3. ඒකරාජ ජාතකය (303)
‘අනුත්තරෙ කාමගුණෙ සමිද්ධෙ’ යන මේ ගාථා කොටසින් ඇරඹෙන මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සමයෙහි කොසොල් රජුගේ එක්තරා සේවකයෙකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කතා පුවත ‘සෙය්යංස’ ජාතකයේ දී, කියන ලදි. එහිදී බුදුරජාණන් වහන්සේ ‘අනර්ථයෙන් අර්ථය සලසා ගත්තේ, ඔබ පමණක් නොවේ. ‘පැරණි පඬිවරු පවා, තමා කරා පැමිණි විපත, සැපතක් කරගත්හ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස්පුර බරණැස් රජුට සේවය කරන එක් ඇමතියෙක් මාලිගාව තුළදී නපුරු වචන කතා කළේය. එය සියැසින් දුටු රජතුමා, ඔහු රටින් පිටුවහල් කළේය. ඔහු ‘දබ්බසේන’ නම් වූ කොසොල් රජුට සේවය කළේයැ’යි, යන මේ සියල්ල, ‘මහා සීලව’ ජාතකයේ දී විස්තර කරන ලදි. ඒ අනුව දබ්බසේන රජතුමා දිනක් මාලිගාවේ උඩුමහල් තලයෙහි ඇමතියන් මැද සිටි, බරණැස් රජු අල්වාගෙන, ආරක්ෂිත පැසෙක දමා, උතුරුවාසල් දොරටුවෙහි එළිපත්තට ඉහළින්, හිස පහතට සිටින සේ එල්වීය. මෙහිදී අත්අඩංගුවේ පසුවූ බරණැස් රජතුමා තමාට සතුරුකම් කරන, දබ්බසේන රජු කෙරෙහි මෛත්රිය වඩා, කසිණ අරමුණක් ගෙන, ධ්යාන ඉපදවීය. එවිට ඔහුගේ බැඳුම් ඉබේම ගිලිහිණි. අනතුරුව රජතුමා අහසෙහිම පලක් බැඳ, වාඩි වී හුන්නේය. මේ අතර දබ්බසේන රජුගේ සිරුරෙහි දහඩිය නැගුණි. දැවිල්ලක් ද හට ගත්තේය. ඔහු ‘දැවෙමි දැවෙමි’ යි කියමින් බිම වැතිරී, ඒ මේ අතට පෙරලෙන්නට විය. අනතුරුව රජතුමා සමීපයෙහි සිටි අයගෙන්, තමාට සිදුවී ඇති මේ දාහය ගැන කරුණු විමසීය. “මහරජතුමනි, ඔබවහන්සේ ඉතා දැහැමි රජකු වන බරණැස් රජු හිස යටිකුරු කොට එල්ලා නිරපරාධයේ වද දුන්නෙහිය. මේ එහි ප්රතිඵලය යැ”යි ඔවුහු කීහ. එවිට රජ “එසේ වී නම්, වහා ගොස් ඔහු මුදවු” යැයි අණ කෙළේය. රාජපුරුෂයෝ එහි ගියවිට බරණැස් රජු අහසෙහි පලක් බැඳ හිඳිනු දැක, ආපසු හැරීවිත්, දබ්බසේන රජුට ඒ බව කිවූහ. ඒ ඇසූ දබ්බසේන රජතුමා වහ වහා එතැනට ගොස්, බරණැස් රජුට වැඳ, තමා කළ වරදට සමා කරවාගෙන, අනතුරුව මේ පළමුවැනි ගාථාව කීවේය.
අනුත්තරෙ කාම ගුණෙ සමිද්ධෙ, භුත්වාන පුබ්බෙ වසි එකරාජා,
සොදානි දුග්ගෙ නරකම්හි ඛිත්තො, නප්පජනෙ වණ්ණිබලං පුරාණන්ති
සොදානි දුග්ගෙ නරකම්හි ඛිත්තො, නප්පජනෙ වණ්ණිබලං පුරාණන්ති
ඒක රාජ වූ බෝසත් තෙමේ, පෙර උසස් වූ ද, සමෘද්ධිමත් වූ ද, කම්සැප විඳ විසී ය. ඔහු දැන් විෂම වූ නරකයෙහි (විපතෙහි) වැටුණත් පෙර පැවති වර්ණයත්, බලයත්, අත් නො හරියි.
මෙහි ‘වසි’ යනු ‘වාසය කළේය’ යන්නයි. ‘ඒකරාජ’ යනු ‘බෝසතුන්ට නමින් කරන ලද, ආමන්ත්රණය’යි. ‘සෝදානි’ යනු ‘ඒ ඔබ දැන්’ යන අර්ථයි. ‘දුග්ගෙ’ යනු ‘විෂම ස්ථානයෙහි’, යන අර්ථයි. ‘නරකම්හි’ යනු ‘වළෙක’, යන අදහසයි. එල්ලන ලද ස්ථානය සඳහා මෙය කියන ලදි. ‘නප්පජෙහ වණ්ණබලං පුරාණං’ යනු ‘මෙබඳු නපුරු තැනෙක දමන ලද්දේ වුවත්, පෙර පැවති වරණයත්, බලයත්, අත් නො හරිහිදැ’යි විචාරයි යන අර්ථයි.
එය අසා බෝසත් තෙමේ, පහත දැක්වෙන ගාථාවන් ප්රකාශ කෙළේය.
2. ‘දබ්බසේන’ රජතුමනි, මගේ තපසත්, ඉවසීමත් පෙර සිට පතන ලද්දකි. එය ලැබුවා වූ මම, දැන් ඒ පෙර පැවති වර්ණයත් බලයත් කුමක් නිසා හැරපියම්ද?
3. යසස් ඇත්තාණෙනි, නුවණැත්තාණෙනි, නො ඉවසිය හැකි දේ, ඉවසන්නාණෙනි, සියල්ල මුළුමනින් නිමා විය. උදාරත්වයත්, කීර්තියත්, කලින් ම ලබන ලදි. එබැවින් පුරාණ වර්ණයත්, බලයත් අත් නො හරිමි.
4. රජතුමනි, නො ඉවසිය හැකි දේ, ඉවසිය හැකි මම, ඔබ විසින් ඇතිකළ දුකෙන්, රාජ්ය සුවය දුරුකොට, ධ්යානසුවය කරණ කොට ගෙන, එම දුකත් දුරුකොට වසමි. උභයාර්ථයෙහි ශාන්ත වූ (නිවුනා වූ) වෙසෙසින් සංසිඳුණු සිත් ඇත්තෝ, සැප දුක් දෙක්හි උපේක්ෂා වෙති.
මෙහි ‘ඛන්තී’ යනු ‘ඉවසීම’ යි. ‘තපො’ යනු ‘තපස් රැකීම’යි. ‘සම්පත්ථිතා’ යනු ‘කැමතිවන ලද, පතන ලද’ යන අර්ථයි. ‘දබ්බසෙන’ යනු ‘රජුට නමින් ඇමතීම’යි. ‘තංදානි ලද්ධාන’ යනු ‘එම ප්රාර්ථනාව ලැබ දැන මම’ යන අර්ථයි. ‘ජහෙ’ යනු ‘මම කුමන කරුණක් නිසා දුරු නො කෙරෙම්ද? යමෙකුට දුකක් හෝ දොම්නසක් හෝ වේ ද? ඔහු එය දුරු කරන්නේ යැ’යි දක්වයි.
‘සබ්බං කිරෙව පරිනිට්ඨිතානී’ යනු ‘මුල පටන් තමාගේ සම්පත් දක්වමින් කීය. මා විසින් කළ යුතු සියලු කටයුතු දාන, ශීල හා පොහෝ කටයුතු මුලදී ම නිමවන ලදි’ යන මෙය කියන ලද්දේ වේ. ‘යසස්සිතං පඤ්ඤවන්තං විසය්හ’ යනු ‘පරිවාර සම්පත්තීන් නිසා, ‘යසස්සි’ යන්නත්, ප්රඥා සම්ප්රදාව නිසා, ‘පඤ්ඤවන්ත’ යන වචනයත්, නො ඉවසිය හැකි දේ ඉවසන නිසා, ‘විසය්හ’ යන වචනයත් අර්ථවත් වේ. මෙසේ මේ වචන තුනම ආමන්ත්රණයෙහි වේ. මෙහි යෙදී ඇති ‘න’ කාරය නිපාතයකි. ව්යඤ්ජනයන්ගේ සිලුටුතාව අපේක්ෂාවෙන් ‘න’ කාරයේ බිංදුව යොදන ලද බව, තේරුම් ගත යුතුය. ‘යසොච’ යනු ‘කීර්තිය’ ද යන අර්ථයි. ‘ලද්ධා පුරිමං’ යනු ‘පෙර නො ලද විරූ යමක්, ප්රථමයෙන් ලැබ’, යන අර්ථයි. ‘උළාරං’ යනු ‘මහත් බව’යි. කෙලෙස් මැඩ පැවත්වීමෙහි ලා මෛත්රී භාවනාවෙන් ධ්යාන ඉපදවීම සඳහා ම කීය. ‘නප්පජහෙ’ යනු ‘මෙබඳු වූ කීර්තියක් ලැබ, කුමන කරුණක් නිසා, පුරාණ වර්ණයත්, බලයත් අත්හරිම්ද?’ යන අර්ථයි.
‘දුක්ඛෙන’ යනු ‘ඔබ විසින් සාදන ලද වළෙහි දැමීමේ දුකෙන්, මාගේ රජ සැප දුරුකොට’, යන අර්ථයි. ‘සුඛෙන වා තං දුක්ඛං’ යනු ‘ධ්යාන සුවයෙන් හෝ, ඒ දුක දුරුකොට’, යන අර්ථයි. ‘උභයත්ථ සන්තො’ යනු ‘මා මෙන් ශාන්ත වූ, යම් කෙනෙක් වෙද්ද, ඔවුහු මේ කියන ලද කොටස් දෙක්හිම නිවුණු ස්වභාවයෙන් මධ්යස්ථ වූවාහුය.’ යන අර්ථයි. ‘සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා’ යනු ‘දුක සැප දෙක්හිම වෙනසකට පත් නො වී, එක්බඳු වෙත්’, යන අර්ථයි. වෙනසකට පත් නොවෙති, යනුයි.