1. සඞ්කප්ප වර්‍ගය
1. සංකප්ප ජාතකය (251)
සංකප්පරාගධොතෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් කලකිරුණු භික්‍ෂුවක අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි මේ කුලපුත්‍රයා රත්න ශාසනයට උරදී පැවිදි වූයේ එක්දිනක් සැවැත්නුවර පිඬුසිඟා හැසිරෙද්දී අලංකාර ලෙස සැරසුණු එක් ස්ත්‍රියක දැක හටගත් කාමරාග ඇත්තේ ශාසනයෙහි ඇල්මක් නැතිව හැසිරුණේය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ආදී භික්‍ෂූහු මොහු දැක ශාසනයෙහි නොඇලීමට කාරණා විමසා ඔහුගේ සිවුරු හැර යාමේ කැමැත්ත දැන ඇවැත්නි! බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස්වලින් පෙළෙන්නන්ගේ කෙලෙස් පිරිහෙලා සත්‍ය දේශනා කොට සෝවාන් ඵලාදිය දෙන සේක. එන්න! නුඹ ශාස්තෲන් වහන්සේ සමීපයට පමුණුවන්නෙමුයි රැගෙන ගියාහුය. බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි! කුමක් නිසා නොකැමැති භික්‍ෂුවක රැගෙන ආවාහුදැයි වදාළ කල්හි ඒ කරුණ සැල කළාහුය. එවිට බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ කලකිරුණේදැයි විමසා ඇත්තයි ස්වාමීනියි කී කල්හි කුමන කරුණක් නිසාදැයි විචාළ සේක. හෙතෙම ඒ කරුණ කියා සිටියේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහණ! මේ ස්ත්‍රීහු නම් පෙර ධ්‍යාන බලයෙන් යටපත් කළ කෙලෙස් ඇති පිරිසිදු සත්ත්වයන්ට පවා කෙලෙස් ඉපිදවූහ. මෙබඳු හිස් පුද්ගලයකු කුමක් නිසා නොකෙලසෙන්නෝද? පිරිසිදු සත්ත්වයෝද කෙලෙසෙන්නෝය. උතුම් සම්පත්තියෙන් යුක්ත පුද්ගලයන් පවා අපකීර්තියට පමුණුවත්. අපිරිසිදු පුද්ගලයන් ගැන කියනුම කිම. මහමෙර පවා කම්පා කරවන සුළඟ පැරණි කොළයක් නොසොලවන්නේද? මේ ක්ලේශය බෝමැඩ වැඩහිඳ අභිසම්බෝධියට පත්වන කෙනෙකුද කැළඹීය. මෙබඳු කෙනෙකු නොකළඹවන්නේදැයි වදාරා ඒ භික්‍ෂූන් විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ අසූකෝටියක් පමණ සම්පත් ඇති බමුණු මහාසාර කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන බරණැස් නුවරට ආපසු පැමිණ බිරිඳක් විවාහ කරගෙන මව්පියන්ගේ ඇවෑමෙන් ඔවුන්ගේ මළගෙවල වැඩකරවා රන් විමසා බැලීමේ ක්‍රියාවෙහි යෙදෙමින් මේ ධනය පෙනෙයි. ධනය රැස්කළ අය නො පෙනෙතියි සිහිකරමින් සංවේගයට පැමිණියේය. සිරුරෙන් දහදිය පිටවිය. ඔහු ගෘහවාසයෙහි බොහෝ කලක් වසමින් මහ දන් දී කම්සුව අතහැර කඳුළු පිරුණු ඇස් ඇති නෑ සමූහයා අතහැර හිමාල වනයට පිවිස සිත්කළු පෙදෙසක පන්සලක් තනාගෙන පිඬු පිණිස හැසිරෙමින් වනමුල් පලාපල ආදියෙන් යැපෙමින් නොබෝ කලකින්ම අභිඤ්ඤා සහ සමාපත්ති උපදවාගෙන ධ්‍යාන සුවයෙන් පසුවන්නේ බොහෝ කලක් වාසයකොට, මිනිස් වාසයට ගොස් ලුණු ඇඹුල් සොයන්නෙමි. මෙසේ මගේ ශරීරයද, ස්ථිර වන්නේය. (ශක්තිමත් වන්නේය) එයින් ඇවිදීමද සිදුවන්නේය. යමෙක් මා වැනි සිල්වතෙකුට දානය දෙත්ද වැඳුම් පිදුම් කරත්ද ඔවුහු ස්වර්ගයට යන්නෝයයි සිතුවේය.
හෙතෙම හිමාලයෙන් බැස පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් බරණැස් නුවරට පැමිණ හිරු බැස යන අවස්ථාවේ විසීමට තැනක් සොයමින් රජ උයන දැක, මෙය විවේක සුවයට සුදුසුය. මෙහි වෙසෙන්නෙමියි උයනට පිවිස, එක්තරා ගසක් මුල හිඳිමින් ධ්‍යාන සැපයෙන් රාත්‍රිය ගතකොට, දෙවන දවසේ කරන ලද (මුහුණ සේදීමාදී) ශරීර කටයුතු ඇත්තේ පෙරවරු කාලයේ ජටා-අඳුන් දිවිසම්-වැහැරි සිවුරු දරාගෙන, භික්‍ෂා භාජනය (පාත්‍රය) ගෙන, සන්සුන් ඉඳුරන් ඇත්තේ, ශාන්ත සිත් ඇත්තේ මනා ඉරියව්වලින් යුක්තව වියගසක දුර (බඹයක්) බලන්නේ වී, සියලු අයුරින් සම්පූර්ණ වූ තමන්ගේ රූප ශෝභාවෙන් ලෝකයාගේ නෙත් (ඇස්) ඇද ගනිමින් නුවරට පිවිස, පිඬු පිණිස හැසිරෙමින් රජවාසල දොරටුවට පැමිණියේය. උඩුමහල් තලයේ සක්මන් කරන රජතුමා වා කවුළු අතරින් බෝසතාණන් වහන්සේ දැක, ඉරියව් පැවැත්මෙහි පැහැදී, ඉදින් (ලෝකයෙහි) ශාන්ත ධර්මයක් ඇත්නම් මොහු තුළ එය තිබිය හැකියයි සිතා, යන්න ඒ තාපසයා කැඳවාගෙන එන්නැයි කියා එක් ඇමතියකුට අණ කළේය. ඔහු ගොස් වැඳ පාත්‍රය ගෙන ස්වාමීනි! රජතුමා නුඹවහන්සේ කැඳවතියි කීවේය. බෝසතාණන් වහන්සේ මහා පින්වත! රජතුමා අප ගැන නොදනියි කීහ. එසේනම් ස්වාමීනි! මම ගොස් එනතුරු මෙහිම සිටිනු මැනවැයි කියා රජතුමාට දැන්වීය. රජතුමා අපට අනෙක් කුලුපග තාපසයෙක් නැත. යව, උන්වහන්සේ කැඳවාගෙන එවයි කියා තමාත් වාකවුලුවෙන් අත් දිගුකොට වඳිමින් ස්වාමීනි! මෙහි වඩිනු මැනවැ කීවේය. බෝසතාණන් වහන්සේ ඇමතියා අතට භික්‍ෂා භාජනය දී (මාළිගයේ) ඉහළ තලයට ගොඩවුණු සේක.
ඉක්බිති රජතුමා එතුමාට වැඳ රාජාසනයෙහි හිඳුවා තමන් සඳහා පිළියෙල කළ කැඳ, කැවිලි, බත් ආදියෙන් වළඳවා වළඳා නිමකළ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ප්‍රශ්නය විසඳීමෙන් වඩාත්ම පැහැදී වැඳ, ස්වාමීනි! නුඹවහන්සේ කොතැනක වසත්ද? කොහිසිට ආවෙහුදැයි විචාරා මහරජ, අපි හිමාල වැසියෝ වෙමු. හිමවතින් ආවෙමුයි කී කල්හි නැවත කුමන කරුණක් නිසාදැයි විචාරා, වැසි කාලය බැවින් මහරජ, දිගට වාසය කිරීමට තැනක් ලැබීම වටී යයි කී කල්හි එසේ නම් ස්වාමීනි! රජ උයනෙහි වාසය කරනු මැනවි. නුඹවහන්සේට සිව්පසයෙන් ක්ලාන්ත වීමක් ද නැත. මම ද ස්වර්ගයට යාමට හේතුවන පින් පමුණුවා ගන්නෙමියි ප්‍රතිඥා ගෙන උදේ ආහාර වැළඳූ බෝසතාණන් වහන්සේ සමග උයනට ගොස් පන්සලක් කරවා සක්මනක් තනවා රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ආදී සෙසු ස්ථානද සපයා පැවිදි පිරිකර පිළියෙල කොට ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැයි කියා උයන්පල්ලාට භාර කළේය. බෝසතාණන් වහන්සේ එතැන් පටන් දොළොස් අවුරුද්දක් එහිම වාසය කළ සේක.
ඉක්බිති එක්දිනක් රජුගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. රජතුමා එය සංසිඳවීම පිණිස යනු කැමතිව දේවීන් වහන්සේ අමතා සොඳුරිය, මම හෝ නුඹ හෝ නුවර නවතින්නට වටීයයි කීවේය. දේවයිනි! කුමක් නිසා එසේ කියන්නේද? සොඳුරිය! සිල්වත් තවුසා නිසාය. දේවයන් වහන්ස! මම ඒ සඳහා පමා නොවන්නෙමි. අපගේ ආර්යයන් වහන්සේගේ ඇප උපස්ථාන කිරීම මට බාරයි. නුඹවහන්සේ සැක නැතිව යනු මැනවියි කීවාය. රජතුමා නික්ම ගියේය. දේවියද බෝසතාණන් වහන්සේට එසේම සකසා උපස්ථාන කළාය. බෝසතාණන් වහන්සේත් රජු ගිය කාලයේ සිට වෙනදා වේලාවට අවුත් තමන් කැමති වේලාවට රජ ගෙදරට ගොස් දන් වළඳති.
ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ බොහෝ පමා වූ කල දේවිය කන බොන සියලු දෑ පිළියෙල කර තබා නා සැරසී කුඩා ඇඳක් පනවාගෙන බෝසතාණන් වහන්සේගේ පැමිණීම බලා සිටිමින් සිනිඳු සළුවක් ලිහිල්කොට හැඳ නිදාගත්තාය. බෝසතාණන් වහන්සේද වේලාව සලකා පාත්‍රය රැගෙන අහසින් අවුත් මහා වා කවුළු දොරටුව ළඟට පැමිණි සේක. උන්වහන්සේගේ වැහැරි වස්ත්‍රයේ ශබ්දය අසා වහා නැගිටින දේවියගේ කහපාට සිනිඳු සළුව ගැලවී වැටුණේය. බෝධිසත්ත්වයන් වහන්සේ විසභාග අරමුණ (ස්ත්‍රී අරමුණ) ඉන්ද්‍රිය සංවරය බිඳ ශුභ වශයෙන් බැලූහ. එවිට ධ්‍යාන බලයෙන් සිටිතත් පෙට්ටියක දමා සිටි සර්පයෙකු පෙණය කරගෙන නැගී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ කෙලෙස් නැගී සිටියේය. කිරිගසකට වෑයෙන් කොටන ලද කලක් මෙන් විය. කෙලෙස් ඉපදීමත් සමගම ධ්‍යානාංගයන්ද පිරිහී ගියේය. ඉන්ද්‍රිය අපිරිසිදු විය. තමා තටු සිඳුනු කපුටෙක් මෙන් විය. හෙතෙම පෙර පරිදි වාඩි වී දන් වළඳන්නටද අසමත් විය. හිඳ ගන්න කීවත් හිඳ නොගත්තේය. ඉක්බිති දේවිය කන බොන සියලු දෑ ඔහුගේ පාත්‍රයටම දැම්මාය. මීට පෙර දන් වළඳා සීමැදුරු කවුළුවෙන් නික්මී අහසින්ම යන්නා සේ එදින යන්නට නොහැකි විය. දානය රැගෙන මහ තරප්පු පෙලින් බැස උයනට ගියේය. දේවීන් වහන්සේද තමා කෙරෙහි බැඳුනු සිතක් ඔහුට ඇති වූ බව දැනගත්තාය. තාපසයා උයනට ගොස් දානය නොවළඳාම ඇඳ යට තබා දේවියගේ අත්පාවල සෝභාව මෙබඳුය, ඉඟ කෙළවර කොට ඇති පෙදෙස මෙබඳුය, කලවයෙහි හැඩරුව මෙසේය යනාදිය දොඩවමින් සතියක් වැතිර සිටියේය. බත් කුණු විය. නිලමැස්සෝ ගැවසී ගත්හ.