6. සුජාතා ජාතකය (306)
‘කිං අණ්ඩකා’ යන මේ ගාථා කොටස ඇතුළත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, මල්ලිකා දේවිය අරබයා වදාළ සේක. එක් දිනෙක රජු හා මල්ලිකා දේවිය අතර, සිරියහන් ගැබ සම්බන්ධයෙන් විවාදයක් ඇතිවිය. සමහරු මෙය ‘මඟුල් ඇඳ ගැන වූ විවාදයකැ’යි කියති. මල්ලිකා දේවිය ළඟ ඇති බව වත්, කිපුණු රජුට අමතක විය. මේ කලහයෙන් පසු මල්ලිකා දේවිය, ‘රජු මා සමග අමනාප වූ බව, බුදුරජාණන් වහන්සේ නො දන්නා සේකැ’යි, ඒ ගැන සිතමින් සිටියාය. එසේ වුවද තථාගතයන් වහන්සේ, රජු දේවිය හා කිපුණු බව දැන, ඔවුන් සමගි කරන්නට අදිටන් කොටගෙන, එක් පෙරවරුවෙක හැඳ පොරවා, පා සිවුරු ගෙන, පන්සියයක් භික්ෂූන් ද කැටිව සැවැත් නුවරට පිවිසි සේක්, රජ මාලිගාවට වැඩි සේක. රජතුමා බුදුරදුන් දැක ඉදිරියටවිත්, පාත්රය අතින් ගෙන මාලිගාව ඇතුළට වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහිඳුවා, බුද්ධප්රමුඛ මහා සඟනට පැන් පිළිගැන්වීය. අනතුරුව රජතුමන් දානය බෙදන්නට සූදානම් වූ කල්හි, බුදුරජාණන් වහන්සේ පාත්රය අතින් වසා, ‘මහරජතුමනි, රාජ දේවිය කොහිදැ’යි ඇසූහ. ‘ස්වාමීනි, කුමක් විමසන සේක්ද? ඇය රජ ඉසුරින් මත් වී උඩඟව යහනට වී සැප සේ වෙසේයැ’යි කීය. එවිට බුදුරජාණන් වහන්සේ රජු අමතා ‘රජතුමනි, ඔබ ම රාජ සම්පත්, යසස්, තනතුරු ලබා දී, මල්ලිකාව ඔසවා තබා, ඇයගෙන් වූ ප්රමාදදෝෂය, නො ඉවසීම නම්, අයුතුයැ’යි වදාළ සේක. බුද්ධ වචනයට ගරුකළ රජතුමා, වහා මල්ලිකා දේවිය කැඳවීය. ඇය බුද්ධප්රමුඛ මහා සඟනට දන් පිළිගැන්වූවාය. දානයෙන් පසුව බුදුරජාණන් වහන්සේ රජුට හා දේවියට ඔවුනොවුන් හා සමගි සම්පන්නව විසිය යුතු බව, දේශනා කොට සමගියේ රසය වර්ණනා කොට, ධර්මදේශනාව නිමවා, පෙරළා වැඩි සේක. එතැන් පටන් රජ හා දේවිය සමගියෙන් යුතුව විසූහ. අනතුරුව දම්සභාවට රැස්වූ භික්ෂූන් අතර ඉහත කී සිදුවීම මුල් කොටගෙන සාකච්ඡාවක් ඇතිවිය. ‘ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ එක වචනයකින් ම රජ පවුල සමගි කරවූ සේකැ’යි මේ සාකච්ඡාව මෙසේ සිදුවෙද්දී එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ ‘සාකච්ඡා කරනුයේ කුමක් සම්බන්ධයෙන්දැ’යි අසා දැන, ‘මහණෙනි, මම එක් වචනයකින්ම පිරිසක් සමගි සම්පන්න කරවූයේ දැන් මතු නොව අතීතයේදීත්, එසේ කෙළෙමැ’යි වදාරා, භික්ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ රජුට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා විය. ඉක්බිති එක් දිනක් රජතුමා සීමැදුරු කවුළුව විවරකොට රාජාංගනය අවට බලමින් සිටියේය. ඒ වේලාවේ දී පලා කොළ වෙළෙන්දකුගේ දියණියක් වන සුරූපී නව යොවුන් වියේ සිටි, තරුණියක් දෙබර (මසන්) පැසක් (කුඩයක්) හිස තබා ගෙන, ‘දෙබර ගන්න, දෙබර ගන්න’ යැයි කියමින් මිදුල ඉදිරිපිටින් යයි. ඇයගේ කටහඬ අසා, ඈ කෙරෙහි බැඳුණු සිත් ඇති රජතුමා, සේවකයකු ඈ වෙත පිටත්කොට යවා, ඇය අස්වාමික (අවිවාහක) බව දැන, වැඩිදුරටත් විස්තර විමසා බලා, ඇය රජවාසලට කැඳවා, අගමෙහෙසි තනතුරෙහි තබා, මහත් වූ යස ඉසුරු ඈට ප්රදානය කෙළේය. ඇය ද රජුට ඉතාම ප්රියමනාප තැනැත්තියක් වූවාය. පසුකලෙක එක් දිනක් රජතුමා, ඉදුණු දෙබර, රන් තැටියක බහා, එකින් එක කමින් සිටියේය. ඇය නමින් ‘සුජාතා’ නම් වූ, ඉහත කී අගමෙහෙසිය රජු සමීපයට පැමිණියාය. රජු දෙබර වළඳනු මඳක් බලා සිටි, සුජාතා දේවිය ‘මහරජතුමෙනි, ඔබතුමා වළඳන ඔය ගෙඩි වර්ගය කිනම් දැ’යි මෙසේ විමසුවාය.
කිං අණ්ඩකා ඉමෙ දෙවනික්ඛිත්තා කංස මල්ලකෙ,
උපලොහිතකා වග්ගු - තං මෙ අක්ඛාහි පුච්ඡිතො
උපලොහිතකා වග්ගු - තං මෙ අක්ඛාහි පුච්ඡිතො
රජතුමනි, රන් තැටියක තබන ලද, රතු පැහැති වූ සුන්දර වූ, මේ ගෙඩි වර්ගය මොනවාද? විමසන මට ඒ ගැන කියනු මැනවි.
මෙහි ‘කිං අණ්ඩකා’ යනු ‘මේ ගෙඩි කිනම් වේ ද? යන අර්ථයි. ගෙඩිවල වටකුරු ස්වභාවය නිසා ‘අණ්ඩකා’ යැයි කීය. ‘කංසමල්ලකෙ’ යනු ‘රන් තැටියෙක’ යන අර්ථයි. ‘උපලොහිතකා’ යනු ‘රතු පැහැති’, යන අර්ථයි. ‘වග්ගු’ යනු ‘සුන්දර-පිරිසිදු’, යන අර්ථයි.
මෙයින් රජතුමා සුජාතාව කෙරෙහි කිපී, ‘එම්බල, ඩෙබර වෙළෙන්දිය, පලාකොළ වෙළෙන්දකුගේ දුවක වන තී, තිගේ කුලසන්තක වූ දෙබර, නො හඳුනන්නෙහි දැ’යි බැන මෙසේ ද කීවේය.
2. දේවිය, හිස මුඩු කොට ගෙන, රෙදිකඩක් හැඳ සිටි, තී පෙර උකුලට අත තබා ගෙන, යම් ගෙඩි වර්ගයක් කඩා රැස් කෙළෙහිද? මේවා වූ කලී, එසේ වූ තිගේ කුල සන්තක වූ දෙබර ගෙඩි වේ.
3. ඇය උඩඟුකමෙන් දැවේ. රජ මැදුරෙහි නො ඇලේ. රජසැප විඳීමට ඇයට භාග්යයක් ද නැත. දෙබර ගෙඩි රැස් කෙරෙන මෑගේ ගෙදර යම් තැනෙකද? එහිම මෑ නැවත ගෙන යවු.
මෙහි ‘භණ්ඩූ’ යනු ‘මුඩු හිසෙන්’ යන්නයි. ‘නත්තකවාසීනී’ යනු ‘දිරාගිය රෙදිකඩක් හැඳ’ යන්නයි. ‘උච්ඡංගහත්ථාපචිනාසි’ යනු ‘කැලයට පිවිස, කෙක්කකින් අත්ත නමා, කඩන කඩන ගෙඩි අතින් ගෙන, උකුලේ රෙදි පොටෙහි දැමීම් වශයෙන්, උකුලේ තබන ලද අත් ඇති වැ ගෙඩි කඩා රැස් කරයි, එකතු කරයි’ යන්න කීය. ‘තස්සා තෙ කොලියං ඵලං’ යනු ‘යමක් අපි දැන් මෙහි දී අනුභව කරමුද? ඒ මේ දෙබර ගෙඩි ඉහත කී ලෙස නෙලා රැස් කරන්නාව වූ, ඒ ඔබගේ කුල සන්තක වූ ගෙඩි වර්ගය යැ’යි යන අර්ථයි.
‘උඩ්ඩය්හතෙ න රමති’ යනු ‘මේ පහත් ගති ඇත්තිය, මේ රජ මැදුරෙහි වසමින් ලෝ කුඹුවෙක (රත් වූ ලෝහ සැළියකැ) බහාලන ලද්දියක මෙන් දැවේ, සිත් නො අලවයි යන අර්ථයි. ‘භොගා’ යනු ‘රාජ සම්පත්තිය’ ය. එම රාජ සම්පත්තීහු අවාසනාවන්ත මැය, පිටමං කෙරෙති’ යන අදහසයි. ‘යත්ථ කොලං පවිස්සති’ යනු ‘යම් තැනක ගොස් නැවත දෙබර ගෙඩි ම රැස්කොට විකුණමින්, ජීවිකාව කරන්නේ ද, එහි ම ඇය ගෙන යවු’ යි කියයි.
මේ ගැන දැනගත් බෝසත් තෙමේ, ‘මා හැර අන්කිසිවෙක් මොවුන් සමගි කරන්නට සමත් නො වන්නේ යැ’යි කල්පනා කොට, රජුට කරුණු පෙන්වා දැනුවත් කොට, ‘මැය රජගෙයින් බැහැර නො කෙරෙන තැනට කටයුතු කරන්නෙමි’යි සිතා, මේ ගාථාව කී ය.