8. ජවසකුණ ජාතකය (308)
‘අකරම්හස තෙ කිච්චං’ යන මේ ගාථා කොටස ඇතුළත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක්, දෙව්දතුන්ගේ කළගුණ නො දන්නාකම අරබයා වදාළ සේක. දිනෙක දම්සභාවේ දී දෙව්දතුන්ගේ මේ ක්‍රියාපිළිවෙල, භික්ෂූන්ගේ විවේචනයට ලක්විය. එම අවස්ථාවේදී එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගේ සාකච්ඡාවට බඳුන් වූ කරුණ ගැන දැන, ‘මහණෙනි, දෙව්දතුන් අකෘතඥ වූයේ, දැන් මතු නො ව, පෙර ද එසේ වී යැ’යි වදාරා, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප මහා බෝසත් තෙමේ, හිමවත් පෙදෙසෙහි කොට්ටෝරු කුරුල්ලෙක් වී උපන්නේය. ඉක්බිති එක්දිනෙක එම වන පියසේම මස් කමින් සිටි එක් සිංහයෙකුගේ උගුරෙහි ඇට කැබැල්ලක් හිර විය. ඒ හේතුවෙන් උගේ බෙල්ල ඉදිමුනේය. ගොදුරු ගැනීමට ද නොහැකි විය. වේදනාවද ඉතා දරුණු විය. මේ අතර ඉහත කී බෝසත් කුරුල්ලා ගොදුරු සොයමින් කැලේ සැරිසරන විට ලෙඩ වූ සිංහයා දුටුවේය. අනතුරුව සිංහයා සමීපයෙහි තිබූ ගසෙක, අතුපතර සැඟවුණු කුරුල්ලා, ‘යහලුව, ඔබ කුමක් නිසා දුක් විඳීදැ’යි විමැසීය. සිංහයා සියලු විස්තර කොට්ටෝරුවාට පැවසීය. එවිට ‘හිතවත, ඔබගේ උගුරෙහි හිර වී ඇති, ඇට කැබැල්ල ඉවත් කිරීමට මා පොහොසත් වුවත්, ඔබ මා ආහාරයට ගනිති යි, යන බියෙන් මුව තුළට පිවිසෙන්නට පසුබාමී’යි කුරුල්ලා පැවසීය. එවිට සිංහයා, ‘හිතවත, බිය නොවන්න මම ඔබ නො කමි. මා සුවපත් කොට ජීවිතය රැකදෙනු මැනවැ’යි කීය. ඒ වචන පිළිගත් බෝසත් කුරුල්ලා, සිංහයා බිම හොවා, ‘මොහු කුමක් කෙරේදැ’යි කියා කවුරු දනිත් දැයි, සිංහයා සම්බන්ධයෙන් සැක සිතා, උගේ මුව වසන්නට නො හැකි වන පරිද්දෙන්, උඩු තොලත් යටි තොලත් හිර වෙන ලෙස, දඬු කැබැල්ලක් තබා අනතුරුව සිංහයාගේ මුව තුළට ඇතුල් විය. අනතුරුව සිය හොටයේ තුඩින්, උගුරේ හිරවුණු ඇට කැබැල්ලට පහර දුන්නේය. එය තිබූ තැනින් ඉවත්ව පහළට වැටුණි. අනතුරුව කුරුල්ලා වහා සිංහයාගේ මුවෙන් එළියට පැන ගත්තේය. එසේ පැන ගන්නවාත් සමගම, සිංහයාගේ මුව හිරවන සේ තබන ලද දඬු කැබැල්ලද මුදා හරිමින් ම අසල තිබූ ගසක් වෙත පියඹා ගොස්, අතු පතර සැඟවුණේය. සිංහයා සුවපත් විය. ටික කලකට පසු, එක් දිනෙක කුළුමීමකු මරා ගත් සිංහයා, උගේ මස් කන්නට පටන් ගත්තේය. එවිට එතැනින් පියඹා යන බෝසත් කුරුල්ලා, එය දුටුවේය. ‘තමා කළ උපකාරයට සිංහයා කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැ’යි විමසා බැලීමට මෙය ඉතා කදිම අවස්ථාවෙකි’යි සිතා බැලූ, කුරුල්ලා මස් කමින් සිටි සිංහයාගේ හිසට ඉහළින් පිහිටි, අත්තක වාඩි වී සිංහයාට කථාකොට මෙසේ කීවේය.
අකරම්හසතෙ කිච්චං - යං බලං අහුවම්හසෙ,
මිගරාජා නමොත්යඵු - අපි කිඤ්චි ලභාමසෙති
මිගරාජා නමොත්යඵු - අපි කිඤ්චි ලභාමසෙති
‘සිංහරාජය, ඔබට නමස්කාර වේවා! මගේ මුළු ශක්තියෙන් ඔබ වෙනුවෙන් කාර්යයක් කරන ලදි. (ඒ වෙනුවෙන්) අපට යමක් ලැබේද?
මෙහි ‘අකරම්හස තෙ කිච්චං’ යනු ‘පින්වත් සිහ රදුනි, ඔබගේ එක් කටයුත්තක් කෙළෙමු’ යන අර්ථයි. ‘යං බලං අහුවම්හසෙ’ යනු ‘අපට යම් බලයක් වී ද? ඒ බලයෙන් කිසිවක් අඩු නො කොට එයින් සේවය කෙළෙමු’ යන අර්ථයි.
ඒ අසා සිංහයා පිළිතුරු වශයෙන්, කුරුල්ලාට මෙසේ කීය.
2. නිතර රෞද්‍ර ක්‍රියාවන් කරන්නා වූ, රුධිර භක්ෂණයෙහි යෙදෙන, මාගේ දත් අතරට වැද සිටත්, තවම ජීවත් වේ නම්, එයද ලොකු දෙයකි.
සිංහයාගේ පිළිතුර අසා සිටි කුරුල්ලා, මෙසේ පැවසීය.
3. කළගුණ නොදත්, අනුන්ට උදව් නොකරන, උපකාර වූවෙකුට පෙරළා උපකාර නොකරන, පුද්ගලයෙක් වේද, යමෙකු කෙරෙහි කෘතඥතාවක් නැද්ද? ඔහුගේ ඇසුර නිරර්ථකය.
4. යමෙකුගේ ඉදිරියේ කළ උපකාරයෙන්, මිතුරු දහමක් ඇති නොවේ නම්, (නො ලැබේ නම්) ඔහුට ඊර්ෂ්‍යා නොකොට පරිභව නො කොට හිමින් සීරුවේ එතැනින් ඉවත් වන්නේය.
මෙහි ‘අකතඤ්ඤුං’ යනු ‘කළගුණ නො දත්’ යන අර්ථයි. ‘අකත්තාරං’ යනු ‘යම් කිසිවක් නො කරන’ යන අර්ථයි. ‘සම්මුඛචිණ්ණෙ’ යනු ‘අභිමුවෙහි කරන ලද ගුණයෙන්’ යන්නයි. ‘අනුසුය්යමනක්කොස’ යනු ‘ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යා නො කරමියි ආක්‍රෝශ පරිභව නොකරමියි, සෙමෙන් ඒ පුද්ගලයා වෙතින් ඉවත් වන්නේය’ යන අර්ථයි. මෙසේ ඒ බෝසත් කුරුල්ලා සිංහයා හමුවෙහි මේ අදහස් පවසා එතැනින් ඉවත්ව පියඹා ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිංහයා නම් දේවදත්ත විය. බෝසත් කුරුල්ලා වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කළ සේක.
9. ඡවක ජාතකය (309)
‘සබ්බං ඉදං චරිමවතං’ යන මේ ගාථා කොටස ඇතුළත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වසන සේක්, ‘ජබ්බග්ගිය’ භික්ෂූන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව විනයෙහි, විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි එය සැකෙවින් දක්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් හයදෙනා ළඟට කැඳවා, ‘මහණෙනි, ඔබ මිටි අසුනක හිඳ, උස් අසුනක හුන් කෙනෙකුට දහම් දෙසුවහුදැ’යි ඇසූහ. ‘එසේය ස්වාමීනි’යි කියා, එය පිළිගත් ඒ භික්ෂූන්ට, කළ වරදට නිග්‍රහ කළ, බුදුරජාණන් වහන්සේ, ‘මහණෙනි, තොප මාගේ ශ්‍රී සද්ධර්මයට අගෞරව කිරීම අයුතුය. පැරණි පඬිවරු වූ කලී මිටි අසුනක හිඳ, දහමින් බැහැර වූ අන් ශාස්ත්‍රයක් වුවද, ප්‍රකාශ කිරීම, ගැරහීමට ලක් කළහ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සැඩොල් කුලයක ඉපිද, නිසි වියට එළඹියේ විවාහ දිවියට ඇතුල් විය. පසු කලෙක ඔහුගේ බිරිය ගැබ්බර ව, අඹ කෑමේ දොළදුකකින් පෙළුනාය. දිනක් ඇය සිය සැමියා අමතා, ‘හිමියනි, අඹ කෑමට ආසාවක් ඇතැ’යි පැවසුවාය. ‘සොඳුර, මෙකල අඹ සොයා ගත නොහැක. අන් කිසි ඇඹුල් ඵලයක් ගෙනෙන්නෙම්දැ’යි සැමියා ඇසීය. ‘ස්වාමීනි, අඹ ලැබුණොත් මම තවදුරටත් ජීවත් වන්නෙමි. නොලැබුණොත් මාගේ දිවි නොරැකේයැ’යි බිරිඳ පැවසුවාය. මෙය ඇසූ බෝසත් තෙමේ ඈ කෙරෙහි තදින් බැඳුන සිත් ඇතිව කෙසේ නම් අඹ සොයන්නෙම්දැ’යි කල්පනා කරන්නට විය. මේ කාලයේ දී බරණැස් රජුගේ මඟල් උයනෙහි ගෙඩිවලින් පිරුණු අඹගසක් විය. බෝසත් තෙමේ එය දැනගෙන, ‘එතැනින් අඹ ගෙඩියක් ගෙනැවිත්, සිය බිරිඳගේ දොළදුක සංසිඳවන්නෙමැ’යි සිතා, රාත්‍රී කාලයෙහි උයනට ඇතුල්ව, අඹ ගසට නැග, කළුවරේම අඹ සොයමින්, අත්තෙන් අත්තට ගියත්, අඹ ගෙඩියක් සොයාගත නොහැකි විය. මුළු රෑ පුරාවටම ඔහු මේ කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරම රෑ පහන් විය. එවිට ඔහු මෙසේ සිතීය. යම් විදියකින් මා දැන් ගසෙන් බැස යන්නට සූදානම් වුවහොත්, ‘සොරෙකැයි’ සිතා, අල්වා ගනු ඇත. ඒ නිසා රෑ වනතෙක් මෙහිම සිට, පැනගන්නෙමි’යි එක් අතු දෙබලකට නැග සැඟව සිටියේය.