9. තිරීටවච්ඡ ජාතකය (259)
නයිමස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කොසොල් මහ රජුගේ බිසෝවරුන් අතින් පන්සියයක්ද, රජතුමා අතින් පන්සියයක්ද දැයි වස්ත්‍ර දහසක් ආනන්ද තෙරුන් වහන්සේට ලැබීමේ පුවත අරබයා දේශනා කල සේක. මේ කථා වස්තුව යට (මුලදී) දුක නිපාතයෙහි ගුණ ජාතකයෙහි විස්තර කරවූ පරිදිය.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී නම් තබන දවසේ “තිරීට වච්ඡ” කුමාරයා යයි කරණ ලද නම් ඇත්තේ පිළිවෙලින් වැඩිවියට පත්ව තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගෙන ගිහිගෙයි වසමින් මව්පියන්ගේ අභාවයෙන් සංවේගයට පත්ව ගෙදරින් නික්ම ගොස් තාපස පැවිද්දෙන් පැවිදිව වනයෙහි වන මුල් පලාඵලවලින් යැපෙමින් වාසය කළහ. එතුමා එහි වාසය කරද්දී බරණැස් රජුගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. රජතුමා එහි ගොස් යුද්ධයෙන් පැරදී මරබියෙන් බියපත් වූයේ ඇතු පිටින්ම එක් පසෙකින් පලාවිත්, කැලයෙහි හැසිරෙන්නේ, පෙරවරුවෙහි තිරීටවච්ඡ පලවැල සදහා ගියකල්හි ඒ තවුසාගේ අසපුවට පිවිසියේය. රජතුමා තවුසන් වසන තැනක්යයි සිතා ඇතුපිටින් බැස සුළඟින් හා අව්වෙන් ක්ලාන්ත වූයේ පිපාසයෙන් යුතුව පැන් කළය සොයමින් කිසිතැනක නොදැක සක්මන් කෙළවර ළිඳක් දුටුවේය. ජලය ඇදගැනීමට ලනුවක් හා කලයක් නොදැක පිපාසය ඉවසා ගැනීමට නොහැකිව ඇතාගේ බඩ බැඳි කඹය ගෙන ඇතා ළිං ඉවුරෙහි තබා උගේ පයෙහි කඹය බැඳ කඹයෙන් ළිඳට බැස කඹයෙන් ළංවිය නොහැකි වූ නිසා ගොඩවී උතුරුසළුව ලනු කෙළවර ගැටගසා නැවත බැස්සේය. එයද ප්‍රමාණවත් නොවීය. හෙතෙම පා අගින් ජලය ස්පර්ශකොට පිපාසය වැඩි නිසා පිපාසය නැතිකොට මරණය වුවද, යහපත් යයි ළිඳට පැන ඇති තරම් පැන් බී ගොඩ එන්නට නොහැකි වන්නේ එහිම සිටියේය. ඇතාද මනාව හික්මවා ඇති බැවින් බැහැර නොගොස් රජු දෙස බලමින් එහිම සිටියේය.
බෝසතාණන් වහන්සේ සවස් කාලයේ පළතුරු ගෙනවිත් ඇතා දැක, රජතුමා එන්නට ඇත. සන්නද්ධ වූ ඇතු පමණක් දක්නට ඇත. කාරණය කුමක්දැයි සිතා තාපසයා ඇතා ළගට එළඹියේය. ඇතා ඔහුගේ පැමිණීම දැන එකත් පැත්තකට වි සිටියේය. බෝසතාණන් වහන්සේ ළිං ඉවුරට ගොස් රජතුමා දැක මහරජතුමනි! බිය නොවන්නයි සනසා ඉණිමගක් බැඳ රජතුමා ගොඩ කරවා ඹහුගේ සිරුර පිරිමැද තෙල් තවරා නහවා පලාඵල ආදිය දී ඇතාගේ යුද ඇඳුම් මුදාහළේය. රජතුමා දෙතුන් දිනක් විවේක ගෙන බෝසතාණන් වහන්සේ තමන්ගේ සමීපයට එන ලෙස පොරොන්දු කරවාගෙන ගියේය. රජ බලඇණිය නුදුරෙහි කඳවුරු බැදගෙන සිටියේ රජු එනු දැක පිරිවරා ගති.