8. මන්‍ධාතු ජාතකය (258)
යාවතා චන්‍දිම සුරියා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පැවිද්දට කලකිරුණු එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව වනාහි සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රියක දැක කලකිරුණේය. ඉක්බිති ඒ භික්‍ෂුව දම් සභාවට කැඳවාගෙන වුත් ස්වාමීනි, මේ භික්‍ෂුව කළකිරුණේ යැයි බුදුරජාණන් වහන්සේට දැක්වූහ. බුදුරජාණන් වහන්සේද ඇත්තද මහණ ඔබ කලකිරුණේ දැයි විචාරා ඇත්තයි ස්වාමීනියි යි කී කල්හි, මහණ, නුඹ ගිහිගෙයි වාසය කරමින් කෙදිනක තෘෂ්ණාව පුරවන්නට හැකිවන්නෙහිද? කාම තණ්හාව නම් වූ මෙය මහ මුහුද මෙන් පිරවීම දුෂ්කරය. පැරැන්නෝ දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවරන ලද සතරමහ දිවයින්වල සක්විති රජකම් කර මිනිස් පරිහරණයෙන්ම චාතුර්මහා රාජික දෙව්ලොව රජය කරවමින් තව්තිසා දෙව්ලොව ශක්‍රයින් තිස්හය දෙනෙකුගේ කාලසීමාවෙහි දිව්‍ය රාජ්‍යය කරවාද තමන්ගේ කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකි වූයේම කලුරිය කළාහුය. නුඹ වනාහි මේ තෘෂ්ණාව කවදා පුරවන්නට හැකිවන්නෙහිදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස පළමු කල්පයෙහි මහා සම්මත නම් රජ කෙනෙක් විය. ඔහුගේ පුතා රෝජ නම් විය. ඔහුගේ පුතා වරරෝජ නම් විය. ඔහුගේ පුතා කල්‍යාණ නම් විය. ඔහුගේ පුතා වරකල්‍යාණි විය. ඔහුගේ පුතා උපෝසථ නම් විය. ඔහුගේ පුතා මන්ධාතු නම් විය. හෙතෙම සත්රුවන්වලින්ද, සතර සෘද්ධිපාද වලින්ද යුක්ත වූයේ සක්විති රජය කරවීය. ඔහු වම් අත අකුලාගෙන දකුණතින් අත්පොළසන් දුන් කල්හි අහසින් දිව්‍ය වර්ෂාවක් මෙන් දණක් පමණ සත්රුවන් වර්ෂාවක් වසී. මෙබඳු ආශ්චර්යය මිනිසෙක් විය. ඔහු අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කළේය. අසූහාරදාහක් අවුරුදු යුවරජකම කරවීය. අසූහාරදහසක් අවුරුදු සක්විති රජකම කරවීය. ඔහුගේ අසංඛයක් අවුරුදු ආයුෂ විය.
ඔහු එක් දවසක් කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකි වන්නේ කලකිරුණු ආකාරයක් දැක්වීය. දේවයන් වහන්ස, කුමක් නිසා කලකිරුණේදැයි ඇමතිවරු විචාළහ. මගේ පිං බලය දෙස බලන කල්හි මේ රාජ්‍යය කුමක් කරන්නේද, කිනම් තැනක සිත් අලවන්නේද? මහරජතුමනි! දෙව්ලොවයයි කීහ. රජතුමා චක්‍රරත්නයට පැන් ඉස පිරිවර සමග චාතුර්මහා රාජික දිව්‍යලෝකයට ගියේය. ඉක්බිති සතර වරම් දෙවි මහරජවරු දිව්‍ය මල්, සුවඳ ගත් අත් ඇති දේව සමූහයා සමග පිරිවරාගෙන ඔහුට පෙරගමන්කොට රජතුමා රැගෙන චාතුර්මහා රාජික දෙව්ලොවට ගොස් දිව්‍ය රාජ්‍යය දුන්හ. සිය පිරිස පිරිවරන ලදුව එහි රජකරන ඔහුට දිගුකලක් ගතවිය.
හෙතෙම එහිදීද තෘෂ්ණාව පුරවන්නට නොහැකි වන්නේ කලකිරුණු ස්වභාවයක් දැක්වීය. සතරවරම් දෙවි මහ රජවරු මහරජතුමනි, කුමක් නිසා කලකිරුණේදැයි විචාළහ. මේ දේව ලෝකයට වඩා කිනම් තැනක් සිත්කලුද? දේවයන් වහන්ස! අපි වනාහි අනුන්ට උපස්ථාන ලබන මිනිසුන් හා සමානය. තව්තිසා දෙව්ලොව සිත්කළු තැනකියි කීහ. මන්ධාතු රජතුමා චක්‍රරත්නයට පැන් ඉස තමන්ගේ පිරිස පිරිවරාගෙන තව්තිසාව බලා පිටත් විය. ඉක්බිති සක්දෙව් රජ දිවමල්, සුවද ගත් අත් ඇතිව දේව සමූහයා පිරිවරා ඔහුට පෙර ගමන්කොට රජතුමාගේ අතින් අල්ලාගෙන මහරජතුමනි, මෙහි එනු මැනවියි කීවේය. මන්ධාතු රජතුමා දේව සමූහයා පිරිවරාගෙන ගමන් කරන කල්හි පරිනායක රත්නය (රජුගේ වැඩිමහල් පුත්‍රයා) චක්‍රරත්නය ද රැගෙන පිරිස සමග මිනිස් ලොවට බැස තමන්ගේ නුවරටම පිවිසියේය. ශක්‍රයා මන්ධාතු රජ තව්තිසා භවනයට පමුණුවා දෙවියන් කොටස් දෙකකට බෙදා තමන්ගේ රාජ්‍යය මැදින් බිඳ අඩක් දුන්නේය. එතැන් පටන් රජවරු දෙදෙනා රාජ්‍යය කරවූහ. මෙසේ කල්යත්ම ශක්‍රයා තුන්කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයුෂ ගෙවා ඉන් චුත විය. වෙනත් ශක්‍රයෙක් උපන්නේය. ඔහුද දේව රාජ්‍යය කොට ආයුෂ ගෙවීමෙන් චුතවිය. මේ ක්‍රමයෙන් ශක්‍ර දෙවිවරු තිස්හය දෙනෙක් චුතවූහ. මන්ධාතු රජු වනාහි මිනිස් වෙසින්ම දෙව්ලොව රජය කරවයි.
මෙසේ කල් ගතවන විට ඔහුට වඩ වඩාත් කාම තණ්හාව උපන්නේය. මට මේ අර්ධ රාජ්‍යයෙන් ඇති වැඩ කුමක්ද? ශක්‍රයා මරා එකම රාජ්‍ය්‍යක් කරන්නේ යයි සිතුවේය. ශක්‍රයා මැරීමට නම් නොහැකිය. මේ තෘෂ්ණාව වනාහි විපතට මුලයි. ඒ නිසා මොහුගේ ආයුෂ පිරිහුනේය. මහලුකම ඇතිවිය. මනුෂ්‍ය සිරුරක් දෙව්ලොව නොමැරෙයි. ඉක්බිති ඔහු දෙව්ලොවින් බැස උයනට ගොඩ බැස්සේය. උයන්පල්ලෝ රජතුමා ආ බව රජගෙදරට දැන්වීය. රජගෙදරින් ඇවිත් උයනෙහිම ආසනයක් පැනෙව්වේය. රජතුමා නොනැගිටින සෙය්‍යාවෙන් හොත්තේය. = ඇමතිවරු, දේවයන් වහන්ස! ඔබවහන්සේගේ අභාවයෙන් පසු අන් අයට කියන්නට කිසිවක් ඇද්දැයි විචාළහ. තොපි මා මළ පසු “මන්‍ධාතු මහරජ දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවැරූ සතර මහාද්වීපවල සක්විති රජකම කොට දිගුකලක් චාතුර්මහා රාජිකයේ රජකම් කරවා ශක්‍රයන් තිස්හයකගේ ආයු කාලයක් දෙව්ලොව රජකම් කරවා තෘෂ්ණාව පුරවා නොගෙනම මිය ගියේය” යන මේ පණිවිඩය මහජනයාට කියන්නැයි කීය. රජතුමා මෙසේ කියා කම් වූ පරිද්දෙන් මිය ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බුද්ධත්වයට පත්ව -