7. ගාමණීචණ්ඩ ජාතකය (257)
නායං ඝරානං කුසලො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් නුවණ පැසසීමක් අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්‍ෂූහු දශබලධාරීන් වහන්සේගේ නුවණ පසසමින් වැඩසිටියාහුය. ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රඥා ඇති සේක. පුථු පඤ්ඤා ඇති සේක. භාසු පඤ්ඤා ඇති සේක. ජවන පඤ්ඤා ඇති සේක. නික්ඛ පඤ්ඤා ඇති සේක. සිනාව ප්‍රීතිය බහුල වූ නිවන ඇතියහ. වේගයෙන් දුවන නිබ්බේධික පඤ්ඤා ඇති සේක. දෙවියන් සහිත ලෝකයාගේ ප්‍රඥාවෙන් ඉක්මවා සිටි සේක. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර ජනසන්‍ධ නම් රජෙක් රජ කරන කල්හි බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඒ කුමරුගේ මුහුණ මනාව ඔපදමන ලද කැඩපතක් මෙන් ඉතා ප්‍රසන්න විය. ඉතා සෝභාවෙන් අගතැන්පත් විය. ඒ නිසා නම් තබන දිනයේ මොහුට ‘ආදාසමුඛ කුමාරයා’ යනුවෙන් නම් තැබූහ. ඒ කුමාරයාට සත්වසක් ඇතුළතදීම පියතුමා තුන් වේදයක් ලෝකයේ කළයුතු නොකළ යුතු දෑ සියල්ල උගන්වා සත්හැවිරිදි කාලයේ කළුරිය කළේය. ඇමතිවරු මහත් සත්කාරයෙන් රජතුමාගේ ආදාහන කෘත්‍යය කොට මතක දන් දී සත්වෙනි දින රජමිදුලෙහි රැස්වී කුමරා ඉතා ලාබාලය. රාජ්‍යයෙහි අභිෂේක කිරීමට නොහැකිය. විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි එක්දිනක් නුවර සරසවා විනිශ්චය කරන තැන සකසා පර්යංක ආසනය පනවා කුමරා සමීපයට ගොස් දේවයන් වහන්ස! විනිශ්චය ස්ථානයට යෑම වටීයයි කීහ. කුමාරයා යහපතැයි කියා මහත් පිරිවරින් ගෝස පර්යංක ආසනයෙහි හුන්නේය.
ඔහු හිඳගත් කල්හි අමාත්‍යවරු, දෙපයින් ඇවිදින එක් වඳුරෙකු වාස්තු විද්‍යාව දන්නා කෙනෙකුගේ වෙස් ගන්වා විනිශ්චය ස්ථානයට පමුණුවා දේවයන් වහන්ස! මේ පුරුෂයා පියමහ රජතුමාගේ කාලයේ සිට වාස්තු විද්‍යා (භූමි ශාස්ත්‍රය දන්නා) ආචාර්යවරයාය. ඒ පිළිබඳ පළපුරුද්ද ඇත්තෙකි. පොළව ඇතුළෙහි රියන් හතක් පමණ නැත. දොස් දකියි. මොහු විසින් නියම කරගන්නා ලද ස්ථානයට රජ කුලයෙහි නිවාස සාදන තැන වෙයි. දේවයන් වහන්ස! මොහුට සංග්‍රහ කොට තනතුරෙහි තබවයි කීහ. කුමාරයා යටිනුත් උඩිනුත් ඌ දෙස බලා මොහු මිනිසෙක් නොවෙයි. මොහු වඳුරෙක් යයි දැන, වඳුරෝ නම් කළ කළ දේ විනාශ කිරීමට දනිත්. ඔවුන් නොකළ දෙයක් කරන්නට හෝ විමසන්නට හෝ නොදනිතියි සිතා ඇමතියන්ට
නායං ඝරානං කුසලො - ලොලො අයං වලීමුඛො,
කතං කතං ඛො දූසෙය්‍ය එවං ධම්මමිදං කුලං
යන පළමු ගාථාව කීවේය.
මේ වඳුරා නිවාස තනන්නට දක්ෂයෙක් නොවේ. මොහු කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය විනාශ කිරීමේ) මෙබඳු ස්වභාව ඇත්තේය.
එහි, නායං ඝරානං කුසලො යනු මේ සත්ත්වයා ගෙවල් තනන්නට හෝ ගෙවල් විමසන්නට හෝ කරන්ට හෝ දක්‍ෂයෙක් නොවේ. ලොලො යනු කෑදර සතෙකි. වලීමුඛො යනු මුහුණෙහි රැළි ඇත්තේය යන අර්ථයෙන් වලීමුඛ වෙයි. එවං ධම්මමිදං කුලං යනු මේ වඳුරු කුලය නම් කළ දේ දූෂණය කරන, විනාශ කරන ස්වභාවයෙන් යුක්තය.
ඇමතිවරු සැබෑවයි දේවයන් වහන්ස! කියා ඌ ඉවත් කරවා එක් දවසක් දෙකක් ගිය තැන නැවත ඌ ම අලංකාර කරවා විනිශ්චය ස්ථානයට කැඳවා දේවයන් වහන්ස, මේ තෙමේ පියමහ රජතුමාගේ කාලයෙහිදී විනිශ්චය ඇමතියාය. මොහුට විනිශ්චය කටයුතු හොඳින් පිහිටියේය. සංග්‍රහකොට මොහු ලවා විනිශ්චය කටයුතු කරවන්නට වටීයයි කීවාහුය. කුමාරයා ඔහු දෙස බලා විසිතුරු සිතක් ඇති කෙනෙකුගේ ලෝම මෙසේ නොවේ. මොහු විසිතුරු සිතක් නැති වඳුරෙකි. විනිශ්චය කටයුතු කිරීමට නොහැකිවන්නේ යැයි දැන
නයිදං චිත්තවතො ලොමං නායං අස්සාසිකො මිගො,
සත්‍ථං මෙ ජන සන්‍ධෙන නායං කිඤ්චි විජානති
යන දෙවන ගාථාව කීවේය.
විමසුම් නුවණින් යුතු අයෙකුට මෙබඳු රළු ලෝම නැත. මේ අනුන් සනසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නොදනී යයි ජනසන්‍ධ රජතුමා විසින් මට අනුශාසනා කරන ලදි. හෙවත් කියන ලදි.
එහි, න ඉදං චිත්තවතො ලොමං යනු මොහුගේ සිරුරෙහි යම් මේ රළු ලොම් ඇද්ද, විමසුන් නුවණින් යුත් සිත් ඇත්තෙකුට මේ ලොම් නැත. ප්‍රකෘති සිතින් විසිතුරු නොවූ (අචින්තක) තිරිසන් සත්ත්වයෙකු නැත. නායං අස්සාසිකො යනු මේ තෙමේ පිහිට ඇත්තෙක් වී හෝ අනුශාසනා කරන්නෙකු හෝ වී අන් අය සනසන්නට අසමත් බැවින් සනසන්නෙකු නොවේ. මිගො යනුවෙන් වඳුරා කියයි. සත්‍ථං වෙ ජනසන්‍ධෙන යන මගේ පියා ජනසන්ධ විසින් මේ ශාස්ත්‍රය කියන ලදි. වඳුරා නම් කාරණය අකාරණය (හොඳ නරක) නොදනිහියි මෙසේ අනුශාසනා දෙන ලදැයි දක්වයි. නායං කිඤ්චි විජානාති යනු ඒ නිසා මේ වඳුරා කිසිවක් නොදනිතියි යනුවෙන් මෙහි අවසන් අර්ථයට යායුතුය පාළියෙහි වනාහි. නායං කිඤ්චි න දුසයෙ යනුවෙන් ලියන ලදි. එය අටුවාවේ නැත.