2. මහාඅස්සාරෝහ ජාතකය (302)
“අදෙය්යෙසු දදං දානං” යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අනඳ තෙරුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව යට කියන ලදි. බුදුරජාණන් වහන්සේ “මහණෙනි, පැරණි පඬිවරු වූ කලී, තමන්ට උපකාරී වූවනට පෙරලා උපකාර කළාහුයැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බෝසත් තෙමේ බරණැස් රජුව ඉපදී, දැහැමින් සෙමෙන් රාජ්ය කරවයි, දන්දෙයි, සිල් රකියි. දිනෙක ඔහු පසල් දනව්වක කොලාහලයක් සංසිඳුවන්නෙමියි, සේනාව ද පිරිවරාගෙන ගොස්, එහි දී පරාජයට පත්විය. ඉන්පසු අසු පිටට නැගගත් රජතුමා, පලා ගොස් එක් පිටිසර ගමකට පැමිණියේය. ඒ ගමේ රාජ්ය සේවකයෝ තිස් දෙනෙක් වෙසෙති. ඔවුහු උදෑසනම ගම මැද රැස් ව ගමේ දියුණුව ගැන කටයුතු කෙරෙති. ඒ අවස්ථාවේ දී රජතුමා සන්නාහ සන්නද්ධව අසුපිට නැගි, රාජාභරණවලින් යුක්තව ගම් දොරටුවෙන් ගම තුළට පිවිසියේය. ගම් වැසියෝ “මේ කිමෙක්දැ”යි බියට පත්ව, දිවැ ගොස් තම තමන්ගේ ගෙවල්වලට පැන ගත්හ. ඔවුන් අතර සිටි, එක් අයෙක් සිය නිවෙසට ගොස්, රජු පැමිණෙනු දැක, නාඳුනන කවරෙක්ද? රාජ පුරුෂයෙක්ද? නැතහොත් සොරෙක්දැ”යි ඇසීය. “මිත්රය, මම රාජපුරුෂයෙක්මි”යි රජ කීය. “එසේ නම් එනු මැනවැ”යි කියා රජු ගෙදරට කැඳවා ගෙන ගොස්, තමාගේ පුටුවෙහි රජ හිඳ වූ, ඒ පුරුෂයා තම සොඳුරට කථා කොට, “සොඳුර, මෙහි එනු මැනව, මාගේ යහළුවාගේ දෙපා සෝදු මැනවැ”යි කීය. අනතුරුව ඔහු තම බිරිය ලවා රජුගේ පා සෝදවා, තම ශක්ති පරිද්දෙන් ආහාර ද දෙවා, “මොහොතක් විඩා අරිනු මැනවැ”යි යහනක් ද සකසා දුනි. රජ එහි සැතපුනේය. ඉක්බිති ඒ පුරුෂයා රාජකීය අශ්වයාගේ සන්නාහය මුදා, මඳක් ඇවිද්දවා වතුරද පොවා, පිටෙහි තෙල් ගා පිරිමැද, කෑමට තණකොළ ද දුන්නේය. මෙසේ ඒ රජතුමා දින තුනක් හතරක් ආගන්තුක සත්කාර ලැබ, “මා දැන් යා යුතුයැ”යි කී කල්හි, රජුගේ මිතුරා රජුට ද, ඔහුගේ අසුට ද, කළ යුතු සියලු සංග්රහ කෙළේය. රජතුමා ආහාර අනුභව කොට, පිටත් වීමට සූදානම් වී, සිය මිතුරාට මෙසේ කීය. “මිතුර, මගේ නම මහා අස්සාරෝහ” ය. මගේ නිවෙස පිහිටා ඇත්තේ අගනුවර මැද ය. යම් විදියකින් ඔබ කිසියම් කටයුත්තකට නගරයට පැමිණිය හොත්, දකුණු වාසල් දොරටුවෙහි සේවයේ නියුතු දොරටුපාලයාගෙන්, “මහා අස්සාරෝහගේ ගෙය කොහි දැයි? විමසන්න, එවිට දොරටුපල්ලා ඔබට මා මුණගස්වනු ඇතැ”යි පවසා සමුගෙන නික්ම ගියේය.
මේ අතර රජුගෙන් වෙන් වූ බල සේනාව, රජු සොයා ගත නො හැකි ව නගරයෙන් පිටත කඳවුරු බැඳ සිටින කල්හි, රජු එනු දැක, පෙරගමන් ගොස් පිරිවරා ගත්තේය. රජතුමා එම පිරිසද කැටුව දකුණු වාසල් දොරටුව වෙත ගොස්, දොරටු පල්ලා කැඳවා රැස්ව සිටි ජනතාව මදක් ඈත්කොට, ඔහුට පමණක් ඇසෙන සේ මෙසේ උපදෙස් දුන්නේය. දරුව, කිසියම් විටෙක පසල් දනවු වැසියෙක් ඔබ හමුවට පැමිණ, “මහා අස්සාරෝහගේ ගේ කොහිදැ”යි විමසුවහොත් ඔහු මා ළඟට කැඳවා ගෙන එන්න, එවිට මසුරන් දහසක් ඔබට හිමියැ”යි පැවසීය. මෙසේ බලාපොරොත්තුව සිටිමුත් දනවු වැසියා, රජු හමුවට නො පැමිණියේය. ඔහුගේ පැමිණීම පමාවන කල්හි, රජතුමා ඔහුගේ ගමේ අයබදු වැඩි කෙළේය. එසේ කළ ද, ඔහු නො පැමිණියේය. මෙසේ දෙවන හා තෙවන වරටද, බදු වැඩි කෙළේය. එදා ඔහු නො පැමිණියේ ය. මේ අතර දනවු වැසියාගේ ගමේ මිනිස්සු ඔහු හමුවට පැමිණ “උතුමාණෙනි, ඔබේ මිතුරා වන අශ්වාරෝහකයා පැමිණි දින පටන් අපි බදු බරින් පෙළෙමු. දැන් දැන් හිස ඔසවා ගැනීමට පවා අපොහොසත් වෙමු. කරුණාකර ඔහු වෙතට ගොස්, මේ බව කියා බදු බරින් අප මුදනු මැනව”යි කීහ. දනවු වැසියා ඔවුනට පිළිතුරු දෙමින් “මැනව, මම එහි යන්නෙමි. එසේ වුවත් හිස් අතින් යා නොහැක. මගේ මිතුරාට දරුවෝ දෙදෙනෙකි. ඔවුන්ට ද මිතුරාගේ බිරිඳට ද මිතුරාට ද හඳින පොරවන වස්ත්ර ද, පළඳනා ද සකස්කොට දෙන මෙන්, ගම්වැසියන් ගිවිසවා ගත්තේය. පසුව ගම්වැස්සෝ ද ඒ සියලු පඬුරු ඔහුට ගෙනැවිත් දුන්හ.
දනවු වැසියා ඉහත කී තෑගි ද, තමාගේ ගෙදර පිසූ කැවුම් ද රැගෙන නුවරට ගොස්, දකුණු වාසල දොරටුවේ දී දොරටුපල්ලා මුණගැසී, සිය මිතුරා ගැන කරුණු විමසා, දොරටුපල්ලා හා සමග එහි ගියේ ය. එහි දී දොරටුපල්ලා “ඔබතුමාගේ යහලුවා කැටුව ආවෙමු”යි රජුට දන්වා යැවීය. ඒ ඇසූ රජතුමා වහා අසුනින් නැගිට “මගේ මිතුරා ද ඔහු සමග පැමිණි අය ද වහා කැඳවා ගෙන එන්නැ”යි පණිවුඩයක් යැවීය. එයින් නො නැවතුණු රජතුමා පෙරගමන් කොට, තම මිතුරා දැක ඔහු වැළඳගෙන කිමෙක් ද? යහලුව, මගේ සොයුරිය (ඔබේ බිරිඳ) දරුවනුත් සමග සැපෙන් වෙසේ දැ’යි, විමසා දැන මිතුරාගේ අතින් අල්ලාගෙන, උඩුමහල් තලයට ගොස්, සේසත යට රාජාසනයෙහි මිතුරා වාඩි කරවා, අගමෙහෙසිය කැඳවා, “මගේ මේ යාලුවාගේ පා සෝදනු මැනවැ”යි කීය. මෙහෙසිය ද ඔහුගේ පා සේදුවාය. ඇය පා සෝදනවිට රජතුමා පැන් කෙණ්ඩියෙන් පැන් වත් කෙළේය. දේවිය ඉන් අනතුරුව දෙපා තෙත මාත්තු කොට, තෙල් ගැල්වූවාය. මේ සියලු සත්කාරයන්ගෙන් පසුව, රජතුමා සිය මිතුරා අමතා, “හිතවත, අපට කෑමට යමක් ගෙනාවේදැ”යි ඇසීය. “එසේ යැ”යි පිළිතුරු දුන්, මිතුරා පසිම්බුවෙන් කැවුම් ගෙන දැක්වීය. රජතුමා ඒවා රන්තැටියක තබා, ඔහුට ද එයින් ම සංග්රහ කොට, “මාගේ යාලුවා ගෙනෙන ලද කැවිලි කනු මැනැවැ”යි රජමෙහෙසියට ද, ඇමතියන්ටද, දෙවා තෙමේද කෑවේය. මේ සංග්රහයෙන් පසු මිත්රයා, ගෙනෙන ලද සෙසු පඬුරු ද රජුට පිරිනැමීය. ඉක්බිති රජතුමා සිය මිතුරාට සැලකිල්ලක් වශයෙන්, තම කසීසළු බැහැරකොට, මිතුරා විසින් ගෙනෙන ලද වස්ත්ර යුගලය හැඳ ගත්තේය. රජමෙහෙසිය ද, තම කසී සළුවත් ආභරණත් වෙනුවට, මිතුරා ගෙනෙන ලද සළුවකුත්, ආභරණත් පැළඳ ගත්තාය.