7. පලාස ජාතකය (307)
‘අචෙතනං බ්‍රාහ්මණ’ යන මේ ගාථා කොටස දැක්වෙන මේ ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැද හෙව, අනඳ තෙරුන් අරබයා වදාළ සේක. අනඳ තෙරිඳු අද රාත්‍රී භාගයේ දී, අලුයම් සමයේ දී ‘බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නාහ’යි දැන, ‘මම ද රහත් නො වූවෙක්මි. රහත් වීම සඳහා තවදුරටත් කළයුතු දේ ඇත්තෙක්මි. මාගේ ශාස්තෲවරයාණන් වහන්සේගේ පිරිනිවන නොබෝ වේලාවකින් වන්නේ යැ’යි ද, ‘අවුරුදු විසිපහක් මුළුල්ලේ සිදු කළ බුද්ධෝපස්ථානය නිශ්ඵල වන්නේයැ’යි ද, සිතමින් ශෝකයෙන් පීඩාවට පත්ව උද්‍යාන ගෘහයේ දොරගුල් කණුවේ එල්ලී, තදින් හැඬීය. බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් පෙනෙන්නට නැති බැවින් භික්ෂූන් අමතා, ‘මහණෙනි, ආනන්ද කොහිදැ’යි විචාළ සේක. අනතුරුව අනඳ හිමියන්ගේ ක්‍රියාව ගැන තොරතුරු දැන ගත්, බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා, ‘ආනන්දය, ඔබ පෙර කළ පින් ඇත්තෙකි. වහ වහා වීර්යය කරන්න. කෙලෙස් දුරු කරන්න. සිතේ කුහුල් ඇති කොට නොගන්න. මේ භවයේදී ඔබ විසින් මා උදෙසා කළ, උවටැන් මොන ම හේතුවක් නිසා වත් නිශ්ඵල නො වන්නේය. ඒ තබා පෙර රාගාදී කෙලෙස් සහිතව ඔබ කටයුතු කළ කාලයේදීවත් මට කළ උවටැන් නිශ්ඵල නො වීයැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැසට නුදුරුව රුක් දෙවියෙක්ව උපන්නේය. එකල බරණැස්පුර වාසීන්ට දෙවියන් සම්බන්ධ වූ සැණකෙලි මංගල්‍යයක් විය. නිතර බලි පූජා විදි අනුගමනය කරන මිනිසුන්ගේ කණ්ඩායම් තැන තැන විය. ඉක්බිති එක් දුප්පත් බමුණෙක් මම ද එක් දෙවියකු පෝෂණය කරන්නෙමි. පුදන්නෙමි’යි මෙසේ සිතා එක් උස්බිමෙක පිහිටි මහත් වූ කෑල ගසෙක යට භූමිය සමතලා කොට, තණකොළ ඉවත්කොට, ගස වටේට වැලි අතුරා, මැනවින් හැමද, සුවඳ කුඩු තවරන ලද දෙඅත් සලකුණු ගසෙහි තබා, මල්මාලා හා සුවඳ දුමෙන් පූජා පවත්වා, පහනක් දල්වා ‘සුවසේ සැතපෙනු මැනවැ’යි රුක් දෙවියාට කියා, ගස වටා පැදකුණු කොට හැරී යයි. ඊළඟ දිනයේ උදෑසනින්ම ගස වෙත යන බමුණා, ‘සැප විහරණය මැනවින් කෙළෙහි දැ’යි රුක් දෙවියාගෙන් විචාරයි. මෙසේ මේ සිරිත පවත්නා කල්හි, දිනෙක රුක් දෙවියා, ‘මේ බමුණා ඉතා උනන්දුවෙන් කැපවීමෙන්, මට සේවය කරයි. කුමට එසේ කෙරේදැයි, මොහුගෙන් විමසා බලා, ඔහුගේ බලාපොරොත්තු ඉටුකර දෙන්නෙමි’යි සිතුවේය. එදින බමුණා පූජාවට පැමිණ ගස වටේ අමදින කල්හි, ඒ වෘක්ෂ දේවතාවා මහලු බමුණු වෙසක් ගෙන ළං වී බමුණාට මෙසේ කීය.
අචෙතනං බ්‍රාහ්මණ අස්සුණන්තං, ජානො අජානත්ත මිමං පලාසං,
ආරද්ධ විරියො ධුවං අප්පමත්තො, සුඛසෙය්යං පුච්ඡසි කිස්ස හෙතු ති,
ආරද්ධ විරියො ධුවං අප්පමත්තො, සුඛසෙය්යං පුච්ඡසි කිස්ස හෙතු ති,
බමුණ, සිත් පිත් ද නැති, ඇහුම්කන් දීමට ද බැරි, යමක් තේරුම්ගත නොහැකි, මේ කෑල ගස ඔබ හඳුනන්නෙහිය. ස්ථිර වශයෙන්ම අරඹන ලද වීර්යය ඇත්තෙහිය. අප්රමාදී වූවෙහිය. ඒ ඔබ කුමක් නිසා ගසෙන් සැප විහරණය විචාරහිද?
මෙහි ‘අස්සුණන්තං’ යනු ‘සිත් පිත් නැති බැවින් ඇහුම්කන් දීමට නො හැකි, යන අර්ථයි. ‘ජානො’ යනු ‘ඔබ හඳුනන්නෙක්ව’ යන අර්ථයි. ‘ධුවං අප්පමත්තො’ යනු නිරතුරුව අප්රමාදී වූයේ’ යන අර්ථයි.
මේ ඇසූ බමුණා මහලු තැනැත්තාට මෙසේ පැවසීය.
2. මේ මහා ගස ඈත පළාත්වල ද ප්‍රසිද්ධය. සම බිමෙක පිහිටියේය. දෙවියන්ට විසීමට සුදුසුකම් ඇත්තේය. එබැවින් මේ කෑල ගස ද මෙහි යම්තාක් දෙවිවරු වෙත් නම්, ඔවුන් ද ධනය ලබනු පිණිස නමස්කාර කරන්නෙමි.
මෙහි ‘දූරෙ සුතො’ යනු ‘බමුණ මේ ගස ඈත ප්‍රදේශවල ප්‍රසිද්ධය. ප්රකටය. සමීපයෙහි ප්‍රකට නැත යන අර්ථයි. ‘බ්රහාච’ යනු ‘විශාල’ යන අර්ථයි. ‘දෙසෙ ඨිතො’ යනු ‘උස් වූ සම බිමෙක පිහිටියේය යන අර්ථයි. ‘භූතනිවාසරූපො’ යනු ‘දෙවියන් නිවසන ස්වභාවය ඇති යන්නයි. ඒකාන්තයෙන් ම මෙහි මහේශාක්‍ය දෙවිවරු විසුවාහු වන්නේ යැයි, යන අදහසයි. ‘තෙ ච ධනස්ස හෙතූ’ යනු ‘මේ ගසට ද මෙහි නිවැසි දෙවිවරුන්ට ද නිකරුණේ නො ව ධනය හේතු කොට ගෙන නමස්කාර කරන්නෙමි’ යන අදහසයි.
මේ ඇසූ වෘක්ෂ දේවතාවා බමුණා කෙරෙහි පැහැදී, ‘බමුණ, මම මේ ගසෙහි පහළ වූ දේවතාවා වෙමි. බිය නො වන්න. ඔබට ධනය ලබා දෙන්නෙමි’යි කියා ඔහු අස්වසා, තමාගේ විමන්දොර ඉදිරියෙහි අහසෙහි මහත් වූ දේවානුභාවයෙන් පෙනී සිට, මේ ගාථා දෙක පැවසීය.
3. ‘බමුණ, කළගුණ දන්නා වූ, ඒ මම ඊට අනුව සලකා බලමින්, ශක්ති පරිද්දෙන් ඔබට උපකාර කරන්නෙමි. සත්පුරුෂයන්ගේ සමීපයට ඇවිදිනුත් ඔබ ගත් වෙහෙස කෙසේ නම් හිස් වූවක් වන්නේ ද?
4. තිඹිරි ගසට එපිටින් යම් පුලීල ගසෙක් වේද? ඒ ගසේ මුල වටකොට පෙර කල යාග වශයෙන් තැන්පත් කළ, හිමිකරුවකු නැති අතිවිශාල නිධානයක් වළ දමා ඇත. ඔබ යන්න. එය උඩට ගෙන පරිභෝග කරන්න.
මෙහි ‘යථානුභාව’ නම් ‘ශක්ති පරිද්දෙන් බලය අනුව’ යන තේරුමයි. ‘කතඤ්ඤු තං’ යනු ‘ඔබ විසින් මට කරන ලද ගුණය දන්නා වූ මම එම ගුණය සිය සතන්හි ඇති බව ප්‍රකට කරමින්, කෘතඥතාව දක්වමින්’ යන අර්ථයි. ‘ආගම්ම’ යනු ‘පැමිණ’ යන අර්ථයි. ‘සතං සතාසෙ’ නම් ‘සත්පුරුෂයින්ගේ සමීපයෙහි’ යනුයි. ‘මොඝානි පරිඵන්දිතානි’ නම් ‘සැප සනීප විමසීම් වශයෙන් වූ ඔබගේ වාචික වෙහෙස මහන්සියත්, හැමදීම්, වැඩකිරීම් ආදී වශයෙන් වූ ඔබගේ කායික වෙහෙස මහන්සියත්, කෙසේනම් නිශ්ඵල වන්නේද? යනුයි.
‘යො තින්දුරුක්ඛස්ස’ යනු ‘තිඹිරි ගසට එපිටින් යම් ඒ පුලීල ගසක් පිහිටා ඇත්තේ දැයි යනුවෙන්, විමන් දොරැ සිටගෙන ම අත දිගුකොට පෙන්වයි යන අදහසයි. ‘පරිවාරිතො’ යනු ‘ආදි කාලයන්හි ඒ පුලිල ගසේ මුල වටකොට, යාග වශයෙන් තැන්පත් කරන ලද, වටේට තබන ලද, යන අර්ථයි. ‘පුබ්බ යඤ්ඤො’ යනු ‘පූර්ව ස්වාමිවරුන්ට අයත් වූ’ යන අදහසයි. ‘උළාරො’ යන්න ‘නිධාන අන්තර්ගත කළගෙඩි ගණනින් බොහෝ බැවින් ද, මහත් බැවින් ද කියන ලදි. ‘නිඛාත’ යන්න ‘පොළොව හාරා තබන ලද බැවින්’ කියන ලදි. ‘අදායාදො’ යන්න ‘හිමිකරුවන් දැන් නැති බැවින් කියන ලදි. මෙහි කියන ලද අදහස නම්, අර ගස මුල වටේට ගැට්ටෙන් ගැට්ට එකිනෙක ගැටෙන පරිද්දෙන්, නිධන් සහිත කලගෙඩි ලෙසින්, අස්වාමික වූ, ඒ මහ නිධානය පොළොව යට තැන්පත් කොට ඇත. ‘ඔබ යන්න, එය මතුකොට ගන්න’ යන මෙය යි.