10. දූත ජාතකය (260)
යස්සත්ථා දූරමායන්ති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරද්දී බලවත් ආශා ඇති එක් භික්ෂුවක අරබයා වදාළ සේක. කතා වස්තුව නවක නිපාතයේ කාක ජාතකයේ මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අමතා මහණ, දැන් පමණක් නොව පෙරත් ඔබ ලොල් වූයේ ලොල් කාරණයෙන්ම කඩුවෙන් හිස් සිඳුම් ලැබුවේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ පුත්රයා වී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් රාජ්යයෙහි පිහිටා පිරිසිදුව ප්රණීතව ගරුසරු ඇතිව ආහාර අනුභව කරන කෙනෙක් වූහ. ඒ නිසා මොහුට භෝජන සුද්ධික රජතුමා යයි නමක් ඇතිවිය. ඔහුගේ එක් එක් බඳුනකට ලක්ෂයක් වියදම් වන අයුරින් විධිවිධාන සලස්වා ඔහු ආහාර අනුභව කරයි. ඔහු ගෙය තුළ ආහාර අනුභව නොකරයි. තමන්ගේ ආහාර අනුභව කරන පිළිවෙළ බලා සිටින මහජනයා ලවා පින් කරවනු කැමැත්තෙන් රජගෙදර දොරටුවෙහි රුවන් මණ්ඩපයක් කරවා ආහාර ගන්නා වේලාවේ එය සරසවා ඔසවන ලද රනින් කළ සේසත ඇති රාජ ආසනයෙහි හිඳ ක්ෂත්රිය කන්යාවන් විසින් පිරිවරණ ලදුව ලක්ෂයක් වටිනා රන් බඳුනෙහි රසයෙන් පිරි බොජුන් අනුභව කරයි. ඉක්බිති එක් ලොල් මිනිසෙක් ඔහුගේ අනුභව කරන පිළිවෙළ බලා ඒ භෝජනය අනුභව කරනු කැමතිව පිපාසය දරාගත නොහැකිව මේ උපාය ඇතැයි සලකා දැඩි ලෙස ඇඳගෙන අත් ඔසවා පින්වත, මම දූතයෙක් දූතයෙක් යැයි මහත් ශබ්ද කරමින් රජු වෙත එළඹියේය. එසමයෙහි ඒ ජනපදයෙහි “මම දූතයෙක් වෙමි” යි කියන තැනැත්තා නොවළක්වති. ඒ නිසා මහජනයා දෙපසට වී අවකාශ දුන්හ. ඔහු වේගයෙන් අවුත් රජුගේ භාජනයෙන් එක් බත්පිඩක් ගෙන කටේ දමා ගත්තේය. ඉක්බිති ඔහුගේ හිස සිඳින්නෙමියි කඩු දරන්නා කඩුව එළියට ඇද ගත්තේය. රජතුමා පහර නොදෙවයි කියා වැළැක්වීය. (රජතුමා ඔහුට) බිය නොවන්න. අනුභව කරන්නැයි (කියා) අත සෝදා හුන්නේය. ආහාර ගෙන අවසානයේ ඔහුටද තවත් බොන පැන්ද බුලත්ද දෙවා එම්බල පුරුෂය, නුඹ දූතයෙක්මියි කියන්නෙහි කාගේ දූතයාදැයි විචාළේය. මහරජතුමනි, මම තෘෂ්ණාවෙහි දූතයා වෙමි. උදරයෙහි දූතයා වෙමි. තණ්හාව මට අණකොට නුඹ යවයි දූතයෙක් කොට එවීයයි
යස්සත්ථා දූරමායන්ති අමිත්තම්පි යාචිතුං,
තස්සූදරරස්සහං දූතො මා මෙ කුජක්ධ රථෙසභ
තස්සූදරරස්සහං දූතො මා මෙ කුජක්ධ රථෙසභ
යස්ස දිවා ච රත්තො ච වසමායන්ති මාණවා,
තස්සූදරස්සහං දූතො මා මෙ කුජක්ධි රථෙසභා
තස්සූදරස්සහං දූතො මා මෙ කුජක්ධි රථෙසභා
යන පළමු ගාථා දෙක කීවේය.
යමක් සඳහා සතුරාගෙන් වුවද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට යත්ද, මම ඒ උදරයේ දූතයෙක්මි. රජතුමනි! මට නොකිපුණ මැනවි.
සත්ත්වයෝ රෑ දවල්හි යම් උදරයක වසඟයට යත්ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි, මට නොකිපුණ මැනවි.
එහි, යස්සත්ථා දූරමායන්ති යනු යමක් සදහා මේ සත්ත්වයෝ තෘෂ්ණා වසඟව දුරටද යත්. රථෙසභා යනු රථයෙහි සිට යුද්ධ කරන ප්රධාන යෝධයාණෙනි! (රජතුමනි!)
රජතුමා ඔහුගේ වචනය අසා එය සත්යයකි. මේ සත්ත්වයෝ උදරයෙහි දූතයෝය. තෘෂ්ණා වශයෙන් හැසිරෙත්. තෘෂ්ණාවම මේ සත්ත්වයන් පාලනය කරයි. ඒකාන්තයෙන් මොහු විසින් මනාප වූවක්ම කියන ලදැයි ඒ පුරුෂයා කෙරෙහි සතුටුවී -