම් පැවැත්මක් වේ නම්, එයට ද නින්දා වේවා!
3. ඉදින් පාත්‍රයක් ගෙන, අනගාරිකව තැන තැන යම්ද? අධර්මයෙන් සොයා ගන්නා දැයට වඩා එම ජීවිකාවම උතුම්ය.
4. ඉදින් ලෝකයෙහි අනෙකකුට හිංසා නො කරමින්, පාත්‍රයක් ගෙන අනගාරිකව, තැන තැන ඇවිදිම්ද? එය රාජ්‍යයකට වඩා උතුම් ය.
මෙහි ‘සසමුද්ද පරියායං’ යන්නෙහි ‘පරියාය නම් පිරිවරා ගැනීමය’යි, කියන ලදි. ‘සමුදුර වටකොට සිටි චක්‍රවාල පර්වතය සමග හෝ, සමුද්‍ර සංඛ්‍යාත පිරිවර සමග’ යන අර්ථයි. ‘මහිං සාගරකුණ්ඩලං’ යනු ‘සාගරය මැද දිවයිනක් වශයෙන් පිහිටි බැවින්, එයට කුණ්ඩලාභරණයක් වී යැ’යි යන අර්ථයි. ‘නින්‍දාය’ යනු ධ්‍යාන සුවයෙන් යුත් පැවිද්ද හැර දමා, වස්තුව ගත්තේය යන මේ නින්දාවෙන් යන අර්ථයි. ‘සය්හ’ යන නමින් ඔහු අමතයි යනුයි. ‘විජානහි’ යනු ‘ධර්මය දනුව’ යන අදහසයි. ‘යාවූත්ති විනිපාතෙන’ යනු පුරෝහිත තනතුර වශයෙන් ලද්දා වූ, ධ්‍යාන සුවයෙන් තමා පහතට ඇද දමන සුලු, විනිපාතයෙන් යුක්ත වූ ද, කීර්ති ලාභ - ධන ලාභ වෘත්තියයි. මෙතැනින් පිටව ගොස් ඉසුරු මදයෙන් මත් වූවහුගේ අධර්ම චරණයෙන් යුතු පැවැත්මට නින්දා වේවා යන අර්ථයි.