4. දද්දර ජාතකය (304)
‘ඉමානි මං දද්දර තාපයන්තී’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, එක් කිපෙනසුලු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. මෙහි වත්මන් කතා පුවත ඉහතින් කියන ලදි. එකල්හි දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූන් අතර සිදු කෙරුණු සාකච්ඡාවට ඉහත සඳහන් කිපෙනසුලු භික්‍ෂුව මාතෘකා විය. එවිට එහි පැමිණි බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, තෙපි කුමන කතාවක් කරමින් සිටියාහුදැ’යි විචාරා, ඉහත සඳහන් ‘ඒ භික්‍ෂුව ගැන යැ’යි කරුණු දැන, එම භික්‍ෂුව එතැනට ම කැඳවා, ‘මේ කිපෙනසුලු බව ඇත්තක්දැ’යි ඔහුගෙන් විමසූ සේක. ඊට පිළිතුරු දෙන ඒ භික්‍ෂුව, එය සත්‍ය බව පිළිගත්තේය. එවිට සුගතයන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, මොහු කිපෙනසුලු වූයේ දැන් මතු නො වේ, පෙර ද එසේම යැ’යි වදාරා ‘පෙර පඬිවරු මොහුගේ ක්‍රෝධභාවය නිසා, උතුම් නාග රාජ භවනෙහි උපත ලබා සිටියත්, වසර තුනක් කසලින් පිරුණු අපිරිසිදු භූමියක විසූහ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝධිසත්ත්වයන් වහන්සේ, හිමවත් පෙදෙසෙහි ‘දද්දර’ පර්වත ප්‍රාන්තයේ දද්දර නාග භවනෙහි රාජ්‍ය විචාරණ, දද්දර රජුට පුත්ව උපන්නාහ. ‘මහා දද්දර’ යනු එතුමාගේ නමයි. බෝසතුන්ගේ කණිටු සොයුරු ‘චුල්ල දද්දර’ නම් විය. චුල්ල දද්දර කුමරා සැබවින්ම කිපෙනසුලුය. පරුෂය. ඔහු සෙසු නාග මානවකයන්ට බණිමින්, පහරදෙමින් හැසිරෙයි. ඔහුගේ පරුෂභාවය මැනවින් තේරුම් ගත් නා රජු ඔහු නාග භවනයෙන් පිටමං කිරීමට අණ කෙළේය. මහා දද්දර කුමරා සිය සොයුරා ලවා පියා සමා කරවාගෙන රාජ ආඥාව වළක්වා ගත්තේය. දෙවන වරටද, රජතුමා කණිටු කුමාරයාට කිපුණේය. දෙවන වතාවට ද බෝසත් කුමරා පියා සමා කරවා ගත්තේය. තෙවන වතාවේ දී, කණිටු කුමාරයා කෙරෙහි කිපුණු පිය මහා රජතුමා, බෝසත් කුමරාට කතා කොට, නො හික්මුණු මොහු අවස්ථා දෙකකදී ම රැක ගත්තේය. දඬුවම ද වළක්වාලීය. එබැවින් තෙපි දෙදෙනා ම මේ නාග භවනෙන් වහා නික්මෙහු. තෙපි බරණැසට ගොස් අපිරිසුදු භූමියක තෙවසරක් කල් ගෙවවු යැ’යි නා ලොවින් පිටමං කළේය. සොහොයුරෝ දෙදෙනා ද, එම දඬුවමට යටත් ව පිටත් ව ගොස් පියා කී තැන ම විසූහ. අපිරිසිදු ගවර වළෙක දඬුවම් ජීවිතය ඇරඹූ සොහොයුරෝ දෙදෙනා ගොදුරු ගැනීම සඳහා, වතුර වළෙන් මතු පිටට පැමිණ ගොදුරු සොයන කල්හි, එහි පැමිණි ගම්දරුවෝ පිරිසක් නාගයන් දෙදෙනා දැක මැටි කැට, ගල්, දඬු ආදියෙන් දමා ගසමින්, “කළල් වූ හිස ඇති, උල් වූ නගුටු ඇති, දිය නයින් වැනි වූ, මොවුන් මොක්කුන් දැ”යි යනාදී නින්දිත වචන කියමින්, බණින්නට පටන් ගත්හ.
එවිට චුල්ල දද්දර නම් වූ නාග කුමාරයා, සිය සැඩපරුෂකම නිසා ම ගම්දරුවන්ගේ එම අවමානය නො ඉවසන්නේ සිය වැඩිමල් සොහොයුරා අමතා, ‘සොහොයුර, මේ ගම්දරුවෝ අපකෙරෙහි උග්‍ර විෂ ඇති බවක් නො දැන, අපට පරිභව කෙරෙති. මොවුන්ගේ අවමානය ඉවසා දරා ගැනීමට මම අපොහොසත් වෙමි. නාසයෙන් විෂ වාතයක් පිඹ ඔවුන් විනාශ කරන්නෙමි’යි කීය. මේ අදහස ප්‍රකාශ කරමින්, ඔහු පහත දැක්වෙන මේ පළමු ගාථාව ප්‍රකාශ කළේය.
ඉමානි මං දද්දර තාපයන්ති, වාචා දුරුත්තානි මනුස්ස ලොකෙ,
මණ්ඩූක භක්ඛො උදකන්තසෙවී, ආසීවිසං මං අවිසා සපයන්ත තී
දද්දර අයියණ්ඩිය, මිනිස් ලොව, මැඩියන් කන්නේය. ජලය කෙළවර වසන්නේය. යන මේ පුරු වචන දැඩි විෂ ඇති මා තැවීමට පත් කරයි. ‘විෂ රහිත මේ ගම්දරුවෝ’ ඉහත කී අයුරෙන් අපට පරිභව කෙරෙති.
‘තාපයන්තී’ යනු ‘දුකට පත් කෙරෙති’ යන්නයි. ‘මණ්ඩූකභක්ඛා උදකත්තසෙවී’ යනු ‘මැඩියන් අනුභව කරන්නෝය. ජලය කෙළවර වසන්නෝ යැ’යි කියමින් ‘මේ විෂ රහිත ගම්දරුවෝ’ යන අදහසයි. ‘මං ආසිවිසං’ යනු ‘විෂ සහිත මට’ යන්නයි. ‘සපන්ති’ යනු ‘අවමන් කෙරෙති’ යන අර්ථයි.
බාල සොහොයුරාගේ වචනය ඇසූ, මහ දද්දර නම් වූ බෝසත් තෙමේ, පහත එන ගාථා ප්‍රකාශ කළේය.
2. සිය රටින් නෙරපන ලදුව වෙනත් ජනපදයකට ගිය තැනැත්තා එහිදී අසන්නට ලැබෙන නපුරු වචන රැස්කර තැබීමට කොටුවක් කරන්නේය.
3. යම් තැනෙකදී පුරුෂයකු ජාතිය අනුව හෝ, හැදියාව අනුව හෝ, නො හඳුනත්ද? නන්නාඳුනන ජනයා අතර වෙසෙන්නෙක් එහිදී මානයක් ඇතිකොට නො ගන්නේය.
4. විදේශයක වාසය කරන්නා වූ, අතිශයින් නුවණ ඇති, රන් හා සමවන පුද්ගලයෙකු විසින් වුවද, මෙහෙකරුවෙකුගේ නමුත් තර්ජනය ඉවසිය යුතුය.
මෙහි ‘දුරුත්තානං නිධෙතවෙ’ යනු ‘යම්සේ ධාන්‍ය රැස්කිරීම සඳහා මහත් වූ කොටුවක් කොට, එය පුරවා තබා, ප්‍රයෝජනයක් ඇති වූ විටෙක එම ධාන්‍ය පරිහරණය කෙරේද? එපරිද්දෙන් විදේශයකට ගිය තැනැත්තා, පරිපූර්ණ පණ්ඩිතයෙක් වුවද, නපුරු වචන රැස්කොට තැබීම සඳහා මහත් වූ කොටුවක් ඉදි කරන්නේය. ඉන්පසුව එම කොටුවෙහි, එම නපුරු වචන තැන්පත් කොට තබා, නැවත තමාට බලය ලැබුණු පසු, කළ යුතු දේ කරන්නේය’ යනුයි. ‘ජාතියා විනයෙන වා’ යනු ‘මොහු රජ කුමරෙකි, බමුණෙකි, සිල්වතෙකි, බහුශ්‍රැතයෙකි, ගුණසම්පන්නයෙකි යනුවෙන් හෝ, මෙසේ යම් ජාතියක් ගැන හෝ, හික්මීමක් ගැන හෝ, නො දනිති’, යන අර්ථයි. ‘මාන’ යනු මෙබඳු වූ මට පහත් ව්‍යවහාරයෙන් කථා කෙරෙති. සත්කාර නො කෙරෙති, ගරු නො කෙරෙති, බුහුමන් නො කෙරෙති’, යන අදහස යි. ‘වසමඤ්ඤනතෙ ජනෙ’ යනු ‘තමාගේ ජාති ගෝත්‍ර නො දන්නා වූ, ජනයා සමීපයේ වාසය කරන්නෙක්’ යන්නයි. ‘වසතො’ යනු ‘වසන්නකු විසින්’ යන්නයි. මෙයම පාඨය වේ.
මෙසේ ඔවුහු එම කුණු වළෙහි තෙවසක් විසූහ. අනතුරුව පියරජතුමා ඔවුන් කැඳවීය. එතැන් පටන් ඔවුහු නිහතමානීවම කටයුතු කළහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. ධර්ම දේශනාව අවසානයේදී කිපෙනසුලු භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එදා චුල්ල දද්දර, මෙදා කිපෙනසුලු භික්‍ෂුවයි. මහා දද්දර වනාහී ‘මම වෙමි’ යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
5. සීලවීමංසන ජාතකය (305)
‘නත්‍ථි ලොකෙ රහො නාම’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක් පාප කර්මයකට නිග්‍රහ කිරීමක් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව එකොළොස් වැනි නිපාතයෙහි දක්නට ලැබෙන්නේය. මෙය එහි කෙටි විස්තරයකි. ජේතවනාරාමයෙහි වෙසෙන පන්සියයක් භික්‍ෂූහු රෑ මැදියම කාමවිතර්කයක් සම්බන්ධයෙන් කල්පනා කරමින් උන්හ. බුදුරජාණන් වහන්සේ දිවා රෑ මුළුල්ලේ එක් ඇසක් ඇත්තෙක් එම ඇස රකින්නාක් මෙන් ද, එක් පුතකු ඇත්තෙකු එම පුතා රකින්නාක් මෙන්ද, වලිගය රක්නා සෙමර මුවෙකු මෙන් ද, නො පමාව නිරතුරු ව සිය ශිෂ්‍ය භික්‍ෂූන් ගැන සොයා බලන සේක. බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයෙහි, දිවැසින් ජේතවනය දෙස බලන සේක්, සක්විති රජකුගේ මාළිගාව තුළ සිටින සොරකු වැනි වූ ඒ භික්‍ෂුව දැක, ගඳකිළිය විවරකොට, අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ සේක. ‘ආනන්දයෙනි, විශ්‍රාම ශාලාවේ ඇතුල් කෙළවර භික්‍ෂූන් කැඳවා, ගඳකිළි දොරටුවෙහි අසුනක් පනවන්නැ’යි වදාළහ. උන්වහන්සේ ද එසේ කොට, එය බුදුරදුන්ට දැනුම් දුන්හ. තථාගතයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ සියලු දෙනාට පොදුවේ කථාකොට, මහණෙනි, පුරාණ පඬිවරු ‘පව් කිරීමෙහි රහසක් නම් නැතැ’යි පව් නො කළහ යි වදාරා එහි සිටි භික්‍ෂූන්ගේ ඉල්ලීමට අනුව මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.