5. සීලවීමංසන ජාතකය (305)
‘නත්ථි ලොකෙ රහො නාම’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක් පාප කර්මයකට නිග්රහ කිරීමක් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව එකොළොස් වැනි නිපාතයෙහි දක්නට ලැබෙන්නේය. මෙය එහි කෙටි විස්තරයකි. ජේතවනාරාමයෙහි වෙසෙන පන්සියයක් භික්ෂූහු රෑ මැදියම කාමවිතර්කයක් සම්බන්ධයෙන් කල්පනා කරමින් උන්හ. බුදුරජාණන් වහන්සේ දිවා රෑ මුළුල්ලේ එක් ඇසක් ඇත්තෙක් එම ඇස රකින්නාක් මෙන් ද, එක් පුතකු ඇත්තෙකු එම පුතා රකින්නාක් මෙන්ද, වලිගය රක්නා සෙමර මුවෙකු මෙන් ද, නො පමාව නිරතුරු ව සිය ශිෂ්ය භික්ෂූන් ගැන සොයා බලන සේක. බුදුරජාණන් වහන්සේ රාත්රී කාලයෙහි, දිවැසින් ජේතවනය දෙස බලන සේක්, සක්විති රජකුගේ මාළිගාව තුළ සිටින සොරකු වැනි වූ ඒ භික්ෂුව දැක, ගඳකිළිය විවරකොට, අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ සේක. ‘ආනන්දයෙනි, විශ්රාම ශාලාවේ ඇතුල් කෙළවර භික්ෂූන් කැඳවා, ගඳකිළි දොරටුවෙහි අසුනක් පනවන්නැ’යි වදාළහ. උන්වහන්සේ ද එසේ කොට, එය බුදුරදුන්ට දැනුම් දුන්හ. තථාගතයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ සියලු දෙනාට පොදුවේ කථාකොට, මහණෙනි, පුරාණ පඬිවරු ‘පව් කිරීමෙහි රහසක් නම් නැතැ’යි පව් නො කළහ යි වදාරා එහි සිටි භික්ෂූන්ගේ ඉල්ලීමට අනුව මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපිද නිසි වියට පත්වූයේ, එම බරණැස් නුවරම දිසාපාමොක් ඇදුරුතුමාගේ ළඟ පන්සියයක් මානවකයන්ට ප්රධානව ශිල්ප උගනිති. මේ ඇදුරුතුමාට තරුණ වියට එළඹි දුවණියක් සිටියාය. දිනෙක ඇදුරුතුමා මෙසේ සිතීය. ‘මාගේ ශිෂ්ය වූ මේ මානවකයන්ගේ සීලය විමසා බලා සිල්වතෙකුටම ඇය පාවා දෙන්නෙමි’ යනුවෙනි. මෙසේ සිතූ ඇදුරුතුමා එක් දිනෙක මානවකයන් අමතා ‘දරුවෙනි, මට තරුණ වියට එළඹි දුවණියක් ඇත. ඇයට විවාහයක් කරදීමට මම බලාපොරොත්තු වෙමි. එම විවාහය සඳහා අලුත් වස්ත්ර හා ආභරණ සොයාගත යුතුව ඇත. එබැවින් තෙපි තොපගේ නෑයන්ට නොපෙනෙන සේ වස්ත්ර හා ආභරණ සොරකම් කොට මෙහි ගෙන එවු. කිසිවකුට නො පෙනෙන්නට ගෙනා දෑ පමණක් ගනිමි. පෙනි පෙනී ගෙන ආ දැයක් වෙතොත්, එය නො පිළිගනිමි’යි කීය. ඒ ශිෂ්යයෝ ද ‘මැනවැ’යි පිළිගෙන එතැන් පටන් වස්ත්ර, සළු, පිළි පළඳනා ආදිය රැගෙන යති. ගුරුවරයා සිසුන් ගෙනා ගෙනා දෑ, වෙන් වෙන් කොට තැබුවේය. බෝසතුන් කිසිවක් ගෙනාවේ නැත. මෙය දැනගත් ආචාර්යවරයා බෝසත් සිසුවාගෙන් ‘දරුව, නුඹ වනාහි කිසිවක් නො ගෙනාවෙහිදැ’යි ඇසීය. ‘එසේය ඇදුරුතුමනි’යි, ඔහු කීය. ‘ඒ කුමක් නිසාද?’ ‘ඔබවහන්සේ කිසිවකුට පෙනෙන්නට ගෙන ආ දෑ නොගන්නහුය. මම වනාහි පව් කිරීමෙහි රහසක් නො දකිමි’යි, ප්රකාශ කරමින් බෝසත් තෙමේ මේ ගාථා දෙක කීය.
නත්ථි ලොකෙ රහො නාම - පාපකම්මං පකුබ්බතො,
පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතී රහො
පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතී රහො
පව්කම් කරන්නාට ලොවේ රහසක් නම් නැත. අනුවණයා ‘රහසකැ’යි සිතා සිටියත්, එය වන දෙවියෝ දකිති.
අහං රහො න පස්සාමි - සුඤ්ඤං වාපි නවිජ්ජති,
යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හොති කම්මයා ති
යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හොති කම්මයා ති
මම ලොවැ රහස් කියා දෙයක් නො දකිමි. ලොවැ හිස්තැනක් කියා තැනැක්ද නැත. එබන්දක් යම්තැනෙක නැති බැවින්, මවිසින් එය ‘අශූන්ය යැ’යි කියන ලදි.
මෙහි ‘රහො’ යනු ‘සැඟවුණු ස්ථානයක්’ යන්න යි. ‘වනභූතානී’ යනු ‘වනයෙහි උපන් සත්ත්වයෝ, යන්නයි. ‘තං බාලො’ යනු ‘මවිසින් කළ ඒ පව්කම ‘රහසෙකැ’යි අනුවණයා සිතයි යන්නයි. ‘සුඤ්ඤං වාපි’ යනු ‘සත්ත්වයන්ගෙන් යම් තැනක් ශූන්ය වන්නේද, හිස් වන්නේද, එබඳු තැනක් නැතැ යි කීය’, යන අර්ථයි.
සිසුවාගේ මේ කියමන් ඇසූ ගුරුතුමා ඔහු කෙරෙහි පැහැදී, ‘පුත, මාගේ ගෙදර ධනය නැත. මම මාගේ දුවණිය ශීලයෙන් යුක්ත පුද්ගලයෙකුට, ප්රදානය කරනු කැමැත්තෙන්, මාගේ මේ සියලු සිසුවන් පරීක්ෂා කිරීමට මෙසේ කෙළෙමි. ඒ අනුව මාගේ දියණියට ඔබම සුදුසු යැ’යි කියා, දුව සරසා බෝසතුන්ට පාවා දුන්නේය. අනතුරුව සෙසු මානවකයන්ට කථා කළ ඇදුරුතුමා ‘තොප විසින් මෙහි ගෙනෙන ලද, සියලු දෑ තොපගේ ගෙවල්වලට ම ගෙන ගොස්, ඒවා තිබූ තැන්වල ම තබවු’ යැයි කීය.
බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙසේ මේ දුසිල් මානවකයෝ, තම තමන්ගේ දුසිල් බව නිසා ම, ඒ දූ කුමරිය නො ලැබූහ’යිද, ‘නුවණැති මානවකයා වූ කලි, ස්වකීය සිල්වත් බව නිසා ම ඇය හිමිකර ගත්තේ යැ’යි වදාරා පහත දැක්වෙන ගාථා දෙක ද දේශනා කල සේක.
3. දුජ්ජච්ච - සුජච්ච - නන්ද - සුඛුවචිජකවෙජ්ජ - අද්ධුවසීල යන මේ ශිෂ්යයෝ බලාපොරොත්තු තබාගෙන සිටි නමුත්, ‘ස්ත්රී ප්රතිලාභ’ නම් වූ ස්වභාවය අත්හළහ.